
එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් 2026 වසර සඳහා ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දමා තිබේ. මැදපෙරදිග උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් උද්ධමන පීඩන නැවත ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම ඊට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දී ඇත.
“World Economic Situation and Prospects” මධ්‍ය වාර්ෂික යාවත්කාලීන වාර්තාවට අනුව, 2026 වසරේ ගෝලීය දළ දේශීය නිෂ්පාදන (GDP) වර්ධනය 2.5%ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එය 2025 වසරේ ඇස්තමේන්තුගත 3.0% වර්ධනයට වඩා පහළ අගයකි.
එමෙන්ම ජනවාරි මාසයේ නිකුත් කළ පෙර පුරෝකථනයට වඩාද එය ප්‍රතිශත අංක 0.2කින් අඩු බව වාර්තාවේ සඳහන් වේ.
2027 වසරේදී ගෝලීය ආර්ථිකය 2.8%ක මට්ටමක් දක්වා සුළු ප්‍රකෘතියක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශක්තිමත් ශ්‍රම වෙළෙඳපොළ, පාරිභෝගික ඉල්ලුමේ ස්ථාවරභාවය සහ කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් ආයෝජන වර්ධනය ආර්ථිකයට සහාය දෙනු ඇතැයි වාර්තාව පෙන්වා දෙන අතර, සමස්ත ගෝලීය ආර්ථික දැක්ම තවදුරටත් දුර්වල වෙමින් පවතින බවද අවධාරණය කරයි.
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශක්ති ක්ෂේත්‍ර සමාගම්වලට වාසි ලැබී තිබුණද, එය ගෘහස්ථ සහ ව්‍යාපාරික පිරිවැය ඉහළ නැංවීමට හේතු වී ඇතැයි ද සඳහන් වේ.
සංවර්ධිත රටවල උද්ධමනය 2025 වසරේ 2.6% සිට 2026 දී 2.9% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එය 4.2% සිට 5.2% දක්වා ඉහළ යා හැකි බවද වාර්තාව පෙන්වා දෙයි.
පොහොර සැපයුම් බාධා වීම හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර, එමඟින් ආහාර මිල තවදුරටත් ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා ඇත.
වඩාත්ම බලපෑමට ලක්ව ඇත්තේ බටහිර ආසියාව වන අතර, එහි ආර්ථික වර්ධනය 3.6% සිට 1.4% දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. යටිතල පහසුකම්, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්රවලට සිදුව ඇති හානි ඊට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
එක්සත් ජනපද ආර්ථිකය 2026 දී 2.0%ක වර්ධනයක් සමඟ සාපේක්ෂව ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර, යුරෝපා සංගමයේ වර්ධනය 1.5% සිට 1.1% දක්වාත්, බ්‍රිතාන්‍යයේ වර්ධනය 1.4% සිට 0.7% දක්වාත් පහළ යනු ඇතැයි වාර්තාවේ සඳහන් වේ.
චීනයේ ආර්ථික වර්ධනය 5.0% සිට 4.6% දක්වා මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, ඉන්දියාවේ වර්ධනය 7.5% සිට 6.4% දක්වා පහළ යා හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
