ජීනිවා ගැන දැන් ඔවුන් මෙසේ කියයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි  යෝජනාව සම්මත වුයේ පහුගිය මාර්තු 23 දාය. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක්, විපක්ෂව ඡන්ද 11 ක් හා 14 ක් ඡන්දය දීමෙන් ද වැලකී තිබුණි.  ඒ අනුව වැඩි ඡන්ද 11 කින් එම යෝජනාව සම්මත වී තිබුණි.

එදින ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ  මොන යෝජනා සම්මත වූවත් අපේ ගමන දිගටම බවය.

එමෙන්ම ඔහු ඉන් නොනැවතී මේ පිලිබඳ අද (25) පාර්ලිමේන්තුවේදීද කථා කළේය. ඔහු කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන ස්ථාවර බවත්, ආර්ථික ස්ථාවර බවත් පවත්වා ගනිමින් රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් වල ප්‍රගතිය ආරක්ෂා කිරීම සඳහා කැපවීමෙන් යුතුව රජය කටයුතු කරන බවය.

මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිෂෙල් බැච්ලේ ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව කොටස් 02ට බෙදිය හැකි බවත් ඒ කොටි සංවිධානය සමග පැවති ගැටුමේදී ඔවුන් පරාජය වූ සමයේ නැති වූවේ යැයි කියන ජීවිත පිළිබඳ විභාග කිරීම සඳහා ඇති පැමිණිලි සහ පසුගිය රජය විශිෂ්ඨ ලෙස පරාජයට පත් කර රටේ ආරක්ෂාව සහ සෛවරීත්වය රැක දීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සම්බන්ධ විවේචන ලෙසට බවත් අමාත්‍යවරයා පවසයි.

රටක අභ්‍යන්තරය පිළිබඳව මානව හිමිකම් කොමිසමකට අදහස් දැක් විය නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය අස්ථාවර කිරීම උදෙසා විරුද්ධ පක්ෂයේ යම් යම් උදවිය ඉදිරිපත් කළ කරුණු මෙම මානව හිමිකම් කොමිෂන් වාර්තාවේ පිටුවල සඳහන් වන බවත් කෙතරම් ඒකාබද්ධ ලෙස මෙම කටයුතු කර ඇත්දැයි මෙමගින් පැහැදිළි වන බවද කීය.

රටේ සෞඛ්‍ය තත්වය ආරක්ෂා කිරීමට රජය ගත් පියවර පිළිබඳව නොදැන ඒ පිළිබඳව මානව හිමිකම් කොමසාරිස්වරිය වාර්තා කර ඇතැයිද ලොව කොවිඩ් වසංගතය කළමනාකරණය කළ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම ඇති බවත් එහෙත් මේ පිළිබඳව හෝ නොතකා එක්සත් ජාතින්ගේ මහලේකම්වරිය චෝදනා කරන බවද පවසයි.

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (24)  මේ සම්බන්ධව කියා තිබුණේ මානව හිමිකම් කවුන්සිලයට විස්වාසදායී තොරතුරු සැපයීම පිලිබඳ විශාල ගැටළුවක් ව තිබෙන බවත්, එමෙන්ම මානව හිමිකම් කවුන්සිලය එකී විස්වාසදායී තොරතුරු ලබා ගනු ලැබුවේ කුමන මාර්ගයකින් ද යන්න පිළිබඳව ගැටළුවක් පවතින බවත්ය.

ඒ අනුව වැරදි තොරතුරු මෙන්ම සත්‍ය තත්ත්වය සහ මානව හිමිකම් කවුන්සිලයට ලැබී ඇති තොරතුරු සම්බන්ධව විශාල පරස්පරතාවයක් තිබෙන බවත් ඔහු කියා තිබුණි.

මානව හිමිකම් කවුන්සිලයට මෙරටට ආර්ථික සම්බාධක පැනවීම වැනි රටට අහිතකර බලපෑම් සිදු කළ නොහැකි බවත්, එහෙත් ඉතාම සාධනීය ලෙස මෙකී කරුණු සම්බන්ධව විපරම් වන බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සිටින විටෝ බලයක් සහිත කණ්ඩායම් වලින් බහුතරයක් යම් කිසි ආකාරයක සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් අමාත්‍යවරයා පවසා තිබුණි.

එමෙන්ම, 2015 ජනවාරි 08 වන දිනට පසු මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ව සිට කළ පාවාදීමෙන් පසු මෙරට සත්‍ය හා විස්වාසදායි තොරතුරු සම්බන්ධයෙන් විවිධ අංශ වලින් විවිධ මත ඉදිරිපත් කර තිබෙන අතර එකී විස්වාසදායි තොරතුරු අභියෝගයට ලක් කොට තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කර තිබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පැහැදිළි ස්ථාවරත්වය කුමක් ද යන්න පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙන අතර මානව හිමිකම් කවුන්සිලය මඟින් පත් කොට ඇති මෙරට මානව හිමිකම් කඩවීම පිළිබඳව සෙවීම සඳහා පත් කොට ඇති නව කණ්ඩායම පිළිබඳව ද තීන්දුවක් ගන්නා බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා තිබුණේය.

-ශානි-

Social Sharing
නවතම