වකුගඩු රෝහලේ කොවිඩ් ආසාදිත අධ්‍යක්ෂක රෝහලේ “ටී පාටි” දාලා.

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල මේ වන විට වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනෙකු ගොදුරු කර ගනිමින් සිටියි. විශේෂයෙන්ම මේ වන විට වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු, අංගොඩ, මුල්ලේරියාව රෝහලේ හෙදියන් ඇතුලු මහනුවර, දඹුල්ල, ගම්පහ, හොරණ ආදී දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල් වල කාර්ය මණ්ඩලය මේ වෛසරසයට ගොදුරුව සිටිති.

මාලිගාවත්ත, ජයන්ත වීරසේකර මාවත පිහිටි වෘක්කවේද කාන්දු පෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානය හෙවත් මාලිගාවත්තේ වකුගඩු රෝහල පවතින්නේද මේ වන විට කොවිඩ් අවධානමේය. ඒ මෙහි අධ්‍යක්ෂකවරයා මේ වන විට කොවිඩ් පොසිටිව් බව හෙළි වී තිබීම නිසාය.

2009 වසරේ නොවැම්බර් මාසයේ 14 වැනිදා මාලිගාවත්ත වකුගඩු රෝහල ඇරඹෙන්නේ කොළඹ ජාතික රෝහලට අනුබද්ධිත ආයතනයක් ලෙසය. වර්තමානයේ මෙම රෝහල ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අතර 2010 වසරේ ජනවාරි 10 වැනිදා රෝහලේ සායන කටයුතු අරඹන ලදි.

මේ වකුගඩු රෝහලේ බාහිර රෝගී අංශයක් නොමැත. රෝහලේ දී ප්‍රතිකාර ලබා ගත හැක්කේ නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන්නන්ට පමණි. වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේ දිවයිනේ ඕනෑම රෝහලකින් ප්‍රතිකාර ගැනීමට හැකියාවක් ඇත. නමුත් මෙම රෝගයේ තුන්වන සහ හතරවන අවස්ථාවලදී නිතර නිතර විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීමට සිදුවෙයි. විශේෂඥ ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කර ගන්නේ ප්‍රත්‍යන්ත රෝහල් මගිනි. ඒවා නම් කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, අනුරාධපුරය මහ රෝහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඒවා අතර වේ.

මෙහි වත්මන් අධ්‍යක්ෂ වන්නේ වෛද්‍ය එම්. ඒ. සී.එම්. රිෆායි මහතාය. ඔහු ඉකුත් 20 වෙනි දින නත්තල් දා සිය පුතණුවන් සමඟ රෝහලට පැමිණ ඇත. පසුව රෝහල් කාර්ය මණ්ඩලයට රැස්වීමක් කැඳවා ඇති මොහු භෞතික චිකිත්සක  (පිසෝ තෙරපි) අංශයටද ගොස් ඇත. ඒ මුඛ ආවරණයක්වත් නොමැතිවය. එදින සවස රෝහල් කාර්ය මණ්ඩලයට තේ පාටියක් ලබා දී ඇති මොහු පාටිය අවසානයේ ඔහුගේත් පුතුගෙත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක් කරවාගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනාටම කොවිඩ් ආසාදනය වී ඇති බවත් එම වෛරසය ඉහළ මට්ටමක ඇති බවත්ය.

මෙම සිදුවීමෙන් පසුව වහාම ඔවුන්ව අදාල ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් ඇතුලු කාර්ය මණ්ඩලයේ 17 කු නිරෝධායනයට යොමු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ඉන් අට දෙනෙකු අනුරාධපුරයේ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින අතර සෙසු පිරිස නිවෙස් වල සිට නිරෝධායනයට ලක් කර ඇත.

මේ වන විට රෝහලේ කාර්යාලයේ සිටින්නේ ප්‍රධාන ලිපිකරු පමණය. එමෙන්ම කාර්ය මණ්ඩල හිඟය නිසා මේ වන විට රෝහලට රෝගීන් ඇතුලත් කර ගැනීමද අත්හිටුවා ඇත. රෝහලේ සිටින රෝගීන් කොළඹ ජාතික රෝහල ඇතුලු අවට රෝහල් වලට මාරු කරමින් සිටින බවද රෝහලේ කාර්යය මණ්ඩලය පවසයි.

මෙහි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පවසා සිටින්නේ අධ්‍යක්ෂකවරයා හුදකලා ඇති ප්‍රදේශයක පවතින රෝහලේ වැඩකටයුතු සඳහා 1/3 ක කාර්ය මණ්ඩලය ගෙන්වා ගැනීම වෙනුවට දිනපතාම සම්පුර්ණ කාර්ය මණ්ඩලය ගෙන්වා ගත් බවය. එමෙන්ම ඔවුන්ට ආහාරයක්වත් බෙදා හදා නොගන්නා ලෙස උපදෙස් දී තිබු නමුත් අධ්‍යක්ෂකවරයා මුඛ ආවරණයක්වත් නොමැතිව රෝහල පුරා 25 දා සැරිසරා, පාටි දමා අවසානයේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය කර ගැනීම පිලිබඳ යම් සැකයක් පවතින බවය.

සියල්ල අවසානයේ ඔහු මේ පරික්ෂණය කර ගනු ලැබුයේ ඔහුගේ  සිතේ පැවති යම් සැකයක් නිසා බව මේ වන විට රෝහල් කාර්ය මණ්ඩල සැක කරනු ලබයි. තවත් පිරිසක් පවසන්නේ අධ්‍යක්ෂකවරයා මෙය සිතාමතාම කළ ක්‍රියාවක් බවය.

කෙසේ නමුදු දැන් සියල්ල සිදුව ඇත. මෙම රෝහලේ සිටින්නේ ප්‍රතිශක්ති ඌනතා ඇති රෝගීන්ය. ඒ නිසා රෝහල් අධ්‍යක්ෂකවරයාට මීට වඩා වගකීමකින් යුතුව හැසිරිය යුතුව තිබුණි.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු විමර්ශනයක් ආරම්භ කර නොමැති බව පෙන්වා දෙන රෝහල් කාර්ය මණ්ඩලය පවසා සිටින්නේ වහාම මේ පිලිබද විමර්ශනයක් ඇරඹිය යුතු බවය.

සෞඛ්‍ය මණ්ඩලය මෙලෙස රෝගී වුවහොත්, නිරෝධායනයට පක් වුවහොත්  රෝගීන්ට ඉදිරියේදි ප්‍රතිකාර කිරිමට කාර්ය මණ්ඩලය හිඟ වනු ඇත.ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය මේ පිලිබඳ වහා අවධානය යොමු කළ යුතුව ඇත.

Social Sharing
නවතම