තොරතුරු වසංගතයට හසු වෙන්න එපා!

බරපතල ‍රෝග ලක්ෂණ නොමැති හා රෝග ලක්ෂණ පහළ නොවූ කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රඳවා ඔවුන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද (17) සිට ක්‍රියාත්මක බව ඇතැම් පුවත්පත් මෙන්ම සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි.

නමුත් රජය තවම තීරණයකට පැමිණ නැත. මේ පිලිබඳ යෝජනාවක් පමණක් ඉදිරිපත්ව ඇති අතර ඒ පිලිබඳ තවදුරටත් සාකච්ඡා කෙරෙමින් පවතින බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. එමෙන්ම මේ බව යුද්ධ හමුදාපතිවරයාද අද (17) දින රූපවාහීනි නාලිකාවකදී තහවුරු කර සිටියේය.

එසේනම් මේ ආකාරයෙන් වැරදි පුවත් සමාජ ගත වන්නේ මාධ්‍යකරණයේ ඇති දුර්වලතාවය නිසාය. මෙය එක්තරා අයුරකින් තොරතුරු වසංගතයකි. පහුගිය දිනෙක ලෝක සෞඛ්‍ය සංවිධානයද මහජනතාවට කියා තිබුණේ සමාජ මාධ්‍ය ජාලා වල කොවිඩ් වලට අදාලව පළ වන බෙහෙත් වට්ටෝරු පිළිනොගන්නා ලෙසය.

ඒ තරමට අද බොහෝ මාධ්‍ය නිසි සොයා බැලීමකින් තොරව තොරතුරු වාර්තාකරණයේ යෙදී ඇත. කොවිඩ් පළමු හා දෙවැනි රැලි පැමිණි අවස්ථා වලදි ඇතැම් මාධ්‍යවේදීන් කැමරා උස්සාගෙන කොවිඩ් රෝගීන් පසුපස හඹා ගියේ ත්‍රස්තවාදීන් හමු ලෙසිනි.

නමුත් මෙවර එවන් තත්වයක් දක්නට නොමැති අතර මෙවර ඇත්තේ ව්‍යාජ පුවත් සමාජ ගත වීමකි.  මේ සම්බන්ධයෙන් ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රියංගා රණසිංහ මහත්මිය සඳහන් කර සිටින්නේ මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ කොවිඩ් අවම වන අයුරින්, කිසිවෙකුට හානියක් නොවන අයුරින් කටයුතු  කිරීම වැදගත් බවය.

මේ අවස්ථාවේ ජනතාව පිදුරු ගහෙත් එල්ලී බේරීමට බලා සිටින හෙයින් තමන් නොදන්නා, එහෙත් මාධ්‍ය වල පළ වී ඇති කිසිදු බෙහෙත් වට්ටෝරුවක්, කිසිඳු වගකීමකින් තොරව පළ වන මහ මඟ ඇද වැටීම්, ක්ෂණික මරණ පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු කර ගැනීමෙන් වැලකී සිටිය යුතු බවද ඇය පෙන්වා දෙයි.

මේ නොදන්නා බෙහෙත් වට්ටෝරු භාවිතයෙන් ඇතමුන්ගේ රෝග ලක්ෂණ මඟ හැරී යා හැකි බවත් එහිදී ජීවිත අවදානමකට ලක් වෙන බවත් පෙන්වා දෙන ඇය කියා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් පමණක් පිළිපඳින ලෙසටය.

එමෙන්ම සංචරණ සීමා පනවා ඇති මේ කාල සීමාවේ හැඳුනුම්පතේ අංකය ඔත්තේ වුණත් ඉරට්ටේ වුණත් තමන්ට එළියට යාමට අත්‍යවශ්‍ය කරුණක් නැතිනම් නිවසින් නොයන ලෙසත් ඇය වැඩිදුරටත් කියා සිටියි.

විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක් සමඟ පැවති සාච්ඡාවකදීය.

-ශානි-

Social Sharing
නවතම