
පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ සහ සහකාර පොලිස් අධිකාරි වරයෙකුගේ සේවාකාලය පසුදානමින් සැකසීමෙන් ජාතික පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, අදාළ පොලිස් නිලධාරීන්ගේ පසුදානමින් යුතුව සේවාකාලය සැකසීම බලරහිත කරමින් නියෝගයක් ඊයේ (27) නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේනක චන්ද්‍රසේකර බණ්ඩාර මහතා ඇතුළු සියයකට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් ගොනු කර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික පොලිස් කොමිසම සහ එවකට පොලිස්පතිව සිටි සී.ඩී. වික්‍රමරත්න මහතා නම් කර ඇත.
අනෙකුත් විනිසුරුවරුන් දෙදෙනාගේ එකඟත්වයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.
පොලිස් අධිකාරිවරුන් වන ඩී.එම්.ඒ. බණ්ඩාරනායක සහ මනෝජ් රණගල යන මහත්වරුන් ද සහකාර පොලිස් අධිකාරි ඒ.ආර්. පී. ද අල්විස් මහතාද 2020 ජනවාරි 27 වැනි දිනම දරන ලිපිය මගින් ඔවුන්ගේ සහකාර පොලිස් අධිකාරි සේවා කාලය 2018 ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවට හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමට දැනුම් දී ඇති බවත්, මේ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් පෙත්සම්කරුවෝ කියා සිටිති.
ඉදිරිපත් වූ කරුණු විමර්ශනයේදී පෙනී යන්නේ ජාතික පොලිස් කොමිසම අදාළ නිලධාරීන් තිදෙනාට පමණක් පසුදානම යොදා සේවා කාලය සැකසීම සම්බන්ධයෙන් සාධාරණීකරණය කිරීමට කිසිදු හේතුවක් ඉදිරිපත් කර නොමැති බවයි.
ඒ අනුව අදාළ පසුදානම යොදා සේවා කාලයේ ලිපි නිකුත් කිරීම නීතියට පටහැනි බවත්, ඒ අනුව ජාතික පොලිස් කොමිසම පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවත් අධිකරණයේ මතය බව සඳහන් කළ විනිසුරු මඩුල්ල, ඒ අනුව සේවා කාලය පසුදානම යොදා සකස් කළ සියලු ලේඛන බල රහිත කිරීමට නියෝග කළේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන ශාමල් කොල්ලුරේ සහ රුවන්ති කුරේ මහත්වරුන් සමග ජනාධිපති නීතිඥවරුන් වන හර්ෂ ප්‍රනාන්දු, සංජීව ජයවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨආරච්චි මහත්මිය පෙනී සිටියාය.
රන්ජන් කටුගම්පොළ – දිනමිණ
