“චම්පකය” – අජිත් පැරකුම් ජයසිංහ

චම්පික යන නම නලින් ද සිල්වා වහරන්නේ චම්පක ලෙසය. ඇත්තෙන්ම, චම්පික කියා වචනයක් සිංහල භාෂාවේ නැත. චම්පක යන වචනයෙහි තේරුම සපු ගස යන්නයි. පාටලී හා පලොල් කියන්නේද එයටමය.

චම්පික යන වචනය සකසාගෙන තිබෙන්නේ චම්පක ඇසුරෙනි. සපු ගසෙන් පිපිණු මලක් නිසා චම්පික නූතන සපුමල් කුමාරයකු ලෙස සැලකිය හැකිය.

නිල තුරඟුට නැඟෙමින් රිවි දෙව් සිරින

දුල කැරැ සේසත් මිණි බරණ කිරණින

බලපිරි සෙන් සහ යාපා පටුන් ගෙන

බල සේනානායක සපු කුමරු එන

සැලලිහිණි සංදේශයේ එන මෙම කවියෙන් ද කියවෙන්නේ සපුමල් කුමාරයා ගැනයි. මලයාලි සම්භවයක් සහිත සෙම්බගප්පෙරුමාල් නම් වන මෙම සෙනෙවියා යාපා පටුන ජයගෙන ශ්‍රී ලංකාවම අවසන් වරට එක්සේසත් කළ රජු බවට පත්වීමට කෝට්ටේ රාජධානියේ හයවන පරාක්‍රමබාහු රජුට උපකාර කළේය. පසු කලෙක හයවන බුවනෙකබාහු ලෙස රජ විය.

1983න් පසු ශ්‍රී ලංකාව නැවත යුදමය වශයෙන් එක්සේසත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂට මිලිටරි දේශපාලන සපුමල් කුමාරයා වුණේ චම්පක රණවක බව රහසක් නොවේ. එහෙත්, යුදමය වශයෙන් රටක් එක්සේසත් කරන පමණින් එම රට ජාතික වශයෙන් එක්සේසත් වන්නේ නැත. ශ්‍රී ලංකාවට සිදුවී තිබෙන්නේ එයයි. කාලයත් සමග සුළුතර ජාතීන්ගේ අරගල පරාජය වී, අවස්ථාවාදයට යට වී තිබේ. මේ වනවිට මුස්ලිම් ජාතික දේශපාලනය මුළුමනින්ම අවස්ථාවාදී නරාවලකි. දෙමළ ජාතික දේශපාලනය කියා වැඩි වෙනසක් නැත.

එහෙත්, සිංහල ජාතික දේශපාලනයට මගපෙන්විය හැකි නිසි නායකයකු සොයාගැනීමට අසමත් වීමෙහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සිංහල ජාතිය අන්ත අසරණ තත්වයට පත්වී තිබේ. රටේ ජාතික නායකත්වය සිංහල ජාතිය අත ස්ථාවර වී තිබුණත්, රටට නායකත්වය දීමට මිනිහෙක් නැත.ගෝඨාභය රාජපක්ෂට ලංකාවට අවශ්‍ය නායකත්වය දෙන්නට බැරි බව ඔප්පු වන්නට අවුරුද්දකට වඩා කාලයක් ගත වූයේ නැත.

චම්පික ජාතික හෙළ උරුමය අතහැර සජිත් ප්‍රේමදාස සමග හෝ තනිව හෝ අලුත් ගමනක් යන්නට මුලපුරන්නේ මෙම පසුබිම තුළය. මෙම චරිත දෙක තරාදියක දමා කිරා බැලුවෙහොත්, නායකත්වය සඳහා වැඩි සුදුසුකම් ප්‍රමාණයක් තිබෙන්නේ චම්පික රණවකටයි. එහෙත්, මේ මොහොතේ බල දේශපාලනය තුළ ඉදිරියෙන් සිටින්නේ සජිත් ප්‍රේමදාසයි. එය පිළිගැනීමට චම්පිකට සිදුවේ.

මෙම දෙදෙනා අතර තරගය පුපුරායාමකින් අවසන් නොවන පරිදි, මිත්‍රශීලී ලෙස එක්ව ඉදිරියට යා හැකි නම්, 2025 වන විට ඔවුන්ට බලවත් තත්වයකට පත්විය හැකිය.

මෙම අවධිය වනාහි සිංහල ජාතික ආධිපත්‍යය රාජ්‍යය තුළ තහවුරු වී තිබෙන යුගයකි. එවන් යුගයක් වෙනුවෙන් අවශ්‍ය වන්නේ තවදුරටත් ජාතිවාදී පල්වලම ඉහගෙන කමින් බලයේ ඉන්නට උත්සාහ කරන සාමාන්‍ය නායකයන් නොවේ. සිංහල ජාතියට මෙතැනින් ඉදිරියට අඩියක් පෙරට තැබීමට නායකත්වය දිය හැකි දැක්මක් සහිත නායකත්ව පෞරුෂයකි. චම්පික සතුව එය තිබේ. එහෙත්, ඔහු දක්ෂ සංවිධායකයකු නොවේ.

චම්පිකගේ ඉතිහාසය තුළ තිබෙන්නේ කල්යල් බලා ගැසූ දහංගැටවලින් ගොඩයාමේ උරුමයකි. මේ අවස්ථාවේ එය සාර්ථක වන්නේ නැත. රාජපක්ෂ බලවේගය හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොයි තරම් අසාර්ථක වුවත් එය මහා බලවේගයකි. එය අභ්‍යන්තරිකව කළමනාකරණය කරගැනීම රාජපක්ෂලාට ද පහසු නැත. චම්පිකට දහං ගැටවලින් ම සිය මාර්ගය පාදාගත නොහැකිය. ජනතාව අතරට යාම, සංවිධාන ගොඩනැගීම, පක්ෂ කළමනාකරණය, උද්ඝෝෂණ පැවැත්වීම, මාධ්‍ය හසුරුවාගැනීම හා අරමුණක් වෙනුවෙන් සමාජය බලමුළුගන්වාගැනීම සඳහා දක්ෂ සංවිධායකයින් චම්පිකට අවශ්‍යය.

මේ මොහොත ජාතික සමානාත්මතාව ප්‍රමුඛ සටන් පාඨයක් වන අවස්ථාවක් නොවේ. එයට වඩා අදට අවශ්‍ය වී තිබෙන්නේ පවත්නා සිංහල අධිපතිවාදී රාජ්‍ය සංදර්භය තුළ සුළුතර ප්‍රජාවන් මර්දනය නොකරන, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යොමුවන, ආර්ථිකය විධිමත් අන්දමින් කළමනාකරණය කරගෙන ණය අර්බුදයෙන් සංවර්ධනයේ මාවත වෙත ශ්‍රී ලංකාව යොමුකරන, මිථ්‍යාවන් වෙනුවට විද්‍යාව සමග අත්වැල් බැඳගන්නා, වර්තමානයට සාපේක්ෂව තරුණ නායකත්වයකි.

ශ්‍රී ලංකාවේ සියලු මහළු දේශපාලකයන් මේ වන විට අසාර්ථකව හමාරය. 2025දී නැවතත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම වෙනුවට නාමල් රාජපක්ෂ ඉදිරියට ගැනීමට දැන් සිටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් නොව රාජපක්ෂ බලවේගය පවා කටයුතු කළ යුතුය.

ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වීමට හැකියාව තිබෙන කිහිපදෙනා අතර චම්පික ඉදිරියෙන් සිටින අයෙකි. සෙසු අය වන්නේ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායකයි. ජවිපෙ ඒ සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීමට සූදානම් බවක් මේ වන විට කිසි සේත්ම ප්‍රදර්ශනය වන්නේ නැත. පමා වී අවදි වන කුරුල්ලන්ට පෙර වේලාසනින් අවදි වූ කුරුල්ලන් ආහාර සොයාගනු ඇත.

Home

Social Sharing
නවතම විශේෂාංග