මෙහෙව් රටක්, සෞඛ්‍යයේ ඇඟිලි සලකුණු යන්ත්‍ර වසර 15 ක සිට භාවිතා කර නැහැ!

2006 වසරේදී අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 31.71 ක් වැයකර ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර 224 ක් මිල දී ගෙන ඇත. නමුත් වසර 15 කට වඩා වැඩි කාලයක සිට ඒවා ප්‍රයෝජනයට නොගෙන නිෂ්ක්‍රීයව තබා තිබීම සම්බන්ධයෙන් ගිණුම් කාරක සභාව සිය අප්‍රසාදය සෞඛ්‍ය අමාත්‍යාංශයට පළ කර තිබුණේ රජයේ ගිණුම් කාරක සභාවේදීය.

එමෙන්ම දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතියේ සං‍යුක්ත සැලැස්ම ප්‍රකාරව වසර 05 ක ව්‍යාපෘති කාලය තුළ නව සොයාගැනීම් සඳහා රුපියල් මිලියන 346 ක සමස්ත ප්‍රතිපාදන  වෙන් කර තිබී ඇත.

නමුත්, 2017 දෙසැම්බර් 3 දින වන විට නව සොයා ගැනීම් පර්යේෂණ යෝජනා 34 ක් වෙත රුපියල් මිලියන 399 ක් අනුමත කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

මේ නව සොයාගැනීම් ව්‍යාපෘති කිහිපයක් එකම පුද්ගලයෙකු විසින් සිදු කිරීමද මෙහිදි බලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු විය. මෙය පර්‍යේෂණ ව්‍යාපෘති අකාර්‍යක්ෂම වීමට බලපා තිබෙන බව කාරක සභාවේදී හෙළි විය.

මේ අතර කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ මහල් 07 කින් යුක්ත මිලේනියම් වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 398 ක කොන්ත්‍රාත් වටිනාකමක් සහිතව 2006 අගෝස්තු 14 වැනි දින පුද්ගලික සමාගමක් වෙත ප්‍රදානය කර තිබි ඇත. ඒහි , 2008 මාර්තු 19 වැනි දින එහි වැඩ නිමකළ යුතු වුවද , 2014 මාර්තු 06 වැනි දින වන විටත් වැඩ නිමකර නොතිබුණු බැවින් එදින සිට කොන්ත්‍රාත්කරුගේ වැඩ අවසන් කර තිබු බව කාරක සභාවේදී නිරීක්ෂණය විය.

එදින වන විට කොන්ත්‍රාත්කරු වෙත ගෙවා තිබුණු මුදල රුපියල් මිලියන 51 ක් ආපසු අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. මෙම මුදල් අයකර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය රුපියල් මිලියන 3,896 ක බදු සහිත කොන්ත්‍රාත් වටිනාකමට CECB වෙත 2014 ඔක්තොම්බර් මස 29 වැනි දින ප්‍රදානය කර තිබූ අතර, ඉදිකිරීම් කටයුතු ඇරඹීමට පෙර ගොඩනැගිලි සැලැස්මට මහනගර සභාවෙන් අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර නොතිබූ බවත් කාරක සභාවේදී අනාවරණය විය.

මේ සියලු වියදම් කිරිම් රුපියල් ශත වලින් නොව රුපියල් මිලියන ගණනෙනි. මේවා මහජනතාවගේ බදු මුදල්ය. මහජනතාව එදිනෙදා ආර්ථිකයෙන් පීඩා විදිද්දි රජයේ ආයතන වල වියදම් කිරිම පිලිබඳ මේ කුඩා හෙළිදරව්වක් පමණි. මෙසේ අයථා ලෙස / වංචා සහගත ලෙස රජයේ ආයතන තුල සිදුවන තවත් ගණුදෙණු ඔ්නෑ තරම් ඇත. නමුත් ඒවා හෙළිදරව් වන්නේ නැත.

ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් සිටින්නේ අප රටේය. අප කුඩා කළ පටන්ම අසා ඇත්තේ ලංකාව දියුණු වන තුන්වන ලෝකයේ රටක් බවය. අ‌පේ දරුවන් උස්මහත් වන විට ඔවුන්ද ඒ සූපුරුදු වැකිය අසන්නේය. වසර ගණණාවක් ගෙවී ගියද ඇත්තේන්ම තවමත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් පිලිබඳ අප පුදුම විය යුතු නැත. ඒ ලෝකයේ වැඩිම රාජ්‍ය සේවකයින් පිරිසක් නඩත්තු කරන රට අප රට බැවිනි.

-ශානි-

Social Sharing
නවතම