වෙන එකම දේ කඩාගෙන වැටීම විතරයි! – විශ්‍රාමලත් විදුලි අධිකාරී අජිත් මුණසිංහ

ඔබතුමා මේ ආණ්ඩු පෙරළිය සහ වර්තමානය ගැන මොකද හිතන්නේ?

මම හිටපු රාජ්‍ය සේවකයෙක් හැටියටත්, වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියටත්, මේ මැතිවරණය ගැන මගේ අත්දැකීම කියන්නම්..   පසුගිය ජනාධිපති මැතිවරණය හා මේ 2019 මැතිවරණයත් ශ්‍රී ලාංකික ජනතාව කරපු අත්හදාබැලීමක් ලෙසට තමයි මම වටහා ගන්නේ.  මිනිසුන්ට දැඩි පාලනයක් අවශ්‍යයි, එක් පුද්ගලයකුට බලය ඒකරාශී වෙච්ච පාලනයක් අවශ්‍යයි කියන දේ සමාජගත කරල තිබ්බා. නමුත් අපි බලාපොරොත්තු විය නොහැකි තරම් බලයක් ඒකරාශී වුණා.  මේ නිසා ඇතිවන තත්ත්වයට දැන් අපි මුහුණ දීලා ඉන්නවා. දැන් අසීමිත බලයක් සංකේන්ද්‍රනය වුණාට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මොකද්ද වෙන්නේ? කඩාගෙන වැටීම විතරයි සිද්ධ වෙන්නේ.

අපි දැක්කා පසුගිය කාලේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව අහෝසි කරන්න හැදීම ගැන විශාල සංවාදයක් ආවා. ඇත්තටම මේ කොමිසමෙන් ජනතාවට වැඩක් වුණාද?

විදුලිබල මණ්ඩලය කියන්නේ තනිකර බලය ඒකරාශි වෙච්ච තැනක්, මොකද විදුලි ජනනය, බෙදාහැරීමේ සියල්ල අයිති විදුලිබල මණ්ඩලයට. නමුත් මේ වන විට මෙය විශාල මාෆියාවක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දූෂිත දේශපාලකයො කූට ව්‍යාපාරිකයන් මෙම සේවාවන් ග්‍රහණය කරගෙන ඉන්නවා. ඊට සම්බන්ධ කළු මාධ්‍ය සංස්කෘතියකුත් ආගමික වටපිටාවක සකස් වෙලා තියෙනවා. මේවට ජනතාව නතු කරගෙන ඉන්නවා. මේ තත්ත්වය අස්සේ මෙම කොමිෂන් සභාව පිහිටුවීමෙන් අපේක්ෂා කළේ පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට හා  යුක්ති සහගත මිලකට විදුලිය ලබා දීම. ඒ වගේම පරිසරයට අවනත වෙමින් විදුලිය ලබා ගන්නේ ගන්නේ කෙසේද යන්න නියාමනය කිරීම, මේ සියල්ල සඳහා පූර්ණ අයිතිය තිබෙන්නේ මෙම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට. ඉතින් මේ තුන්වෙනි බලයක් විදියට ක්‍රියාත්මක කොමිෂන් සභාව නැතිවුණොත් මේ ක්‍රියාත්මක වෙන මාෆියාව මැඩ පවත්වා ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට කිසිදු අයෙක් නොමැති වෙයි.

ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම පිළිබඳව ඔබතුමා මොකද හිතන්නේ ?

මම කලින් සඳහන් කළා වගේ මහජන උපයෝගීතා කොමිසම ආරම්භ කළත් එහි වැඩ කටයුතු පුළුල් කිරීමට නොහැකිවුණේ ඒක ගෙනාපු 2002 ආණ්ඩුවේ බලය සීමා වුණ නිසා. ඒ නිසා ඔවුන්ට ඛනිජතෙල් සම්බන්ධ පැහැදිලි  නියාමනයක් ඇතිකරන්න නොහැකි වුණා.  නමුත් පසුගිය අවුරුදු වල ඔවුන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල පහළ බැසීමේ දී ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරා. නමුත් මේ වෙද්දි මේ අසීමිත ලෙස ගොනු වෙලා තියෙන බලය නිසාත් ස්වාධීන කොමිෂන් සභා තිබීමෙන් වැඩක් හරියට කරගන්න බෑ කියන අදහස සමාජගත වීම නිසාත් මේවා අහෝසි වෙලා ගිහිල්ලා ඒකාධිපති බලයක් නිර්මාණය වීම තුළින් තුළින් මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පවා ගිලිහී ගොස් තියනවා මේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ. නමුත් අපි උගත් පාඩම් වලට වඩා මිනිසුන් සිහිනෙන් වගේ හිතනවා එක් පුද්ගලයකු වටා බලය ඒකරාශි වූවොතින් ලොකු සංවර්ධනයක් සිදුවෙයි කියලා.

Social Sharing
නවතම සාකච්ඡා