රුපියල අඛණ්ඩව අවප්‍රමාණ වන්නේ ඇයි? – ඇඩ්වොකාටා ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි

මෑතකාලීනව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල යළිත් වේගයෙන් අවප්‍රමාණ වීම (පිරිහීම) බොහෝ දෙනාගේ කතාබහට ලක් වූ මාතෘකාවකි. මැදපෙරදිග අර්බුද හෝ වෙනත් ගෝලීය තත්ත්වයන් මීට හේතුව ලෙස ඇතැමුන් සිතුව ද, ඇඩ්වොකාටා (Advocata) ආයතනයේ ධනනාත් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ මීට ප්‍රධාන හේතුව දේශීය මූල්‍ය පද්ධතිය තුළ සිදුවන ක්‍රියාවලියක් බවයි.

ඔහුගේ පැහැදිලි කිරීමට අනුව රුපියල පිරිහීමේ සැබෑ ක්‍රියාවලිය පියවරෙන් පියවර සිදුවන්නේ මෙලෙසිනි:

සංචිත ගොඩනැගීම සහ මුදල් මුද්‍රණය: විදේශ ශ්‍රමිකයන් එවන මුදල්, සංචාරක ඉපැයීම් සහ අපනයන ආදායම් හරහා වාණිජ බැංකු වෙත ලැබෙන ඩොලර්, මහ බැංකුව විසින් සිය සංචිත ගොඩනැගීම සඳහා මිල දී ගනු ලබයි. මේ සඳහා මහ බැංකුව අලුතින් මුදල් (රුපියල්) නිර්මාණය කර බැංකු පද්ධතියට මුදා හරියි.

පද්ධතිය තුළ රුපියල් වැඩි වීම: මෙලෙස මහ බැංකුවෙන් ලැබෙන අමතර රුපියල් වාණිජ බැංකු තුළ එකතු වේ. බැංකු එම මුදල් වාහන මිල දී ගැනීමට, නිවාස සෑදීමට හෝ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ලෙස පාරිභෝගිකයන්ට ණය වශයෙන් ලබා දෙයි.

පරිභෝජනය සහ ආනයන ඉහළ යාම: ජනතාව අතට මුදල් ලැබුණු පසු භාණ්ඩ පරිභෝජනය ඉහළ යන අතර, එය බොහෝ දුරට කෙළවර වන්නේ ආනයනික භාණ්ඩ (පරිගණක, ඉන්ධන ආදී) මිල දී ගැනීමෙනි.

ඩොලර් ඉල්ලුම ඉහළ යාම: ආනයන ඉහළ යාමත් සමඟ නැවතත් වෙළඳපොළේ ඩොලර් සඳහා ඇති ඉල්ලුම දැඩි වේ. එහෙත්, පද්ධතිය තුළ ප්‍රමාණවත් ඩොලර් නොමැති වීම නිසා අනිවාර්යයෙන් ම රුපියල අවප්‍රමාණ වී ඩොලරයේ අගය ඉහළ යයි.

මෙම අවදානම් සහගත තත්ත්වය පිළිබඳව ධනනාත් ප්‍රනාන්දු මහතා මෙසේ අවධාරණය කරයි:

“රටවල් බංකොලොත් වෙන්නේ ‘Slowly and Suddenly’ (හිමින් සහ එකපාරටම) යන ඉංග්‍රීසි කියමනක් තියෙනවා. වැරදි ප්‍රතිපත්ති තීරණත් එක්ක හිමින් තමයි ගමන යන්නේ. ඊට පස්සේ එකපාරටම ලෝකේ මොනවා හරි පොඩි කම්පනයක් වෙච්ච ගමන් පද්ධතිය කැරකෙන්න නැති වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී රුපියල අවප්‍රමාණය වීම සුළුවට ගන්න හොඳ නැහැ. අපි ඒ ගැන ගැඹුරට හිතන්න ඕනේ.”

මීට ඇති විසඳුම කුමක් ද?

ආනයන තහනම් කිරීමෙන් පමණක් මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් නො ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. පද්ධතියේ ඇති අමතර රුපියල් ප්‍රමාණය පාලනය කිරීමට ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් ගත හැකි ය:

මුදල් අවශෝෂණය කර ගැනීම: මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නැවත වාණිජ බැංකු වෙත විකිණීම හරහා පද්ධතියේ ඇති අමතර රුපියල් ප්‍රමාණය ආපසු ඇද ගැනීම.

පොලී අනුපාත ඉහළ දැමීම: පොලී අනුපාත ඉහළ යාමත් සමඟ ජනතාව ණය ගැනීම් සහ අනවශ්‍ය පරිභෝජනය අඩු කරන අතර, එමඟින් ආනයන සීමා වී ඩොලරයට ඇති ඉල්ලුම ද පාලනය වේ.

2020-2022 කාලයේදී ද සිදු වූයේ සල්ලි අච්චු ගසමින්, පොලී අනුපාත කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගැනීමේ මෙවැනිම ක්‍රියාවලියක් බව පෙන්වා දෙන ඔහු, නිවැරදි ප්‍රතිපත්ති තීරණ නො ගතහොත් නැවතත් උද්ධමනය ඉහළ ගොස් ජනතාවට අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බවට අනතුරු අඟවයි.

සටහන අජිත් පැරකුම් ජයසිංහ

Social Sharing
නවතම පුවත්