“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී ඇත.

නීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ බව දැනුම් දී ඇත්තේ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව මෝසමක් මඟින් ඊයේ (11) කැඳවූ අවස්ථාවේදී ය. පුත්තලම මහාධිකරණයේ ගොනු කර ඇති මෙම නඩුව විභාග කෙරෙන්නේ  හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය.

ඊයේ දින මෝසමක් මඟින් නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සහ මදුරංකුලිය මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් වෙනුවෙන් හෆීල් ෆාරිස්, නුවන් බෝපගේ, නිරෝන් අංකිටල් ඇතුළු නීතිඥවරුන් පිරිසක් සමඟ නීතිඥ චමින්ද අතුකෝරල මහතා පෙනී සිටියේය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මොහොමඩ් ශකීල්ට එරෙහිව මහාධිකරණයේ චෝදනා ගොනු කර ඇතැයි කීවද, මේ වන තෙක් චෝදනා පත්‍ර බාර දී නැති බවත්, හිස්බුල්ලා මහතා වසරකට වැඩි කාලයක් තිස්සේ අත්අඩංගුවේ සහ රිමාන්ඩ් බාරයේ පසුවන බවත් නීතිඥ අතුකෝරල මහතා මහාධිකරණ විනිසුරුවරියට දැනුම් දුන්නේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නඟා ඇති නිසා මෙය ප්‍රමුඛතාව අනුව කැඳවිය යුතු බව ද, දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත සහ රිමාන්ඩ් බාරයේ සිටීමෙන් විත්තිකරුවන්ගේ අයිතිවාසිකම් කඩවන බව ද නීතීඥවරයා කීවේය. මෙම නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාස තුනක පමණ සිට විවිධාකාරයේ බලපෑම් කරමින් නීතිඥ හිස්බුල්ලාට (පළමුවැනි විත්තිකරු) එරෙහිව සාක්කි දෙන ලෙස බලකරන බැවින් කඩිනමින් විත්තිකරු අධිකරණයට කැඳවා චෝදනා පත්‍ර බාර දෙන ලෙස ඉල්ලා සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් පුත්තලම මහාධිකරණයේ රජයේ නීතිඥවරයා පෙනී සිටි අතර, ඔහු කරුණු දක්වමින් පැවසුවේ පවතින වාතාවරණය සමඟ රට පුරා මහාධිකරණවල කටයුතු කරන්නේ එකම ආකාරයට බවයි. මෙම නඩුවට පමණක් වෙනත් ආකාරයකට කටයුතු කළ නොහැකි බවත්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ උපදෙස් මත කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

රටේ පවතින කණගාටුදායක තත්ත්වය ගැන හොඳින් දන්නා නමුත් අපරාධ නඩු විධාන සංග්‍රහයට උඩින් ගොස් යමක් කිරීමට කිසිවකුට නොහැකි බව රජයේ නීතිඥවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් නීතිඥ චමින්ද අතුකෝරල මහතා ප්‍රකාශ කළේය. ව්‍යසන තත්ත්වය පෙන්වා කෙනෙකුගේ නිදහස අහිමි කරන්නට නොහැකි බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය.

දෙපාර්ශ්වයේ අදහස්වලට සවන් දුන් මහාධිකරණ විනිසුරුවරිය අධිකරණ බලයට උඩින් වැඩ කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට නොහැකි බව ප්‍රකාශ කළාය. එසේ වුවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අදහස වැදගත් බවත්, විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ සහ මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අදහස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය, නඩුව යළිත් ලබන ජූලි 02 දා කැඳවන ලෙස නියෝග කළාය.

Social Sharing
නවතම