ජෝර්ජ් කිට් නොසිටින්නට?

කිට් වාසය කළ මහනුවර මල්වතු විහාරය ආසන්නයේ පිහිටි නිවෙසට මදක් සමීපයේම තවත් දක්ෂ නර්තන ශිල්පියකු ජීවත් වුණා. ඒ කලා ගුරු ශ්‍රී ජයනා. මොවුන් දෙදෙනා තරුණ කාලයේ සිටම දැන හැඳින සිටි සමීප හිතවතුන්. පන්ති පදනම හැටියට ගත් විට මේ දෙදෙනා අයත් වූයේ ස්ථර දෙකකට.

කිට්ගේ පියාත් නැටුම් කලාව ගැන උනන්දුවක් දැක්වූ අයෙක් නිසා

මේ පවුල් දෙක අතර දීර්ඝ කාලයක සිට හැඳුනුම් කමක් තියෙන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන්.

අසල ගම්වල දක්ෂ නර්තන ශිල්පීන් ගෙන්වා ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන සංදර්ශන සංවිධාන කිරීම, ඒ යුගයේ උඩරට ප්‍රභූ නිවාසවල පැවැති සිරිතක්. එවැනි අවස්ථාවන්ට ඔවුන්ගේ හිතවතුන්ට ද ආරාධනා කරනවා.

කිට් නිවසේ ද එම සිරිත එලෙසම පැවතුණා. වෙනසකට තිබුණේ උඩරට සිංහල ප්‍රභූ සමාජය එහි වින්දනය ලබන අතර දේශීය නර්තනය හා එහි නියුතු ශිල්පීන් ගර්හාවෙන් සැලකීමත් කිට් පවුල අනුමත නොකිරීමයි.

ඔවුන් එය උසස් කලාව ලෙස සැලකුවා.

(සමානාත්මතා පදනමින් දේශීය කලාකරුවන්ගේ දක්ෂතා ඇගයීමේ ලක්ෂණය කිට්ගේ පියා තුළ ද තිබුණා.)

උඩරට නැට්ටුවකුගේ ආභරණ කට්ටලය තුළ වෙස් තට්ටුවට ලැබෙන්නේ සුවිශේෂ තැනක්.

ජයනා සතුව වෙස් පෙට්ටියක් නැති බව ඔහුගේ අයියා කිට්හට දන්වා සිටිනවා. මේ තරුණ නැට්ටුවාගේ දක්ෂතා හොඳින් හඳුනන ඔහු ඒ සඳහා වැය වන මුදල සම්පූර්ණ කර ගැනීමට වෙන්ඩ්ට් ගේ උපකාර බලාපොරොත්තු වෙනවා. ඔහු එය කැමැත්තෙන්ම ඉටු කරනවා.

තිත්තපජ්ජල දක්ෂ රිදී වැඩකරුවන් මුණ ගැසෙන ඔහු ආභරණ කට්ටලය සකස් කිරීමට බාර දෙන්නේ “මෙය අනාගතයේ දක්ෂ ශිල්පියකු වන අයකු පළදින කට්ටියක් නිසා අලංකාර ලෙස නිමකරන ලෙස” දන්වමිනි.

පසුව ජයනාට කිට්ගේ හිතවතකු වන මාර්ටින් රසල්ගේ උදව්වෙන් නර්තනය ඉගෙනීමට ඉන්දීයාවට යෑමේ අවස්ථාව ලැබෙනවා. කිට්ගේ මැදිහත්වීම මත ජයනාට මුල්ක් රාජ් ආනන්ද්ගේ නිවෙසේ නැවතී නර්තනය ඉගෙනීමේ අවස්ථාව ලැබෙනවා. මේ සම්බන්ධය නිසා ශ්‍රී ජයනා, ලයනල් වෙන්ඩ්ට් රඟහලේ නැටුම් පන්ති පැවැත්වීම ආරම්භ කරනවා. එතෙක් ගර්හාවෙන් දේශීය නර්තනය බැහැර කළ කොළඹ ප්‍රභූ පන්තිය නර්තනය ඉගෙනීමට පටන් ගන්නවා.

මේ වැඩ පිළිවෙළ මෙසේ යන අතර කිට් සිය නිවෙසේ නවාතැන් දෙමින් සචින් ශංකර්, නරේන්ද්‍ර ශර්මා, සුඛේන් දත්, දේවදත්ත, ජටිල වැනි ප්‍රමුඛ ඉන්දීය නර්තන ශිල්පීන්ට උඩරට නර්තනය ඉගෙන ගැනීමට පහසුකම් සපයනවා.

බොහෝවිට අප කිට් හඳුනන්නේ චිත්‍ර ශිල්පියකු ලෙස පමණයි. නමුත් ඔහු අන්තර් සංස්කෘතික හුවමාරුවට මඟ පෑදු අයෙක්.

ශ්‍රී ජයනා දේශීය නර්තනයට විධිමත් බව ලබාදී විෂය නිර්දේශයක් සකස් කරනවා. ඉතිහාසයේ කුමන හෝ හේතුවක් මත මේ චරිත මුණ නොගැසුණා නම් අද ආඩම්බරයෙන් කතා කරන්න අපේ බොහෝ කලා සම්ප්‍රදායන්ගේ තත්ත්වය කුමක් වෙන්න තිබුණා ද?

චන්දන ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

Social Sharing
නවතම විශේෂාංග