ටයිල් ආනයන තහනම පාරිභෝගිකයා ගසා කෑමට ලක් කිරීමක්ද?

ලංකාව මේ වන විට ඇත්තේ උග්‍ර ආර්ථික අර්බුදයකය. විදේශයෙන් ගත් ණය ගෙවා ගැනීමේ හැකියාවක් නැත. මන්ද මෙරට අය ශේෂයට වඩා වැය ශේෂය ඉහළ යාම නිසාය.

අපනයනයට වඩා ආනයනය වැඩිය. මේ නිසා වත්මන් රජය විදේශයෙන් මෙරටට ගෙන්වන භාණ්ඩ රැසකට සීමා පැනවිය. ඒ අනුව වාහන ගෙන්වීම, ගම්මිරිස්, කරුංකා, සියඹලා, කුරුඳු, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු සහ කරාබු නැටි ආනයනය තහනම් කිරිම, වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට පියවර ගෙන තිබුණි.  ඒ් අතර ටයිල් හා සාරිද විය.

විදේශ විනිමය ආරක්ෂාකර ගැනීම සඳහා සෙරමික් භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ ගණනාවක් ආනයනය කිරීම තහනම් කළ නිසා මෙරට වෙළදපලේ ප්‍රධාන වශයෙන් පහර වැදුනේ ටයිල් කර්මාන්තයටය.  පවතින වෙළඳපොලේ  ටයිල් හිඟයයක් මතු විය.  සෙරමික් භාණ්ඩ සහ නාන කාමර කට්ටල මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේය.

වර්තමානයේ ආනයන සීමා ඉවත් කර තිබුණද සෙරමික් භාණ්ඩ මිලදී ගැනීම සඳහා මාස තුනකට පමණ පෙර සිට මුදල් ගෙවා බලා සිටීමට පාරිභෝගිකයන්ට සිදු වී ඇත. ආනයන සීමා ඉවත් වීම නිසා පාරිභෝගිකයාට සහනදායිව සෙරමික් භාණ්ඩ මිලට ගතහැකි විය යුතු වුවද රටේ පවතින තත්ත්වය අනුව,නාන කාමරයක් ඉදිකිරීමට පෙර පැවති මිලට වඩා දෙගුණයක් හෝ තෙගුණයක් වැය කිරිමට සිදුව තිබේ.

මේ පිලිබඳ පහුගියදා (23) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධානයට ලක් කර ඇත්තේ කොවිඩ් 19 කාල සීමාවෙහි ආනයන සීමා පැනවීම නිසා දේශීය ව්‍යාපාරිකයින් අතිරික්ත ලාභයක් උපයා ගත්තේ ද එයින් පාරි‍භෝගිකයාට අසාධාරණයක් සිදුවිණිද යන්න රජයේ මුදල් කාරක සභාව විසින් තවදුරටත් විමර්ශනයට ලක් කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් ප්‍රකාශ කිරිම නිසාය.

මෙහිදී හෙළි වුයේ ආනයන දත්ත විශ්ලේෂණයක් සහ කර්මාන්ත අමාත්‍යංශයේ විශ්ලේෂණාත්මක වාර්තාව සහ නිර්දේශ සැලකිල්ලට ගනිමින් මේ ටයිල් ආනයන තහනම පිළිබඳව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවය.

මෙම ආනයන සීමා පැනවීමට සිදුවූයේ කොවිඩ් 19 අර්බුදය හමුවේ අප රටට මුහුණ පාන්නට සිදු වූ අසාමාන්‍ය අවස්ථාවකදී වුවද නිදහස් වෙළඳපොල ආර්ථික ක්‍රමය හමුවේ නිලධාරීන් විසින් රජයට පෙන්වා දිය යුතුව තිබුණේ, දැනට මෙරට ටයිල් පාරිභෝජනයෙන් 30%ක් සපුරන දේශීය කර්මාන්තය දීර්ඝකාලීනව සංවර්ධනය කරමින් ආනයනය ක්‍රමානුකූලව අඩු කිරීම බව සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදි.

මේ වන විට දේශීය වෙළඳපොළේ සෙරමික් ආනයනකරුවා මිල නියම කරන ප්‍රමාණයටම දේශීය නිෂ්පාදකයා ද මිල ඉහළ දමන බව පෙනී යන බවත්, එය තුලනය කිරීමට ආනයන – අපනයන සීමා පමණක් නොව වාර්ෂික ඉල්ලුම සහ සැපයුම අතර සමානතාවක් තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේය.

මෙම ගැටළු නිරාකරණය කිරීම සඳහා ටයිල් නිෂ්පාදකයන් සහ ටයිල් ආනයනකරුවන් අතර ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමක් නුදුරේදීම පැවැත්වීමට නියමිත බව ආනයන අපනයන කොමසාරිස් ජනරාල්වරිය ද මෙහිදී අනාවරණය කළාය.

(23) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විදුර වික්‍රමනායක මහත්වරුන් ද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් මහතා, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, කුමාර වෙල්ගම මහතා, මුජිබර් රහුමාන් මහතා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා, නලින් ප්‍රනාන්දු මහතා ආදී මන්ත්‍රීවරු සහභාගි වූහ.

මේ අතර ඊයේ (24) කැබිනට් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දිමේ සාකච්ඡාවේදී අනාවරණය වුයේ ටයිල් ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල්කරන බවය. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබුණේ දින 180කට පමණක් සීමා කරමින් ණයවර ලිපි නිකුත් කිරීම ඉදිකිරීම් කර්මාන්තය කඩාවැටීම වළකාලීම සඳහා සෙරමික් නිෂ්පාදන යම් ප්‍රමාණයක් හා තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය කටයුතු කරන බවය.

-ශානි-

Social Sharing
නවතම