ළමා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදී! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

ළමයි වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීම බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා එකට එක් වන ලෙස  සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටී.

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම ඉල්ලීම  සිදු කර තිබේ.

සෑම වර්ෂයකම ජනවාරි 4 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් ගොඩ නැඟීම පරමාර්ථ කරගනිමින් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙයි.

එම අධිකාරිය පවසන පරිදි  2009 වර්ෂයේ දී ආරම්භ වන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය මෙවර සමරන්නේ 13 වැනි වරටයි.

සිය නිවේදනය මගින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ දරුවන්ගේ ජීවිත වඩාත් යහමඟට යොමු කළ හැකි ප්‍රධාන පුද්ගලයන් වන්නේ දෙමව්පියන් බවයි.

“එමෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය භාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය”.

ලොව සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව ළමුන් වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීම බව පෙන්වා දෙන මහාචාර්ය මුදිත විදානපතිරණ තව දුරටත් අවධාරණය කර ඇත්තේ  අද වන විට වර්ධනය වන ප්‍රවණතාවක් ලෙස අධ්‍යාපනය ලබන පාසල තුළදී ළමුන් හිංසනයට ලක් වන බව අසන්නට දකින්නට ලැබෙන බවයි.

මෙවැනි ළමා හිංසනයන් තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත්,  සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදුවන බව මහාචාර්යවරයා තව දුරටත් පෙන්වා දෙයි.

“මොවුන් පසු කළ සමාජයට වෛර කරන කෲරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායී පුද්ගලයන් බවට පත් විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප සමාජයේ දරුවන්ව ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වග විය යුතු වේ”.

දරුවකු සිදු කරන වැරැද්දකට ශාරීරිකව දඬුවම් කිරීමට වඩා එම දරුවාට එය වැරැද්දක් බව ආදරයෙන් අවබෝධ කරදීම තුළින් ලැබෙන ප්‍රතිඵල වැඩදායක බව පවසන ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය  එය ධනාත්මක ශික්ෂණ ක්‍රමය බවද පෙන්වා දෙයි.

“අප සිදු කළ යුත්තේ දරුවා නිවැරදි කිරීමට අවබෝධ කරදීමට දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි”.

විශේෂයෙන් ළමුන්ගේ අදහස් වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමටද වැඩිහිටියන් වශයෙන්  වග බලාගත යුතු බව පවසන  මහාචාර්ය මුලිත විදානපතිරණ රට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ “මගේ ළමයා” යන සිතිවිල්ලෙන් මිදී  “අපගේ ළමයි”, යන සිතුවිල්ලට එළඹිය යුතු කාලය පැමිණ ඇති බවයි.

දැයේ දරුවන් ළමා හිංසනය ඇතුලු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ජාතික ළමා  ආරක්ෂණ අධිකාරිය රටේ වැඩිහිටියන්ගෙන්  ඉල්ලා සිටින්නේ  සෑමවිටම ළමයා ළමයෙකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි  අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් එක්සත්ව එක්සිත්ව එක්වන ලෙසයි.

දෙපැයකට වතාවක් ළමා  අපචාරයක්

ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන බව 2019 වසරේ අපරාධ සංඛ්‍යා ලේඛන උපුටා දක්වමින් අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පසුගිය වසරේ  හෙලිදරව්ව කර තිබුනි.

නියෝජ්‍ය පොලිස්පති වරයා එහිදී තව දුරටත්  පෙන්වා දී තිබුනේ  එම වසරේ වාර්තා වී ඇති ළමා අපචාර ප්‍රමාණය 5292 ක් බවයි.

Social Sharing
නවතම