
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දී සිටින අර්බුදය අද ජාතික ප්‍රතිපත්තිමය සාකච්ඡාවකට ලක්ව ඇති ප්‍රධාන කරුණකි. එහිදී විශේෂයෙන් අවධානයට ලක්ව ඇත්තේ බන්ධනාගාරවල අධික තදබදයයි. පසුගිය කාලයේ වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් ද මෙම තත්ත්වය සමඟ සම්බන්ධ බව පිළිගත යුතුය.
අද වන විට දිවයින පුරා බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව 40,000කට ආසන්න වී ඇති අතර, පද්ධතියේ නිල ධාරිතාව සැලසුම් කර ඇත්තේ රැඳවියන් 11,000කට පමණි. එනම්, ධාරිතාවට වඩා තුන් ගුණයකටත් වැඩි පිරිසක් අද බන්ධනාගාර තුළ රඳවා සිටිති. මෙය හදිසියේ ඇති වූ තත්ත්වයක් නොව, දශකයකට ආසන්න කාලයක් තිස්සේ අඛණ්ඩව වර්ධනය වූ ගැටලුවකි.
2015 වසරේ බන්ධනාගාරවල නිල ධාරිතාව 11,762ක් වූ අතර, එවකට රැඳවියන් සංඛ්‍යාව 17,212ක් ලෙස වාර්තා වී තිබිණි. එනම්, ධාරිතාව ඉක්මවා රැඳවියන් 5,450 දෙනකු සිටියේය. මෙම පරතරය වසරෙන් වසර ඉහළ ගොස් 2022 වන විට අමතර රැඳවියන් සංඛ්‍යාව 14,885 දක්වා වර්ධනය වූ අතර, අද වන විට එය 30,000කට ආසන්න වී තිබේ. එය බන්ධනාගාර පද්ධතියේ ධාරිතාවට වඩා තුන් ගුණයකින් වැඩි පීඩනයක් බව පැහැදිලිය.
මෙවැනි තත්ත්වයක් තුළ බොහෝ විට ඉදිරිපත් වන පළමු යෝජනාව වන්නේ “තවත් බන්ධනාගාර ඉදිකළ යුතුය” යන්නයි. එහෙත් ජාත්‍යන්තර අත්දැකීම් පෙන්වා දෙන්නේ, බන්ධනාගාර අර්බුදයකට ස්ථිර විසඳුම වන්නේ නව ගොඩනැගිලි ඉදිකිරීම නොව, සමස්ත අපරාධ යුක්ති පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම බවයි.
දැනට පවතින තදබදය අවම කිරීම සඳහා හමුදා කඳවුරු තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ලෙස භාවිත කළ හැකි බවට ද යෝජනා ඉදිරිපත් වී ඇත. එහෙත් එවැනි පියවර ද කෙටි කාලීන විසඳුමක් පමණක් වන අතර, මූලික ගැටලුව විසඳන්නේ නැත.
ඉතිහාසය පෙන්වා දෙන්නේ නව බන්ධනාගාර ඉදිකළ බොහෝ රටවල ඒවා ද කෙටි කාලයකින් නැවත පිරී ගිය බවයි. හේතුව සරලය. බන්ධනාගාරවලට ඇතුළත් වන පුද්ගලයන් සංඛ්‍යාව අඩු නොකරන තාක්, ධාරිතාව වැඩි කිරීම තාවකාලික සහනයක් පමණක් වන අතර, ස්ථිර විසඳුමක් නොවේ.
උපුටා ගැනීම – ෆේස්බුක්
