රොෂේන් ඝාතණයට වසර දහයයි.!

ආර්.පී. රොෂේන් චානක යැයි කියුවාට රටේ බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ නැත. මීට දස වසරකට පෙර මුලු රටේම රොෂේන් චානගේ නම රැව්පිලි රැව් දුන්නත් අද රටේ ජනතාවට ඒවා අමතක වී ගොසිනි. නමුත් නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට නම් රොෂේන් චානක කිසිදා අමතක කළ නොහැකි චරිතයකි.

ඒ, 2011 වසරේදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් පනතක් ගෙන ඒමට එරෙහිව කටුනායක  නිදහස් වෙළදකලාප කම්කරුවන්ගේ සටනේදී රොෂේන් චානක (22) පොලිසියේ වෙඩි ප්‍රපහාරයකට ලක්ව මිය ගියේ ඉතාම මිලේච්ඡ ආකාරයට වීම නිසාය.

එවකට මා ලක්බිම පුවත්පතේ මිනුවන්ගොඩ ප්‍රාදේශිය වාර්තාකාරීනිය  ලෙස කටයුතු කරමිනි සිටියාය. 2011 වසරේ මැයි මාසයේ 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පැවති අරගලයේදී පොලිසීය ඉතාම මේලේච්ඡ ආකරයට කම්කරු සේවක සේවිකාවන්ට පහර දෙමින් වෙඩි තැබීම සිදු විය. මෙහිදී බරපතල තුවාල ලැබු කම්කරුවන් අතර රොෂේන්ද සිටි අතර ජුනි 01 ද‌ා ඔහුගේ අවසන් සුසුම් පොද වා තලයට මුසු වුයේ එවකට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුවේ වීරකම් නිසාය.

රොෂේන් සම්බන්ධ ලිපියක් ඉරිදා ලක්බිමට ඉල්ලු හෙයින් මා රොෂේන්ගේ නිවසට යාමට මිනුවන්ගොඩට ගියාය. මිනුවන්ගොඩ නගරයෙන් ත්‍රීරෝද රථයකට නැඟ රොෂේන්ගේ නිවසට යාමට අවැසි බව කී විට කිසිදු මුදල් අය කිරීමකින් තොරව මා එහි රැගෙන යාමට ත්‍රිරෝද රථ රියදුරු මහතා ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් විය.

අප ගුවන්තොටුපල පාරේ ගොස් උන්නාරුව, කුරුස කණුව අසලින් වමට හැරී මඳ දුරක් ගමන් කළ විට රොෂේන්ගේ නිවස හමු විය. ගල්ලෝලුව, අලුත් පාර, නො.57 දරණ රොෂේන්ගේ නිවසට  ඒ වන විටත් විශාල පිරිසක් පැමිණ සිටි අතර ඉන් වැඩි දෙනෙක්ම වුයේ රොෂේන්ගේ මිතුරන් නොව ආරක්ෂක අංශයේ සාමාජිකයින්ය.

අඩක් සාදා නිම කළ එම නිවසට ඒ වන විටත් මෘත දේහය රැගෙනවිත් තිබුණේ නැත. මන්ද ඒ වන විටත් රොෂෙන්ගේ ඝාතනය සම්බන්ධව රජය දැඩි අප්‍රසාදයට ලක් වෙමින් තිබු නිසා රජයට විරුද්ධව ඇති විය හැකි කැරලි කෝලහාල සම්බන්ධව දැඩි අවධානයකින් ආරක්ෂක අංශ පසු වීම නිසාය.

ආර්.පී.ඒ.එස්. ක්වින්ටස් හා ඩබ්ලිව්.ඩී.කාන්ති මහත්මියගේ දරුවන් පස් දෙනා අතරින් සිව්වැනි දරුවා වුයේ රොෂේන් චානකය.  මිනුවන්ගොඩ, බුරුල්ලපිටිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබු අතර පසුව රත්මලාන තරුණ සේවා සභාවේ වර්ක්ස්ටඩි ගාමන්ට් පාඨමාලාවක් හදාරා පෞද්ගලික අංශයට එක් විය. නමුත් ඊට ඔහු ගියේ එක් දිනක් පමණි.  කාන්ති මහත්මියගේ මතකයට අනුව එලෙස ඔහු යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ එහි ගෑණු ළමයි වැඩි යැයි පවසමිනි.

පසුව ඔහු දැඩි ලෙස ක්‍රීඩාවට යොමු වී ඇති අතර 22 හැවිරිදි වියේ සිටි තම සොහොයුරාට රොෂේන්ගේ අයියා ස්පෝට් කල්බ් එකකට සම්බන්ධ කරවීමට සුදානම් වෙද්දී ඔහුට කටුනායක සුදු යකඩ වැඩපළක රැකියාව ලැබී ඇත. රොෂේන්ගේ දෙමාපියන් ඒ වනවිටත් නිවසේ සිටම කොහු වලට මැෂිමකින් ඇණ ගසා ජිවිකාව කරගෙන ගිය හෙයින් 2011 ජනවාරි මාසයේ ලද රැකියාවෙන් රොෂේන් සතුටින් ජිවත් වී ඇත්තේ නිවස සාදා ගැනීමේ අරමුණින්ය.

රොෂේන් මැයි 30 දා දිනද සුපුරුදු ලෙසම රැකියාවට යාමට සුදානම් වී මවට පවසා ඇත්තේ අද වරුවක නිවාඩුවක් තිබෙන හෙයින් දවල්ට ගෙදර එන බවය. නමුත් ඔහුට ගෙදර ඒමට හැකි වුයේ නැත. ඒ යෝජිත විශ්‍රාම වැටුප් පනතට විරෝධය පළ කරමින් එදින පෙරවරුවේ වෙළඳ කලාපය තුල උද්ඝෝෂණයක් පැවති හෙයින් එහිදී පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ඇති වු ගැටුම නිසා කිසිදු කම්කරුවෙක්ට කලාපයෙන් පිටතට ඒමට අවසර දුන්නේ නැත. රොෂේන්ද සිය සේවා ස්ථානයේදීම රැඳි සිට ඇති අතර එහිදී පොලිසීය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු පිරිස අතර රොෂේන්ද සිටියේය.

ඒ අවස්ථාව වන විටත් තුවාල ලැබු පිරිස රෝහල් කරා ගෙනයාමට පොලීසිය ඉඩ ලබා නොදී සිටියමුත් කෙසේ හෝ තුවාල ලැබු පිරිස මීගමුව හා රාගම රෝහල් කරා ඇතුලත් කරන ලදි. රොෂේන්ව රාගම රෝහලට ඇතුලත් කෙරුණු අතර ඒ වන විටත් ඔහු හුස්ම ගෙන ඇත්තේ කෘත්‍රිම ස්වසන ආධාරකයකිනි. රොෂේන්ගේ කකුල කැපුවහොත් ඔහු බේරා ගැනීමට හැකි වෙතැයි සිතූ වෛද්‍යවරු මැයි 31  දා ඔහුගේ එක් පාදයක් කපා ඉවත් කරන ලදි.

මේ අතර රජයේ විවිධ මැති ඇමතිවරුගෙන් රෝහල පිරී ඉතිරි ගියේ මෙම කටුනායක සිද්ධියෙන් ආණ්ඩුව නා ගත් බව දැනුනු බැවිනි. ඔවුන් ගොදුරකට ඉව අල්ලන දඩයම්කරුවන් මෙන් තුවාලකරුවන්ගේ ඥාතීන් වෙත ගොස් විවිධ පොරොන්දු දෙන්නට විය. රොෂේන්ගේ මව  අසලටද පැමිණ පිටරටකට හෝ ගොස් රොෂේන් සනීප කර දෙන බවට සථප විය.

නමුත් රොෂේන් එතෙක් ජිවත් වුයේ නැත. ඔහු ජුනි 01 දා අවසන් ගමන් ගියේය. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මැකී මහතා විසින් රාගම රෝහලේදී මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වන ලදි. එසේම පශ්චාත් මරණ පරික්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය කීර්තී ගුණතිලක මහතා හා අධිකරණ වෛද්‍ය දීපාල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලදි.

මෙහිදී ගිනි අවියකින් තැබු වෙඩි පහරක් හේතුවෙන් රුධිරනාල අවහිර වීම නිසා වු මරණයක් බවට මෙය නිගමනය කෙරුණි. මෙම පරික්ෂණයේ විශේෂත්වය වන්නේ දීර්ඝ කාලයක් මේ නිගමනය දීමට කල් ගත වීමය .ඒ ජුනි 01 දා උදෑසන 10 ට ආරම්භ කළ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු අවසන් කෙරුණේ ජුනි 02 දා අලුයම 04.00 ටය.

මෙය ඉතාම සමාජ ආන්දොලන කටයුත්තක් නිසා මෙහිදි වෛද්‍යවරු පවා කටයුතු කළේ සීරුමාරුවෙනි. මෘත දේහය රාගම රෝහලේ සිට මහබාගේ රේමන්ඩ් මල් ශාලාවට ගෙන ආවේද දැඩි හමුදා ආරක්ෂාවක් මැදය. එසේම මල් ශාලාවේ සිට ජුනි 02 දා සවස නිවසට මෘතදේහය රැගෙන ගියේද හමුදා රැකවල් මැදය. මේ කිසිදු කටයුත්තකට පොලිසිය සම්බන්ධ කර නොගැනීමට ආණ්ඩුව වගබලාගෙන තිබුණි.

රොෂේන්ගේ මරණය ඝාතනයක් බව හෙළි වීමත් සමඟ එවකට සිටි පොලිස්පති මහින්ද බාලසුරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වුයේ ආණ්ඩුවේ නියෝග අනුවය. වෙඩි තැබු පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් විය.

මේ හදිසියේ රොෂේන්ගේ ඝාතනය සිහිපත් කෙරුණේ හෙටට (01) ඔහු නික්ම ගොස්  වසර දහයක්  සපිරෙන බැවිනි. මේ වන විට එවකට සිටි පොලිස්පති ද දැන් මිය ගොසිනි. නමුත් ඔහුට වෙඩි තැබු පොලිස් නිලධාරියා යළි සේවයේ පිහිටුවා ඇත.

හෙට කටුනායකදී රොෂේන් චානකගේ වියෝව ගුණානුස්මරණය කෙරෙනු ඇත. මෙම ලිපිය අවසන් කරන්නට මත්තෙන් රෙෂේන්ගේ මව කියු වැකියක් මා සටහන් කර තබන්නෙමි.

ඒ, මේ රටේ යුද්දේ ඉවර වුණා කිව්වට තාම යුද්දේ ඉවර වෙලා නැහැ, මේක ඊට වඩා යුද්දයක්, අපි දරුවෝ හැදුවේ කාටවත් මරලා දාන්න නෙමෙයි.

ශානිකා මාදවී

Social Sharing
නවතම