රිවස්ටන් රිවස් නොවීමට නම්….. – දුලාන් දසනායක


රිවස්ටන් චිත්‍රපටය මෑත යුගයේ වැදගත් වූ, නීතියට පිටින් රාජ්‍ය අධිකාරිත්වය විසින් සිදු කරන ඝාතනයක් පිළිබද සාමාජ කතිකාවක් නිර්මාණය කරයි. මගේ දැනුමේ හැටියට පොලීසිය විසින් සිදු කරන කුප්‍රසිද්ධ මෙවන් ඝාතන පිළිබද ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද පළමු චිත්‍රපටය රිවස්ටන් වනවාට සැක නැත.

වදහිංසාවට හා නීති විරෝධි ඝාතනයන් පිළිබද සුප්‍රසිද්ධ ශ්‍රී ලංකා පොලීසිය සම්පූර්ණයෙන් අභියෝගයට ලක් කිරීම මෙම චිත්‍රපටයේ ඇති වඩාත් ඉදිරිගාමී ලක්ෂණයයි.

බොහෝ විචාර අතර මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවන් හතර දෙනා විසින් සිදු කරන විශීෂ්ට රංගනය සාකච්ඡාවට ලක් වූ අතර නන්දිතගේ චරිතය රගන නව පරපුරේ රංගන ශිල්පී රන්දික ගුණතිලකගේ රංගනය පිළිබද අවධානය යොමු විය යුත්තේ නවක රංගන ශිල්පියකු ලෙස ඔහු දක්වන සියුම් ප්‍රතිභාවන් ඔහුගේ ඉදිරිය ගැන සලකුණු පෙන්වන බැවිනි. කෙසේ වුවද තිරයට ලියන ලද පිටපත අනුව ඔහුගේ රංගනය ප්‍රශස්ත වුවද වඩා තියුණු පිටපතකට ඔහුගේ රංගනය මීට වඩා ග්‍රහණය කරගත හැකිව තිබුණි.

චිත්‍රපටය මහජනයා කැමැති නමුත් කෘෘර පොලිස් ඝාතන පිළිබද සාකච්ඡාවට ලක් කලද ඒ පොලිස් ඝාතනයන්ගේ කෘෘරත්වය වඩාත් ප්‍රේක්ෂකයාට දැනවීම සදහා සිදු කරන අපරාධකරුවාගේ සමාජ පසුබිම හා ඔහුගේ අධ්‍යාපනය ඇතුළු සෙසු මානුෂීය කාරණා වීරත්වයට නැංවීමෙන් චිත්‍රපටයේ දාර්ශනික දැක්ම අවභාවිතා කරගෙන ඇති බව පෙනේ.

අපරාධකාරයන්ද, පොලීසියද ඇතුළත් පොලිස් පරීක්ෂකයාද සාජන් මහත්තයාද කොස්තාපල් වරයාද පෙන්වන සමාජ ඛේදවාචකයේ ගේම් කාරයන් මිස ඔවුන් සමාජ ඛේදවාචකයට ගොදුරු වුනු අහිංසකයන් පමණක්ම නොවේ. ඔවුන් සමාජ ඛේදවාචකයට ගොදුරු වුනු අහිංසකයන් කිරීමත් පොලිස් නිලධාරීන් පමණක් සමාජ ඛේදවාචකයට ගොදුරු වුනු පව්කාරයන් කිරීමකට එහා ගොස් සමස්ත ඛේදවාචකය නන්දිත මැදි කොට ගෙන නිරූපනය කිරීමට අධ්‍යක්ෂකවරයාට හැකියාව තිබුණත් ඔහු එතරම් දාර්ශනිකව පොහොසත් වී නොමැති බව පෙනේ. ඔහු ස්පර්ශ කරන්නේ මෙම සංකීර්ණ බරපතළ ප්‍රශ්නයේ එක් පැතිකඩක් පමණි.

රිවස්ටන් දක්වා මෙම චිත්‍රපටයේ දර්ශන ගමන් කරන්නේ ඇයි දැයි තේරුම් ගැනීමට කිසිදු සාධකයක් නොමැත. සැලසුම් සහගත ඝාතනයක් සදහා කොළඹින් කිලෝමීටර් සීයකටත් එහා ඈතට අපරාධයක සැකකරුවකු සමග ගමන් කිරීම සත්‍යයට ලං නොවූවද කතාව ගොඩ නැගීමට එය අතිශයින් වැදගත්ය. රිවස්ටන් තවදුරටත් වැදගත් වන්නේ අදුරු අන්ධකාරය සහ කදුවලින් වටවුන මීදුම එකතැන කැරකෙන අදුරු නමුත් ලස්සනට පෙනෙන ලංකාව ඉන් නිරූපනය වීමය. සමස්ත ලංකාවම ලෝකයට විවර නොවන බරපතළ චෛතිසික කදු ප්‍රාකාර වලින් වටවුනු අදුරු අළු පැහැති මීදුමෙන් ගහණ ජීවිතයි.

කොළඹ අතිශයින් පැරණි හා නවීන ගොඩනැගිලි වලින් වටවුනු ස්ථානයක සාමාන්‍යෙයන් සිදු වන පරිදි මේ ඝාතනය සිදු විය හැකිව තිබුණද තිර නාටකය තෝරා ගෙන ඇත්තේ රිවස්ටන් ය. ආත්මයෙන් ආත්මයට සේදී සේදී අළුත් වන තෙල්ගමු ඔයට යටින් ඇති ගල් ඇති රිවස් ස්ටෝන් හෙවත් රිවස්ටන්ය .

මේ සීතල අදුර චිත්‍රපටයට අත්‍යවශය වී ඇති බව පෙනේ.

කෙසේ වුවද ජීප් රථයේ ගමන් කරනා පොලිස් නිලධාරීන් තිදෙනා සමග නන්දිතගේ මරණයෙන් පසු හමුවන පොලිස් නිලධාරීයා විසින්ද නැවත නැවතත් සමාජයේ මැද පන්තිය නඩත්තු කරන ව්‍යාජය එළිදරව් කරයි. ඒ සදහා පොලිස් නිලධාරීන් පමණක් සම්බන්ධ කිරීමෙන් පොලිස් නිලධාරීන් නොවන මෙම ඝාතනයන් සුජාත කරන අනෙක් මැද පන්තිය ගලවා ගනියි. කෑම කඩවල මුදලාලිලා දෙදෙනාද, මරණය ගෙන යන අහිංසක ගැමියන්ද, අනෙකුත් අනුෂංගික අයද සෑහෙන්න අහිංසක බව චිත්‍රපටය පෙන්වයි. ඔවුන්ද මෙම ඛේදවාචකයන් අනුමත කරන අවිඥානික කොටස් කරුවන් කර ගැනිමට අධ්‍යක්ෂකවරයා උත්සහ ගත්තේ නම් මෙම සමස්ත නිර්මාණය සමාජ කැඩපතක් වීමට ඉඩ තිබුණි. සත්‍ය වශයෙන්ම එසේ හමුවුන අනුෂංගික චරිත නියෝජනය කරන්නේ අපවය. අප නොහොත් පුරවැසියන් අහිංසක නැත. දැන් මෙම සිනමා කෘතිය මගින් පොලීසිය පමණක් අභියෝගයට ලක් කරයි. ලංකාවේ නීති බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් පවත්වාගෙන යන අපරාධ රාජ්‍යය නිරාවරණය කරයි.

සර්ලා මරන්නෙ පඩියට අපි මරන්නෙ කුලියට

ලංකාවේ බොරුකාරයන් සුදනන් වීමේ පද්ධතිය ගැන චිත්‍රපටය නිරාවරණය කරන්නේ මේ අයුරිනි. මේ සදහා අනුෂංගික චරිත යොදා නොගැනීමෙන් මෙම විවේචනය පොලීසියට පමණක් එල්ල වීමෙන් නතර වේ.

ඝාතනයෙන් පසුව හමුවන පොලිස් නිලධාරීයා විසින් සිදු කරන මුදල් සොයා ගැනීම සදහා නීති විරෝධි කටයුතු සිදු කිරීමට ඇති අපහසුව හා ඒවා වෙනත් ආකාරයකින් සිදු කරන හැටි ගැනද ප්‍රකාශ කරමින් එසැණින්ම අනෙකුත් පුද්ගලයන් කොන්ත්‍රාත්කාරයන් වංචා සිදු කිරීමට එරෙහි වීම ලංකාවේ ජන මනස තියුණුව එළිදරව් කිරීමකි. ලංකාවේ තමන් සියළු කල හැකි නීති විරෝධි හා මුදල් සෙවිය හැකි ක්‍රියා සිදු කරමින් අනෙකාට ඇගිල්ල දික් කිරීම මැද පන්තියේ සිරිතය. පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීමට මුදල් ලබා ගන්නා විදුහල්පතිවරුන් කොතරම් සමාජයට උපදෙස් දෙයිද? දොරමඩලාවේ කතා කරයිද? ඒ මැද පන්තියේ හැටිය.

නන්දිතගේ ඝාතකයන්ට ඔහුගේ පෙම්වතියගේ ගෙදරින් ආහාර ගැනීමට සිදු වීම දෛවෝපගතය. නමුත් පුරවැසියන් ඝාතනය රාජ්‍ය අධිකාරිත්වය මේ ඝාතන සිදු කරන්නේ පුරවැසියන්ගේම බදු මුදලිනි. නන්දිතගේ මුදල් හුවමාරුව දිවා ආහාරය ගැනීමේදී නන්දිතගේ පෙම්වතිය මුණ ගැසීම ඇතුළු සමස්ත දර්ශනය රාමුගත වන්නේ පුරවැසි බදු මුදලින් නඩත්තු වෙමින් පුරවැසියන් ඝාතනය කරනා රාජ්‍ය අධිකාරිත්වය අභියෝගයට ලක් කිරීමටය.

ලලිත් රත්නායකගේ චිත්‍රපටය බරපතළ රාජ්‍ය අපරාධයක් නිරාවරණය කරයි. අනවශ්‍ය තරමේ සැකකරු ගැන අනුම්කම්පාවක් ගොඩ නැගීමෙන් තොරව එළිදරව් කරන රාජ්‍ය අපරාධයක් වඩා විශාල සමාජ කතිකාවක් නිර්මාණය කිරීමට ඉඩ තිබුණි. මිනිසුන්ට සිය තීරණාත්මක ක්‍රියාකාරකම් සිය මුහුණ ඉදිරියට පැමිණෙන දවසක් ඇත. එහිදී තරු ලැබූ බලයට වඩා මිනිසුන් අසරණ වෙයි. එය පොලිස් නිලධාරීන්ටද අදාළය. චිත්‍රපටය මිනිසුන්ගේ සුසුම්හි වේදනාවන් පෙන්වයි. අවංකභාවයන්ද පෙන්වයි. පද්ධතියේ අකාරුණිකත්වයද පෙන්වයි. සමස්ත ඛේදවාදකය පොලිස් දෙපාර්තමේන්තුවේ ඛේදවාචකයකට ලඝු කරයි.
සංගීතිය ප්‍රශස්තය, සිනමා ඡායාරූපකරණය සුමටය. දිගු වේලාවක් තුළ දිග හැරෙන නිශ්චල රූප රාමු තුළින් තවදුරටත් නන්දිතගේ පීඩාව හා සමාජ වේදනාව ප්‍රේක්ෂකයාට ළං කිරීමට හැකිව තිබුණි.
පොලිස් ඝාතනයන් සහ ඝාතනය කිරීමට භාජනය වෙන්නන්ගේ කතාවට ප්‍රවේශයක් ගැනීම ලලිත් රත්නායක සිදු කරන විප්ලවීය වැඩකි. එකී විප්ලවය නැතහොත් රිවස්ටන් රිවස් නොවීමට පොලිස් ඝාතන පිළිබද කණගාටුදායක සාකච්ඡාව ඉදිරියට ගත යුතුය.

සටහන දුලාන් දසනායක

Social Sharing
නවතම පුවත්