ඇඟලුම් කර්මාන්තය කිසිසෙත්ම බිඳ වැටීමක් නැහැ! – ඇන්ටන් මාකස්ගෙන් අනාවරණයක්!

කොවිඩ් වසංගතය නිසා මෙරට ඇඟලුම් කර්මාන්තයට උදා වුයේ නරක කළ දසාවකි. විශේෂයෙන්ම මෙයින් පීඩාවට පත් වුයේ ඇඟලුම් කර්මාන්ත සේවක සේවිකාන්ය. ඒ අතරින්ද මෑන් පවර් ක්‍රමයට රැකියා කළ පිරිස පත් වුයේ අන්ත අසරණ තත්ත්වයකටය.

නමුත් මේ වන විට ඇඟලුම් කර්මාන්තශාලා යළි නැඟී සිටිමින් ඇත. ලාබ ලබති. නමුත් ඔවුන් එය සේවක සේවිකාවන්ට අඟවන්නේ නැත. ඔවුන් තවමත් පවන්නේ කොවිඩ් නිසා කර්මාන්ත ඇඳ වැටී බවය. නමුත් සත්‍ය එයමද?

මේ පිලිබඳ අප සාකච්ඡා කිරීමට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතාව සම්බන්ධ කර ගත්තෙමු. මේ පළවන්නේ  ඔහු අප සමඟ කළ ඒ සාකච්ඡාවය.

කොවිඩ් නිසා ඇඟලුම් කර්මාන්තය පහුගිය කාලයේ බිඳ වැටුණා. මෙහි වර්තමාන තත්ත්වය ගැන පැහැදිලි කළොත්?

2020 මාර්තු මාසයේ ගෝලීය කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට යන්ත්‍ර ක්‍රියාකරවන්නියන්ගේ පුරප්පාඩු පමණක් 74,000 ක් තිබුණා. නමුත් කවුරුත් ඒවට ඉදිරිපත් වුනේ නැහැ. පඩි අඩුයි, අඩු සැලකිලි ලැබෙන්නෙ, සේවා ස්ථාන වල ප්‍රශ්න ආදිය නිසා මේ ඇබෑර්තුවලට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ.

අතීතයේ නම් වෙළඳ කලාපයට අක්කා වැඩට ආවොත් තමන්ගේ නංගීව, ඥාතියෙක්ව එක්කන් එනවා තවත් රැකියා වලට. ඒත් අද එහෙම නැහැ. මොකද මේ කර්මාන්තශාලා හිමියන් තමන්ගේ සේවකයින් ආකර්ශනය  කර ගන්න උත්සහ කරන්නේ නැහැ. ඔවුන් සේවක සේවිකාවන්ට සලකන්නේ අඩු පඩියකට. අඩු සැලකිලි.

යහපාලන සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් විදේශයෙන් මෙරටට සේවක සේවිකාවන් ගේන්න පවා කැබිනට් ප්‍රතිකා ඉදිරිපත් කරලා තිබුණා. ඒ අඩු පඩියට වැඩි වැඩක් කරගන්න.

කොවිඩ් පළමු රැල්ලෙදී කර්මාන්තශාලා වසන්න එහි අයිතිකරුවන්ට සිදුවුණා. රජය ගත් හදිසි තීරණය නිසා සේවක සේවිකාවන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් අසරණ වුණා. නවාතැන් වල සිර වුණා. ඇඳීරි නීතිය දාපු නිසා කන්න බොන්න ගන්න තැනක් තිබුණේ නැහැ. පසුව මේ පිලිබඳ මාධ්‍ය මඟින් අනාවරණය වීමත් සමඟ අප වෘත්තිය සමිති එක් වෙලා යුද්ධ හමුදාපතිවරයා සමඟ සාකච්ඡා කරලා මේ සේවක පිරිස හමුදා බස් වලින් නිවෙස් වලට යවන්න සැලැස්සුවා.

එතනදී වඩාත් අසරණ වුණේ මෑන් පවර් සේවකයින්. ඔවුන්ගේ වගකීම ගන්න ආයෝජන ප්‍රවර්ධන කලාප නිලධාරීන් පසුබෑවා. ඒ විදිහට තමා මේ මෑන් පවර් සේවකයින්ට සැලකුවේ.

නැවත අප්‍රේල් මාසයේ මේ කර්මාන්තශාලා විවෘත කරද්දී සෞඛ්‍ය නිර්දේශ වුනේ 50% ක් සේවයට කැඳවන්න කියලා. එතෙන්දි මතු වුණ ගැටලුව තමා සේවකයින් අඩක් සේවයට කැඳවද්දී නිවසේ සිටින අනෙක් පිරිසට වැටුප්  ගෙවන්න බැහැ කියලා. එතනදීත් අපි මැදිහත් වෙලා තිව්වා මාරු කර කර කට්ටියවම වැඩට ගෙන්වන්න කියලා. මෙතනදී අපි කම්කරු අමාත්‍යාංශය, කර්මාන්තශාලා හා වෘත්තිය සමිති එක්ව ත්‍රෛයිපාර්ශික  ගිවිසුමක් අත්සන් කළා. ඒ කොවිඩ් නිසා කිසිඳු කම්කරුවෙක්ගේ රැකියාව අහිමි වෙන්න බැහැ කියලා. ඒ අනුව බොහෝ සේවකයින්ගේ රැකියා සුරක්ෂිත කරන්න අපට හැකි වුණා. විශේෂයෙන් ජනාධිපතිවරණය ආසන්නයේ තිබු නිසා මේ යෝජනාව සාර්ථක වුණා.

අද ඇඟලුම් සේවිකාවක‌ගේ තත්ත්වය?

ඇත්තටම මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවම වැටුප රුපියල් 10,000 ක් පමණයි. පැමිණිමේ දීමනාව/ ටාගට් දීමනාව/ ප්‍රවාහන දීමනාව/ අතිකාල ආදිය එකතු වෙලා තමා ඔවුන්ට වැඩි වැටුපක් ගන්න වෙන්නේ. කොරෝනා සමයේ මොවුන්ට අවම වශයෙන් රුපියල් 14500 ක් හෝ ගෙවිය යුතුයි කියලා කම්කරු දෙපාර්තමේන්තුව කිව්වහම මේක ඇතැම් කර්මාන්ත ශාලා හිමියන්ට ආශිර්වාදයක් වුණා.

ඔවුන් මේ සේවිකාවන්ගේ ප්‍රවාහන දීමනා, ටාගට්, පැමිණිමේ දීමනා, ආහාර වේල පවා කප්පාදු කරන්න ගත්තා. ඒ මොවුන්ට පල නොකියා පලා බෙදන්න. එතකොට මොවුන් එපා වෙලා රැකියාව අතහැර දාලා යනවා. ආයේ අස් කරලා වන්දි දෙන්න අවශ්‍ය නැහැනේ.  අනෙක් ක්‍රමය තමා පත්වීම් ලිපිය භාවිතා කරලා ඇයට හෝ ඔහුට යන්න බැරි දුර / අමාරු තවත් ශාඛාවකට මාරු කිරීම.

මොවුන් මේ වැඩ කරන්නේ කණ්ඩායම් ලෙස. ටීම් වර්ක් ලෙස වැඩ කරද්දී එක සේවිකාවක් පැමිණියේ නැති වුනොත් මුලු ලයින් එකම අඩපණ වෙනවා.  එහෙම වැදගත් පිරිසකට තමා අද මෙහෙම සලකන්නේ.

මේ කොවිඩ් සමයේ සේවක සේවිකාවන් 55,000 කට අධික පිරිසකගේ රැකියා අහිමි වෙලා කියලා අපට වාර්තා වෙලා තියෙනවා.  නමුත් දැනට කම්කරු දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ පැමිණිලි 12,000 යි. හැම මාසේකම සේවක සේවිකාවන්ගේ සේවක අර්ථසාධක අරමුදල් කැපිලා එන්නේ මෙතෙන්නට. ඒ හරහා ලේසියෙන්ම රැකියා අහිමි වු පිරිස් හොයා ගන්න පුලුවන්. ඒත් මොවුන් කළේ ඒ ගැන තොරතුරු ඉල්ලලා පත්තරේ දැන්වීමක් දාපු එක. ඔවුන් අදටත් දන්නේ නැහැ කී දෙනෙකුට රැකියා අහිමි වෙලාද කියලා.

සේවක සේවිකාවන් වෘත්තිය සමිති වලට දක්වන කොහොමද?

විධිමත් හා අවිධිමත් රැකියා වල නියැලිලා මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ 80 ක් විතර ඉන්නවා. නමුත් ඔවුන්ගේ දායකත්වය වෘත්තිය සමිති වලට 5% යි. නමුත් කොවිඩ් වසංගතයෙන් පසුව අලුතෙන් සාමාජික සාමාජිකාවන් 3000 ක් පමණ වෘත්තිය සමිති වලට දායක වුවා.

මොවුන්ට ඒ වැඩ කරන කර්මාන්තශාලා වලින් වෘත්තිය සමිති වලට බැඳෙන්න දෙන්නේ නැහැ. එතැනම මොවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙලා. ඔවුන්  මේ සමිති හරහා විවිධ වරප්‍රසාද ඉල්ලයි කියලා බයට තමා මොවුන් ඒ්වා වළක්වලා තියෙන්නේ.

පළමු කොවිඩ් රැල්ල ලංකාවට එන අවස්ථාවේම තිබුණ ඇණවුම් ප්‍රමාණය අද මේ කර්මාන්තශාලා වල තියෙනවා. අපනයනය කරනවා. ඔවුන් අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදනයක් ලබා ගන්නවා. සේවකයෝ මේවාට කට අරින්න බයයි.

දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වුණු බ්‍රැන්ඩික්ස් ආයතනයේ වාර්තාව තාම එළියට ඇවිත් නැහැ. ඒ් ඇයි?

දෙවැනි කොවිඩ් රැල්ලෙදී සේවක සේවිකාවන් 4000 කට අධික පිරිසක් අසාදිත වුණා. නමුත් මේ ආයතන මේවා ගැන සැලකිලිමත් වුණේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුණේ ටාගට් එක.

මේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ව්‍යාප්තිය ගැන හොයන්න කම්කරු අමාත්‍යාංශය වෙනම විමර්ශනයක් ආරම්භ කළා. නීතිපති නියමයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කළා. ඒත් මේ දෙකේම වාර්තා අද වෙනතුරු ප්‍රසිද්ධ කරලා නැහැ. ඒ මේ ආයතන වලට ගැටලුවක් වෙයි කියන බයට. මොකද මේවා එළියට දැම්මොත් විදේශයේ ගැණුම්කරුවෝ මේ ඇණවුම් ගන්නේ නැහැ අපිරිසිදු රෙදි කියලා. මන්ද ඔවුන්ට අවශ්‍ය සේවක සේවිකාවන්ට හොඳට සලකමින් ගන්නා පිරිසිදු ඇඳුම්. (clean clothes campaign)  ඔවුන්ගේ දහඩිය/ කඳුලු තියෙන ඇඳුම් වලට විදේශිකයින් කැමති නැහැ.

විශේෂයෙන්ම අද මේ ඇතැම් කර්මාන්තශාලා වල මානව හිමිකම් අංශයේ ඉන්නේ හිටපු හමුදාපතිවරු/ හමුදා නිලධාරීන්. ඔවුන් මොවනවද මානව සම්පත් කළමණාකරණය ගැන දන්නේ? ඔවුන් කාර්මික සබඳතාව දන්නේ නැහැ. අද මේ නිසා මානව සම්පත් අංශය අසාර්ථකයි.

ජීනිවා නිසා ඇඟලුම් කර්මාන්තයට බාධාවක් වෙයිද?

ඒ්ක බොරු බිල්ලෙක්. ජීනිවා නිසා මේ පද්ධතිය බිඳ වැටෙන්නේ නැහැ. අද නිෂ්පාදන ඇණවුම් කර ගන්න බැරි තරමට ඇණවුම් ලැබෙනවා. එයයි ඇත්ත.

ඇත්තටම තවම අපේ රටේ තියෙන්නේ ඇඟලුම් කර්මාන්තශාලා නෙමේ. ටේලර් ෂොප්. ඔවුන් ඉඳිකටුවේ සිට සියල්ල ගෙන්වන්නේ විදේශයෙන්. මේ නිසා ඇණවුමක් දෙන්න මාස තුනකට වඩා ගත වෙනවා. නමුත් චීනය වගේ රටවල සියල්ල තිබෙන නිසා ඔවුන් දින 14 කින් වැනි කෙටි කාලයකින් ඇණවුම ලබා දෙනවා.

මේ පහුගිය කොවිඩ් කාලයේ මාර්තු සිට මැයි දක්වා පමණක් ඩොලර් මිලියන 24 ක් මේ සේවකයින්ට අහිමි වෙලා තියෙනවා. අපි කියන්නේ මේ අවුරුදු සමය තුලවත් එය සේවකයින්ට ලබා දෙන්න පියවර ගන්න කියලා. සේවකයින්ට හොඳ සැලකීමක්/ ගෞරවයක් ලබා දෙන්න මේ කර්මාන්තශාලා හිමියන් පියවර ගන්නේ නැත්නම් අපි මෙය ජාත්‍යන්තරයට පවා ගෙන යන්න සුදානම් බව අවසාන වශයෙන් කියන්න කැමතියි.

සංවාද සටහන –

ශානිකා මාධවී

Social Sharing
නවතම සාකච්ඡා