
ළමා අපයෝජන සිදුවීමකදී යුක්තිය ඉටු වීම හෝ නොවීම යනු කිසිසේත්ම තනි පුද්ගලයෙකුගේ, එකම රාජ්‍ය ආයතනයක හෝ එකම අමාත්‍යාංශයක වගකීමක් හෝ තීරණයක් නොවේ. එය ආයතන ගණනාවක් සම්බන්ධ වන, එකිනෙකා මත රඳා පවතින, සංකීර්ණ හා අන්තර්සම්බන්ධිත නීතිමය සහ පරිපාලන ක්‍රියාවලියකි.
මෙම ක්‍රියාවලිය පැහැදිලි කළ හැක්කේ “බැටන් එක මාරු කරමින් යන ධාවන තරගයක්” (Relay Race) සමඟ සමාන කරමිනි. එවැනි තරඟයක ජයග්‍රහණය රඳා පවතින්නේ එක් ධාවකයෙකුගේ දක්ෂතාවය මත නොව, සෑම ධාවකයෙකුම තමන්ගේ කොටස නිවැරදිව හා කැපවීමෙන් ඉටු කිරීමත්, බැටන් එක නිවැරදි ලෙස ඊළඟ තරගකරු වෙත භාරදීමත් මතය. ළමා අපයෝජන නඩුවකදීද එය එසේමය.
ළමා අපයෝජන නඩුවක “බැටන් එක” හිමි ප්‍රධාන ආයතන
ශ්‍රී ලංකා පොලිසිය
නීතිමය ක්‍රියාවලියේ පළමු වගකීම පැවරෙන්නේ ශ්‍රී ලංකා පොලිසියටය. පැමිණිල්ල භාර ගැනීම, ක්ෂණික ස්ථානීය පරීක්ෂණ පැවැත්වීම, සාක්ෂි රැස් කිරීම, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ මූලික විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කිරීම ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාරය වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA)
1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත යටතේ ස්ථාපිත මෙම ආයතනය මහජන පැමිණිලි භාරගැනීම, අවශ්‍ය අවස්ථාවලදී විමර්ශන සඳහා නිසි බලධාරීන් වෙත යොමු කිරීම, විමර්ශන හා නඩු කටයුතු නිරීක්ෂණය කිරීම, දරුවා නැවත නැවතත් පීඩාවට පත්වීම වැළැක්වීම සඳහා වීඩියෝගත සාක්ෂි ලබාගැනීම සහ මනෝ-සමාජයීය සහාය ලබාදීම වැනි වැදගත් කාර්යයන් ඉටු කරයි.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
අපයෝජනයට ලක්වූ දරුවාගේ ආරක්ෂාව, සුභසාධනය සහ අවශ්‍ය අවස්ථාවල විකල්ප රැකවරණ (Alternative Care) සැලසීම මෙම දෙපාර්තමේන්තුවේ වගකීමකි.
වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන්ට සිදුවන තර්ජන, බලපෑම් සහ බියගැන්වීම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සහ ඒ සඳහා නීතිමය හා ප්‍රායෝගික පියවර ගැනීම මෙම අධිකාරියේ කාර්යභාරය වේ.
අධිකරණ වෛද්‍ය නිලධාරීන් (JMO)
ශාරීරික හා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් විද්‍යාත්මක හා වෛද්‍ය සාක්ෂි සපයන ප්‍රධාන විශේෂඥයන් වන්නේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
DNA ඇතුළු විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කර අධිකරණයට අවශ්‍ය වාර්තා සැපයීම මෙම දෙපාර්තමේන්තුවේ වගකීමකි.
නීතිපති දෙපාර්තමේන්තුව
විමර්ශන ගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම සහ රජය වෙනුවෙන් නඩු මෙහෙයවීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.
අධිකරණය
අවසානයේ, අධිකරණය ඉදිරිපත් වන සියලු සාක්ෂි හා නීතිමය කරුණු සලකා බැලීමෙන් අනතුරුව ස්වාධීන හා අපක්ෂපාතී තීන්දුව ලබාදෙයි.
පද්ධතිමය හා ව්‍යුහාත්මක අභියෝග
ධාවන තරගයක ජයග්‍රහණය ධාවකයන්ගේ සූදානම, සෞඛ්‍යය, පුහුණුව සහ උපකරණවල ගුණාත්මකභාවය මත රඳා පවතින්නාක් මෙන්ම, ළමා අපයෝජන නඩුවක යුක්තිය ඉටු වීමද සම්බන්ධ ආයතනවල පවතින ව්‍යුහාත්මක ශක්තිමත්භාවය මත රඳා පවතී.
මෙහිදී ප්‍රධාන ගැටලු කිහිපයක් හඳුනාගත හැකිය.
- නිලධාරීන් හා සම්පත් හිඟය – ප්‍රමාණවත් මානව සම්පත්, තාක්ෂණික පහසුකම් සහ මූල්‍ය සම්පත් නොමැති වීම.
- විශේෂිත පුහුණුවේ සහ ආකල්පවල වෙනස්කම් – ළමා වින්දිතයන් සමඟ කටයුතු කිරීම සඳහා අවශ්‍ය සංවේදීභාවය සහ වෘත්තීය පුහුණුව සියලු නිලධාරීන් සතුව නොතිබීම.
- විමර්ශනවල අඩුපාඩු – මූලික අවස්ථාවේදී සාක්ෂි නිසි ලෙස රැස් නොකිරීම, සාක්ෂි විනාශ වීම හෝ නීතිමය ක්‍රියාපටිපාටි නිසි ලෙස අනුගමනය නොකිරීම.
මෙවැනි අඩුපාඩු මුල් අවස්ථාවේ සිදුවුවහොත්, පසුව ඒවා නිවැරදි කිරීම බොහෝවිට අපහසු වේ.
“සාධාරණ සැකයෙන් ඔබ්බට” චෝදනා ඔප්පු කිරීමේ අභියෝග
ශ්‍රී ලංකාවේ අපරාධ නීති පද්ධතිය තුළ, චෝදනාව “සාධාරණ සැකයෙන් ඔබ්බට” (Beyond Reasonable Doubt) ඔප්පු කිරීමේ වගකීම පැමිණිලි පාර්ශ්වය සතුය.
එබැවින්, සියලු රාජ්‍ය ආයතන තම කාර්යභාරය නිසි ලෙස ඉටු කළද, අධිකරණය හමුවේ චෝදනා එම නීතිමය ප්‍රමිතියට අනුව ඔප්පු කිරීමට නොහැකි වුවහොත් සැකකරු නිදහස් වීමට නීතියෙන් ඉඩ ඇත.
මෙයට බලපාන ප්‍රධාන හේතු අතර,
- නඩු විභාග ප්‍රමාද වීම නිසා සාක්ෂිකරුවන් මියයාම, වෙනත් ප්‍රදේශවලට යාම හෝ අධිකරණයට පැමිණීමට නොහැකි වීම,
- හරස් ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිවල පරස්පරතා හෝ ඌනතා මතුවීම,
- තර්ජන, බලපෑම්, සමාජීය බිය හෝ ලැජ්ජාව නිසා වින්දිතයන් හෝ පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ වෙනස් කිරීම හෝ සාක්ෂි ලබාදීමට අකමැති වීම,
- පැමිණිල්ල ප්‍රමාද වීම නිසා DNA හෝ වෙනත් විද්‍යාත්මක සාක්ෂි අහිමි වීම,
වැනි කරුණු ඉතා වැදගත් වේ.
තනි ආයතනයකට පවරාගත නොහැකි වගකීමක්
වින්දිතයා දරුවෙකු වූ පමණින්ම, ළමා අපයෝජන නඩුවක අවසාන ප්‍රතිඵලය ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පමණක් වගකිව යුතු කාරණයක් ලෙස සැලකීම නිවැරදි නොවේ.
මෙය ශ්‍රී ලංකා පොලිසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය සහ අධිකරණය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක සාමූහික වගකීමකි.
ළමා අපයෝජන නඩුවක යුක්තිය ඉටු වීම යනු “එක් ආයතනයක සාර්ථකත්වය” නොව, “සමස්ත රාජ්‍ය පද්ධතියේම සාර්ථකත්වය” ය.
රිලේ ධාවන තරඟයකදී සෑම ධාවකයෙකුම තමන්ගේ අතේ තිබෙන බැටන් එක නිවැරදිව හා වගකීමෙන් යුතුව ඊළඟ ධාවකයාට භාරදිය යුතු සේම, ළමා ආරක්ෂණ පද්ධතියට සම්බන්ධ සෑම ආයතනයක්ම තමන්ගේ නීතිමය හා වෘත්තීය වගකීම් උපරිම කාර්යක්ෂමතාවයෙන් ඉටු කළ යුතුය.
ඒ සමඟම පද්ධතිය තුළ පවතින ව්‍යුහාත්මක ගැටලු, සම්පත් හිඟය, පුහුණුවේ අඩුපාඩු සහ නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා රාජ්‍ය මට්ටමේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ හැකි නම් පමණක්, අපගේ දරුවන් වෙනුවෙන් සම්පූර්ණ හා තිරසාර යුක්තියක් ඉටු කළ හැකි වනු ඇත.
මෙම ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන රාජ්‍ය ආයතන
මහජන ආරක්ෂක අමාත්‍යාංශය (ශ්‍රී ලංකා පොලිසිය)
ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය (ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව)
අධිකරණ අමාත්‍යාංශය (නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය)
අධිකරණ සේවා කොමිෂන් සභාව (අධිකරණ පද්ධතිය)
සෞඛ්‍ය අමාත්‍යාංශය (අධිකරණ වෛද්‍ය නිලධාරීන්) ය…

