මේ වසරේ පළාත් සභා මැතිවරණයක් නැහැ – ටිල්වින් සිල්වා

මේ වසර තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය සෙනසුරාදා යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ නව සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ඉන්දියාව යම් බලපෑමක් එල්ල කරන්නේදැයි විමසූ අවස්ථාවේදී ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ දෙරටේ ආණ්ඩු අතර හොඳ අවබෝධයක් පවතින බැවින් එවැනි බලපෑමක් නොමැති බවයි.

“පසුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කළා. පළාත් සභා ඡන්දය තියන්නත් සැලසුම් කර තිබුණා. නමුත් ‘දිව්වා’ කුණාටුව හේතුවෙන් රුපියල් බිලියන 500ක් එම කටයුතු සඳහා යළි වෙන් කරන්න සිදු වුණා. ඒ නිසා මේ අවුරුද්දේ ඡන්දයක් තියන්න අපහසුයි,” යැයි ඔහු පැවසීය.

එමෙන්ම පළාත් සභා මැතිවරණය ප්‍රමාද වීමට හේතුවූ නීතිමය ගැටලු පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය. ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග අවුල් වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, පළාත් සභා මැතිවරණය කුමන නීතිමය පදනමක් යටතේ පැවැත්විය යුතුද යන්න පිළිබඳව එම කමිටුවෙන් වාර්තාවක් බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

“ඒ වාර්තා ලැබුණු පසු තවත් ගැටලු නොඇතිනම් ලබන අවුරුද්දේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි වෙයි,” යැයිද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ හමුදා කඳවුරු සඳහා භාවිතා කළ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් කර ඇති බවත්, වසා තිබූ මාර්ග විවෘත කරමින් නව මාර්ග සංවර්ධන කටයුතුද සිදුකරමින් සිටින බවයි.

එසේම “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ ජනතාව බලගැන්වීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවත්, මේ සියල්ල සම්බන්ධයෙන් ඉන්දියාවට හොඳ අවබෝධයක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Social Sharing
නවතම පුවත්