
පසුගිය පෙබරවාරි මාසය අවසානයේදී අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණු බව පෙර සටහනක සඳහන් කළා. ප්‍රමාණයෙහි තරමක අඩුවක් සිදුව ඇතත්, මාර්තු මාසය අවසානයේදී, එනම් 2026 පළමු කාර්තුව අවසානයේදීද, අයවැය අතිරික්තයක් දකින්න පුළුවන්.
රාජ්‍ය ආදායම් හා ලැබීම්
වසරේ පළමු කාර්තුව අවසානයේදී රුපියල් බිලියන 1,473.8ක රාජ්‍ය ආදායමක් වාර්තා වන අතර මෙය පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 38.4%ක වර්ධනයක්. මෙයින් රුපියල් බිලියන 1,308.8ක් බදු ආදායම් වන අතර බදු ආදායම් වල 34.9ක වර්ධනයක් දැකිය හැකියි.
රාජ්‍ය වියදම්
පළමු කාර්තුවේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 1,385.4කට සීමා වී තිබෙනවා. මේ අනුව, රුපියල් බිලියන 88.4ක අයවැය අතිරික්තයක් වාර්තා වෙනවා.
පොලී වියදම
ඉහත වියදමෙන් රුපියල් බිලියන 593.3ක්ම පොලී ගෙවීම් වන අතර, එයින් රුපියල් බිලියන 80.2ක් විදේශ ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්ද, ඉතිරි රුපියල් බිලියන 513.1 දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්ද වැය කර තිබෙනවා. මේ අනුව, ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 601.5ක්.
ණය ආපසු ගෙවීම්
පළමු කාර්තුව ඇතුළත රුපියල් බිලියන 502.5ක දේශීය ණය සහ රුපියල් බිලියන 89.0ක විදේශ ණය ආපසු ගෙවා තිබෙනවා. එකතුව රුපියල් බිලියන 591.5ක්. අයවැය අතිරික්තය වන රුපියල් බිලියන 88.4ක මුදල මගින් එයින් කොටසක් ආවරණය වී ඇති අතර, ඉතිරි කොටස පරණ ණය ගෙවීම සඳහා ලබාගත් අලුත් ණයයි.
රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බැවින් මෙවැනි දුෂ්කර අවස්ථාවක සිදු වන යම් වියදම් වැඩි වීමක් රජයට දරා ගත හැකිව තිබුණත්, එසේ රුපියල් වැය කර ඉන්ධන ආදිය සුබසාධනය කරද්දී ඉහළ යන විදේශ විණිමය ඉල්ලුම අවශෝෂණය කර ගැනීම සඳහා වැය කළ හැකි තරමේ විදේශ සංචිත රටේ නොමැති බැවින්, රජය සතුව රුපියල් තිබීම ප්රශ්නය මුළුමනින්ම විසඳන්නේ නැහැ.
අයවැය අතිරික්තය දිගටම තබා ගත හැකි වෙයිද?
පෙර මෙන් රජයේ අයවැය හිඟය පියවීම පිණිස මුදල් සැපයුම වැඩි කිරීමක් සිදු නොවුවද, විදේශ අංශයේ බාහිර කම්පන තත්ත්වය නිසා, කෙටිකාලීනව උද්ධමනය ඉහළ යා හැකි බැවින්, මහ බැංකුවට පොලී අනුපාතික යම් තරමකින් ඉහළ යාමට ඉඩ හරින්නට සිදු විය හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පොලී වියදම්ද ඉහළ යා හැකි බැවින්, දැනට පවතින යහපත් රාජ්‍යමූල්‍ය තත්ත්වය දිගටම එලෙසින්ම පවත්වා ගැනීම තරමක අභියෝගයක් විය හැකියි.
උද්ධමනය කළමණාකරණය කර ගැනීම
මෙවර ඇති වූ බාහිර කම්පනය ඉතිහාසයේ එවැනි කම්පනයක් ඇති වූ පළමු හෝ එකම අවස්ථාව නෙමෙයි. 2008දී ලෝක වෙළඳපොලේ තෙල් මිල මීටත් වඩා ඉහළ ගිය අතර, උද්ධමනය ඉතිහාසයේ පළමු වරට 30% ආසන්න මට්ටමකට ඉහළ ගියා. ඉන් පසුව, 2022දී ඇති වූ බාහිර කම්පන තත්ත්වය තුළ උද්ධමනය 70% ආසන්න මට්ටමකට ඉහළ ගියා. එහෙත්, රාජ්‍යමූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බැවින්, ඉතිහාසයේ දෙවරක්ම එසේ සිදු වුවද, මෙවර උද්ධමනය පාලනය කර ගැනීම ඒ තරම්ම අසීරු කාර්යයක් වන එකක් නැහැ.
බාහිර කම්පන නිසා උද්ධමනය ඉහළ යාම මුළුමනින්ම වලක්වා ගත නොහැකි වුවද, මහ බැංකුවට රාජ්‍යමූල්‍ය පීඩනයකින් තොරව ස්වාධීනව කටයුතු කළ හැකි බැවින්, මුදල් සැපයුම පාලනය කිරීම මගින් උද්ධමනය 2008 හෝ 2022 වැනි මට්ටමකට යාම වලක්වා ගත හැකියි. මීට පෙර උද්ධමනය පාලනය කර ගත නොහැකි මට්ටමකට ගියේ මහ බැංකුවට රාජ්‍යමූල්‍ය අංශයෙන් අවශ්‍ය සහයෝගය නොලැබුණු නිසයි.
විදේශ අංශය කළමණාකරණය කර ගැනීම
ඩොලරයක මිල ඉහළ යාම මගින් විදේශ අංශය දුර්වල වී ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ සංචිත වෙනස් වන්නේ කෙසේද යන්න මතයි. ඕනෑවට වඩා සංචිත නාස්ති කර නොගනිමින්, පාලනයක් යටතේ රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරීම මෙවැනි අවස්ථාවකදී මහ බැංකුව විසින් සිදු කළ යුතු කාර්යයයි. විදේශ අංශයේ කඩා වැටීමක් සිදු විය හැක්කේ පෙර අවස්ථා වල සිදු කළ පරිදි ඩොලරයක මිල ඉහළ යාම වැළැක්වීමට ගන්නා උත්සාහයන් තුළයි.
මූල්‍ය අරමුදලේ වාරික
සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල ණය දෙන්නේ රටක මහ බැංකුවට වුවද, මෙවර මූල්‍ය අරමුදලේ වාරික (2023 සිටම) ලබා දෙන්නේ ශ්‍රී ලංකා රජයටයි. ඒ නිසා, මැයි 27 දින වාරික දෙකක්ම එකවර ලැබුණහොත් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් සහනයක් ලැබෙනවාක් මෙන්ම, රජයට රුපියල්ද ලැබෙන බැවින්, පොලී අනුපාතික මත පීඩනයද සීමා කර ගත හැකියි. ඉන්ධන මිල ගැලපීම ප්‍රමාද වීම නිසා මෙම වාරික තව දුරටත් ප්‍රමාද වුවහොත්, විදේශ අංශයේ මෙන්ම දේශීය ණය වෙළඳපොළ තුළද පීඩනය ඉහළ යා හැකියි. ඉක්මණින්ම මිල ගැලපීම මගින් රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා රජයට ඇති උනන්දුව පිළිබඳව මූල්‍ය වෙළඳපොළට සංඥා කළ හැකියි.
