නිසි ඔන්ලයින් අධ්‍යාපනයක් වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

ලක්ෂ හතලිස් තුනක් වන පාසල් ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය අහිමි වී ඇතත් මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය නිසි අන්දමින් ලැබීමට විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලධාරින් පියවර ගෙන නැති බව කියමින් ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඊයේ (28දා)පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ලංකා ගුරු සංගමයේ සභාපති එස් ප්‍රියන්ත ප්‍රනාන්දු එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් යන මහත්වරුන් එහි පැමිණිලිකරුවන් ලෙස පෙනී සිටින අතර වග උත්තරකරුවන් ලෙස නම්කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය හා උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවයි.

අනුරාධපුර ෆ්‍රීමන් මාවතේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලයේ සම්බන්ධිකරන නිලධාරීවරියට පැමිණිල්ල බාරදීම සංගමයේ සභාපතිවරයා විසින් සිදුකළේය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා.කොවිඩ්  වසංගත තත්වය සමග 2020 මාර්තු මස 20දා මුලින්ම පාසල් වසා දැම්මා. කඩින් කඩ පාසල් විවෘත කෙරුණත් 43 ලක්ෂයක් පමණ වන ශිෂ්‍ය ප්‍රජාවට පාසල් අධ්‍යාපනය මේ වනවිට අහිමිවෙලා තියෙන්නේ.

2020 පාසල් පවත්වන තිබ්බ දින ගණන 203යි. ඒකෙන් අඩකටත් වඩා දින ගණනක් තමයි පාසල් පැවත්වුණේ. ඒ තුළින් සිසුන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමි වුණා. බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල මේවනවිට පාසල් පැවත්වීමට තිබූ දින ගණන 110යි. නමුත් පාසල් පැවත්විලා තියෙන්නේ දින 60ක පමණ කාලයක්.

පාසලක අඩක් ළමුන් ගෙන්වීමේ ක්‍රියාවලිය සමග සිසුන්ට අහිමිවි ඇති දින ගණන 80යි. බස්නාහිර පළාතේ සිසුන්ට පාසල් පවත්වා ඇත්තේ මාසකටත් අඩු කාළයක්. 2021පාසලට ඇතුළුවු පළමු ශ්‍රේණියේ දරුවන්ට දින දෙකයි පාසල් පැවත්විලා තියෙන්නේ.

පාසල් වැසීමත් සමගම අධ්‍යාපන අමාත්‍යංශය දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය (ඔන්ලයින්) සදහා නිසි වැඩ පිළිවලක් ක්‍රියාත්මක කරලා නෑ. ඒ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන අවස්ථාව අහිමිවී තිබෙනවා. නමුත් බලධාරින් මේ ක්‍රමය සාර්ථක බව අගවමින් මතයක් ගොඩ නගමින් සිටිනවා.

සභාපතිවරයා විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ ලිපියේ අප රටේ පරිඝණක සාක්ෂරතාව සියයට 30.3ක් බව හා නාගරිකව සියයට 47.4ක් ග්‍රාමීයව සියයට 28.5ක් හා වතුකරයේ සියයට 12.27 බව පෙන්වාදී තිබුණි. ඊට අමතරව පරිඝණක ලැප්ටොප් ටැබ් ස්මාට් දුරකථන ඇත්තේ ජනගහණයෙන් සියයට 46ක ප්‍රමාණයකට බව පෙන්වාදී තිබුණි.

සංඥා තත්වය ඩේටා ලබා ගැනීම දෙමාපියන් ඔන්ලයින් අධ්‍යාපනය සමග පත්ව ඇති තත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට යොමුකළ පැමිණිල්ලෙන් දැනුම්වත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය රජය මුල්වී සිදුකරන මාර්ග ගත අධ්‍යාපන ක්‍රමය වෙනුවට සියළුම දෙනාට අධ්‍යාපනය ලැබිය හැකි පලදායි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හා සිසුන් ගුරුවරුන් දෙමාපියන් පීඩාවට පත්නොවන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරනා ලෙස නිර්දේශ ක්‍රියාත්මක කරනා ලෙස ගුරු සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සහන ලෙස ඉල්ලා තිබේ.

-අනුරාධපුර මහේෂ් විජේසූරිය-

Social Sharing
නවතම