සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?

මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේය.

ඒ තුලින්වත් ලැජ්ජාවක් හෝ බියක් ඇති වී මේ අපරාධ රැල්ල යම් ප්‍රමාණයකට හෝ නැවැත්විය හැකි බව ඔහු විශ්වාස කරන බවද එහිදී ප්‍රකාශ කර තිබුණි.

යුක්තිය පසඳලීමට මරු පහරක්!

නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙකු නිවැරදි බව නීතියේ සඳහන් කර තිබියදී පොලිසිය භාර අමාත්‍යවරයා මේ කිරීමට සුදානම් වන දේ තරයේ හෙළා දැකිය යුතු දෙයක් බවය.

ඔහුගේ නොදැනුවත්කම නිසා හෝ අවබෝධයෙන් තොරව ක්‍රියා කරන දෙයක්ද යන්න පැහැදිලි නැති නමුත් මෙම ක්‍රියාව යුක්තිය පසඳලීමට කරන මරු පහරක් බවද ඔහු කියා සිටියි.

මන්ද ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව ඔවුන් වරදකරුවන් බවට පත් කර අවසන් බවත් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන තැනකට පත් කිරීමක් බවද ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා පෙන්වා දෙයි.

කොටදෙණියාවේ සේයා දැරිය

මෙහිදී අපගේ මතකයට නැගෙන්නේ කොටදෙණියාවේ ඝාතනය කෙරුණු සේයා දැරියගේ සිද්ධියයි. එවකට එම සිදුවීමට රටේ සියලු දෙනා සංවේදී වුහ. ඒ නිසාම වැඩි දෙනෙකුගේ  අවධානය ඊට යොමු වූ අතර පළමුව සැක පිට අත්අඩංගුවට ගනු ලැබුයේ පාසල් සිසුවෙක්ය. මාධ්‍ය මඟින් ඔහුගේ ඡායාරූප, වීඩියෝ ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඔහු සම්බන්ධ විමර්ශන නිමා කිරීමටත් ප්‍රථම වැරදිකරුවෙකු ලෙස හංවඩු ගසන ලදි.

නමුත් අවසානයේ පොලීසියම ප්‍රකාශයට පත් කළේ එම ඝාතනයට අදාල සැකකරු ඔහු නොවන බවත් කොණ්ඩයා නම් නැමැති පුද්ගලයෙකු බවත්ය.

එහෙත් ඒ වන විටත් පෙර කී පාසල් සිසුවාගේ චරිතය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වීම නිසා ඝාතනය වී අවසන්ය.

විල්වත්ත ඝාතනය

එමෙන්ම මීරීගම – විල්වත්ත නිශාදිගේ ඝාතන සිද්ධියේදීද සිදු වුයේ එවැන්නකි. ඇයගේ ඝාතනය එවකට සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති කළ අතර බොහෝ දෙනෙකු ඉල්ලා සිටියේ මෙවන් සැකකරුවන්ට මරණිය දණ්ඩනය ලබා දෙන ලෙසටය.

එහිදී ද පළමුව පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුයේ නිශාදිගේ පෙම්වතාය. මාධ්‍ය මඟින් ඔහුගේ තොරතුරු, ඡායාරූප වැඩි වැඩියෙන් පළ වන්නට විය. නමුත් පරීක්ෂණ අවසානයේ වෙනත් මඟකට හැරී අත්අඩංගුවට ගනු ලැබුයේ වඩේ සුදාය.

මේ සම්බන්ධයෙන් ගම්පහ මහධිකරණයේ නඩුව පැවති අවස්ථාවේදී සියලු මාධ්‍ය ඊට පුලුල් ප්‍රචාරයක්, ප්‍රසිද්ධියක් ලබා දුන් අතර ඇතැම් පුවත්පත් ඒ් සඳහාම පිටු වෙන් කර තබා ගැනුණි. අධිකරණයේ ලබා දෙන සෑම සාක්ෂියක්ම ඒ පත්තර පිටුවෙන් ප්‍රසිද්ධ වෙද්දී නිශාදිගේ පියා හඬා වැටෙමින් අධිකරණයෙන් සංවේදී ඉල්ලීමක් කර තිබුණි. ඒ අධිකරණයේ මේ සම්බන්ධව ලබා දෙන සාක්ෂි මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ වීම වළකාලන ලෙසටය. මන්ද තම මිය ගිය දියණිය මේ නිසා යලිඳු වරක් ඝාතනය වන බව ඔහු පෙන්වා දි තිබුණි.

නමුත් අධිකරණයට මාධ්‍යට මේ පිලිබඳ තහනම් නියෝගයක් දිය නොහැකි බැවින් එවකට සිටි මහධිකරණ විනිසුරුවරයා අධිකරණයේ රැඳි සිටි සියලු මාධ්‍යයෙන් ඉල්ලා සිටියේ සංවේදිව මේ දෙස බලා හැකිනම් පියගේ හඬට කන් දෙන ලෙසටය.

සදහටම අපරාධකරුවෙක් විය හැකියි

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීමෙන් ඔවුන්ට ලැජ්ජා බිය වී අපරාධ අඩු වන බවට පොලිසිය භාර අමාත්‍යවරයා විශ්වාස කරන්නේ නම් එහි පළමුව ඇඟිල්ල දික් විය යුත්තේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ටය.

අද පාර්ලිමේන්තුවේ නඩුවක් නොමැති මන්ත්‍රීවරයෙක් සොයා ගැනීම අපහසුය. විශේෂයෙන්ම ඝාතන සම්බන්ධයෙන් නඩු ඇති අයද සිටින්නේය. ඔවුන් අධිකරණ වලට, රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථා වල ඡායාරූප මාධ්‍ය වල ප්‍රසිද්ධ වන තරමට මේ වන විට පාර්ලිමේන්තුව නිකලැල් පුද්ගලයින්ගෙන් සමන්විත යුතුව ඇත.

යම් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් ව දඩුවම් ලබා දෙන්නේ හුදෙක් පුනරුත්ථාපන ක්‍රියාවලියත් සමඟිනි. ඇතැම් විට ඔහු බන්ධනාගාර ගතව එළියට පැමිනෙන විට සියලු වැරදි සකසා ගත් අයෙක් විය හැකිය. නමුත් ඔහුට සමාජයේ ජිවත් වන්නට අවැසි පරිසරය මේ ඡායාරූප මාධ්‍යට මුදා හැරීමෙන් අහිමිව යන්නේය. නැවත වරක් ඔහුව සමාජයේ කොන් වී යයි. එවිට සිදු වන්නේ සමාජයත් සමඟ වෛරයෙන් පසු වි අපරාධ කිරීමට පෙළඹවීමකි.

එහෙයින් පොලිසිය භාර අමාත්‍යවරයාගේ මේ අදහස ක්‍රියාත්මක කිරීමට පෙර නැවත වරක් සිතා බැලිය යුතුව ඇත.

Social Sharing
නවතම