
ලංකා පොලිසිය තුළ විවිධ දක්ෂතා දුර්වලතා මෙන්ම ඉතා සංකීර්ණ මානව බැඳීම් වලින් සමන්විත නිලධාරීන් රාශියක් සේවය කරනු ලබනවා. මෙම නිලධාරීන් අතර බෙලිකපන්නන්, පෙත්සම්කරුවන් , සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ට්‍රේඩ් යූනියන්කරුවන්, උසස් නිලධාරීන්ට කේලාම් කියන්නන්. සැමගේ දුකට සැපට පිහිටවන සමාජ සේවකයන් මෙන්ම දුක්ගන්නාරාළලා හැම තැනදීම මුල්තැන ගන්ඩ පොරකන ෆරන්ට් ලයිනර්ස්ල, රථයක් දුටු විගස එහි නැගී ගමන් කිරීමට ප්‍රියතාවයක් දක්වන රථගාය හැදුණු නිලධාරීන් ආදි මෙකී නොකී පුද්ගල චරිත රාශියකගෙන් සැදුම්ලත් ආයතනයක් ලෙස පොලිසිය හඳුන්වන්න පුළුවන්.
විශේෂයෙන්ම ප්‍රාදේශීය පොලිස් ස්ථානයන්හි සේවය කරන කුඩා නිලධාරීන් කණ්ඩායම් අතර මෙම පුද්ගල චරිත එතරම් ඉස්මතු නොවන අතර එවැනි ස්ථානයන්හි නිලධාරීන් අතර ඇති මානව බැඳීම් ද තරමක් ශක්තිමත්ව පවතිනවා. එහෙත් විශාල නිලධාරීන් සංඛ්‍යාවක් සේවය කරන නාගරික ප්‍රදේශයන්හි පිහිටි පොලිස් ස්ථානයන්හි ඉහතින් සඳහන් කල විවිධ චරිත බහුලව දක්නට හැකියි.එම පොලිස් ස්ථානයන්හි නිලධාරීන් අතර ඇති මානව බැඳීම් ද එතරම් ශක්තිමත් භාවයක් පෙන්වන්නේ නැහැ.
එවැනි ස්ථානවල වැඩි හරියක් ඇත්තේ කල්ලි ගැසුණු නිලධාරීන් කණ්ඩායම්. තමන් සේවය කරන අංශය,ගම් පලාත් පොලිසියට බැඳෙන අවස්ථාවේ එකම කණ්ඩායමකට අයත් වීම මෙන්ම ගතමනාව බෙදා ගැනීම සඳහාද මේ ආකාරයෙන් කල්ලි කණ්ඩායම් සෑදුණු නිලධාරීන් නාගරික පොලිස්ථානයන්හි බහුල වශයෙන් දක්නට පුළුවන්. නාගරික පොලිස්ථානයන් තුල ගම්බද ප්‍රාදේශීය පොලිස් ස්ථානයන්ට වඩා වැඩි හරියක් බෙලි කැපීම් සහ කුලල් කා ගැනීම් ඉතා බහුලව සිදුවන බව ප්‍රකට රහසක්.
මාතර පොලිස් කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් ස්ථානය වන මාතර පොලිස්ථානයේ සේවය කරන ලද පොලිස් රියදුරකු වූ “සිල්වා” පොලිසිය තුළ නිතරම සිය අයිතිවාසිකම් ගැන කතාකරන පොලිස් නිලධාරීයෙක් හැටියට ප්‍රසිද්ධයි. නිතරම ජැන්ඩියට අඳින පළඳින අවශ්‍ය අවස්ථාවල මෙන්ම අනවශ්‍ය අවස්ථාවලත් කැඩුණු ඉංග්‍රීසියෙන් කතා කරන උදේ දවල් මෙන්ම රාත්‍රී කාලයේත් අව් කණ්නාඩි පලදින අනෙක් නිලධාරීන් මෙන් නොව බ්‍රිෆ් කේස් එකක් රැගෙන පොලිසියේ රාජකාරි සඳහා පැමිණෙන මොහු බාහිරව දකින මහජනතාව සිතන්නේ ඔහු පොලිසියේ උසස් තනතුරක් කරන නිලධාරියකු ලෙසටය බොහෝවිට ඔහු මෙලෙස හැසිරෙන්නේ තමා පොලිසියේ උසස් තනතුරක් දරන නිලධාරියෙකු බව මහජනතාවට ඒත්තු ගැන්වීමට බවයි ඔහු සමග එකල සේවය කරනු ලැබූ බොහෝ නිලධාරීන්ගේ මතය වී තිබුණේත්. පොලිස් රියදුරු වූ සිල්වා ඇත්තටම යූනියන් කාරයෙක්. හැත්තෑව දශකයේ මුල් භාගය වන විටත් වර්තමානයේ පොලිස් කොස්තාපල් රියදුරු (P.C.D.) ලෙස හඳුන්වන තනතුර හඳුන්වා ඇත්තේ පොලිස් රියදුරු(P.D.) ලෙසයි. පොලිස් රියදුරු තනතුර පොලිස් කොස්තාපල් රියදුරු තනතුර ලෙස වෙනස් කරගැනීමට එකල පොලිසියේ සේවය කළ පොලිස් රියදුරන් කණ්ඩායමක් සටනක් ගෙන ගොස් ඇති අතර එම සටනේ මුල් පෙලේ සිටි පුද්ගලයකු ලෙස අපේ කතානායකයා වන සිල්වා හැඳින්විය හැකිවනවා…
සාමාන්‍ය වශයෙන් පොලිස් ස්ථානයන්හි රාජකාරී සදහා පැමිණෙන සහ පොලිස් ස්ථානයෙන් පිටව යන නිලධාරීන්ගේ ගමන් තොරතුරු සටහන් කිරීම සඳහා වෙනම තොරතුරු සටහන් පොතක් තිබෙනවා. පොලිස් භාෂාවෙන් මෙම තොරතුරු සටහන් පොත හඳුන්වනු ලබන්නේ ආර්.අයි. බී. ය (Routine Information Book) ලෙසටයි. පොලිස් ස්ථානයට අනුයුක්ත සියලුම නිලධාරීන් ඔවුන්ගේ දෛනික රාජකාරි වාර්තා කිරීම, පොලිස් ස්ථානයෙන් බැහැර වෙන අවස්ථා සහ විශේෂයෙන්ම රාජකාරී විවේකය වාර්තා කිරීම මෙම තොරතුරු සටහන් පොතේ සටහන් යෙදීම මගින් කරනු ලබනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ සිට පොලිස් කොස්තාපල් රියදුරැ තනතුර දක්වා සියලුම නිලධාරින් මෙහි සටහන් යෙදීම අනිවාර්යය කරුණක් වන අතර වර්තමානයේනම් නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින පොලිස් ස්ථානවල මේ කාර්යය සඳහා තොරතුරු පොත් දෙකක් හෝ තුනක් භාවිතා කරනවා.
මෙම සිදුවීම සිදුව ඇති හැත්තෑව දශකයේ මුල් කාලයේ මාතර පොලිස් ස්ථානයේ සියලුම නිලධාරීන් සඳහා රාජකාරි වාර්තා කිරීම් සහ විවේකය වාර්තා කිරීම සඳහා තිබී ඇත්තේ එකම තොරතුරු සටහන් පොතක් නොහොත් එකම ආර්.අයි. බී. යක් පමණයි. විශේෂයෙන්ම උදේ කාලයේ සහ සවස් කාලයේ මෙම තොරතුරු සටහන් පොතේ සටහන් යෙදීමට නිලධාරීන් දිගු පෝලිම් ගැසී සිටීමට සිදුවන අවස්ථාද එල විරල වී නැහැ. සාමාන්‍ය පොලිස් කොස්තාපල් සහ සැරයන් ශ්‍රේණි වල නිලධාරීන් මෙම තොරතුරු සටහන් පොතේ යොදනු ලබන සටහන ඉතා කෙටි සටහනක් ලෙස යොදන අතර උප පරීක්ෂක ශ්‍රේණියෙන් ඉහළ නිලධාරීන් මෙම තොරතුරු සටහන් ප්‍රධාන රාජකාරි වාර්තා කිරීමේදී යොදුනු ලබන සටහනට එම අවස්ථාවේ පොලිසියේ චෝදනාගාරය නොහොත් “චාජ රූම්” එකෙහි පිරිසිදුභාවය, උපසේවක රාජකාරිය යෙදී සිටින නිලධාරියාගේ විස්තර මෙන්ම සිර මැදිරියේ එම අවස්ථාවේ සිටින සිරකරුවන් පරීක්ෂා කර ඒ සම්බන්ධව සටහනක් ද මෙම රාජකාරි වාර්තා කිරීමේ සටහනට ඇතුළත් කිරීම රීතියක් ලෙස සිදුවන දෙයක්. අපේ කතා නායකයා වන සිල්වා පොලිස් කොස්තාපල් රියදුරුකු වුවත් ඔහු මෙම තොරතුරු සටහන් පොතෙහි සටහන් යෙදීම ඉංග්‍රීසි භාෂාවෙන් කරන අතර ඔහුද පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු ලෙස මෙම සටහන දීර්ඝව යෙදීම කර තිබෙනවා.
දිනක් උදේ කාලයේ නිලධාරීන් රාජකාරි වාර්තා කිරීම සඳහා දිගු පෝලිමක රැඳී සිටින අවස්ථාවක පොලිස් කොස්තාපල් රියදුරු සිල්වා තමා තොරතුරු සටහන් පොතේ යෙදෙන ඉංග්‍රීසි සටහන ශබ්ද නගා කියවමින් සටහන් යෙදීම කර ඇත්තේ ඕනෑවටත් වඩා ඒ සඳහා කාලය ගනිමිනුයි. ඔහුට පසු පසින් රාජකාරි වාර්තා කිරීමට පැමිණ ඇත්තේ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක පද්මනාදන් සිල්වා තමාගේ හිතුමනාපයට ඔහේ සෙමින් සටහන් යෙදීම ගැන උරුම වූ පද්මනාදන් ” ඒයි සිල්වා උඹ මොනාද ඔය කරනවා? මෙහාට ගනින් ඔය පොත ඔහොම පරක්කු කරන්න එපා” යැයි තරමක් උස්හඩින් පවසා තිබූ අතර මේ හේතුවෙන් අනෙක් නිලධාරීන් ඉදිරිපිට පත්මනාදන් මහතා තමා අපහසුතාවයට පත් කිරීම ගැන උරණ වූ සිල්වාද “සර් මට එහෙම කතා කරන්න එපා මමත් පොලිස් නිලධාරියෙක් සර්ට මට එහෙම කතා කරන්න අයිතියක් නැහැ” යනුවෙන් පවසා ඇත්තේ සෙසු නිලධාරියන් ඉදිරියේ තමාට සිදුවූ මදි පුංචිකම සමනය කර ගැනීමේ අදහසිනුයි.
“එහෙනම් මම උඹට කොහොමද කතා කරන්න ඕනා ශිල්වා ශර් කියලද? ” පද්මනාදන්ද සිල්වාට පිළිතුරු සපයා ඇත්තේ තරමක් ආවේගශීලීවයි.
මෙම සිදුවීම සම්බන්ධව සිල්වා තම රාජකාරි වාර්තා කිරීමේ සටහනට යටින් තවත් සටහනක් එකතු කිරීමක් සිදුකරමින් පොලිස් පරීක්ෂක පද්මනාද න් තමාට නිලධාරීන් ඉදිරියේ අසභ්‍ය ලෙස පරිභව කරන ලද බවත් ඒ සම්බන්ධව තමාට පරීක්ෂණයක් අවශ්‍ය බවත් සටහන් කර තිබෙනවා.
මෙම දෛනික තොරතුරු සටහන් පොතේ සිල්වා යෙදූ සටහන ඇස ගැසුණු එවකට මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම සටහනේ සහතික පිටපතක්ද රැගෙන එය අමුණා වාර්තාවක් ලෙස සකස් කර දිස්ත්‍රික්කය භාර සහකාර පොලිස් අධිකාරිවරයා මාර්ගයෙන් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වෙත මේ සම්බන්ධව සුදුසු පියවරක් ගැනීම සඳහා යොමු කිරීම සිදුකර ඇත්තේ සිල්වා වැනි යූනියන් කාරයෙකු ඒ සම්බන්ධව යම් ඉදිරි ක්‍රියා මාර්ගයක් ගත හැකි බවට ඔහු තුළ තිබූ සැකය පෙරදැරි කරගෙනයි.
එවකට මාතර කොටස් භාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කර ඇත්තේ පොලිස් අධිකාරි නාදන්ය. ඉතා ගුණගරුක නිහතමානි දමිල නිලධාරියකු වූ නාදන් සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන් අතර තරමක් ජනප්‍රිය චරිතයක්. ඔහුගේ පුත්‍රයා වන එස්. කේ. ශංකර් මහතා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිසියට එක් වී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස 2017 පමණ විශ්‍රාම ලබා තිබෙනවා.
සිල්වා විසින් සිදු කරන ලද පැමිණිල්ල සම්බන්ධව මාතර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ වාර්තාව තම සහකාර පොලිස් අධිකාරියවරයා මාර්ගය තම කාර්යාලයට ලැබුණු පසු නාදන් මෙම වාර්තාව කියවා මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් තම කාර්යාලයට කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට තීරණය කර තිබෙන අතර සිද්ධියට ලක්ව සිටින පොලිස් පරීක්ෂක පද්මනාදන් ද දමිළ නිලධාරියෙකු වූ බැවින් ඔහු කෙරෙහි යම් සානුකම්පිත සැලකිල්ලක් පොලිස් අධිකාරි නාදන් තුළ ඇතිව තිබීම මෙම සමථයකට පත් කිරීමේ තීරණයට හේතු වූ ප්‍රධාන කරුණ වන්නට ඇත.
මෙම පරීක්ෂණය සඳහා දින නියම කරනු ලැබූ අතර නියමිත දින පරීක්ෂණය මාතර පොලිස් අධිකාරිවරයාගේ නිල කාමරය තුළයි. පරීක්ෂණ මණ්ඩලයට පොලිස් අධිකාරී නාදන් ද ඔහුගේ වම් පසින් සහකාර පොලිස් අධිකාරිවරයාද දකුණු පසින් මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාද අසුන් ගෙන තිබෙනවා. සිද්ධියේ පැමිණිලිකරු වන පොලිස් කොස්තාපල් රියදුරු සිල්වා සහ වග උත්තරකරු වන පොලිස් පරීක්ෂක පද්මනාදන් මහතාද පරීක්ෂණ මණ්ඩලය අභිමුඛවට කැඳවා ඇති අතර සිද්ධිය සම්බන්ධව සියලු කරුණු විමසීමෙන් සහ අදාළ වාර්තාව නැවත වරක් කියවා බැලූ පොලිස් අධිකාරි නාදන් මහතා පොලිස් කොස්තාපල් රියදුරු සිල්වා ආමන්ත්‍රණය කර “ශිල්වා ඔයා කිව්වට මේක නරක වචන තියෙනවා කියලා එහෙම නරක වචනයක් මේකෙ නෑනේ. මේකේ තියෙන්නේ උඹ කියලා. ඉතින් උඹ කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් “යූ ” කියන එකට ඒක නරක වචනයක් නෙමෙයිනේ. ඒක හින්දා මේක දෙන්නා අතට අත දීලා සමථයකට පත්කරගන්න එක තමයි හොද.
සර් එතකොට සර් කියන්නේ පද්මනාදන් මහත්තයා මට එහෙම කතා කරපු එක වැරදි නෑ උඹ කියන එක හොඳ වචනයක් කියලා එහෙමද?
පොලිස් අධිකාරිවරයාගේ කතාව සාවධානව අසා සිටි සිල්වා නැවත පොලිස් අධිකාරිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කර තිබෙනවා
ඔව් එහෙම තමයි ඉංග්‍රීසියෙන් “යූ ” සිංහලෙන් “උඹ” ඒක වරදක් නෑ
“හොඳයි සර් එහෙනම් මම සර් කියන හින්දා ඒක පිළිගන්නවා. මං මේ කියන එක එහෙනම් සර් ලියාගන්න”
සිල්වා පරීක්ෂණ මණ්ඩලයේ සිටි සාමාජිකයන් තිදෙනා වෙත වෙන වෙනම සිය දබර ඇඟිල්ල දිගු කරමින්
“උඹයි, උඹයි, උඹයි” තුන්දෙනාම උඹ කියන වචනය වරදක් හැටියට සලකන්න එපා කියලා කියන හින්දා මම පැමිණිල්ල සමථයකට පත්කරගන්න කැමතියි.
අන්න ඒ ජාතිය පොලිස්කාරයොත් ලංකා පොලිසියේ ඉඳලා තියෙන එක විතරක් අමතක කරන්න එපා.
