
මීතොටමුල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී හා අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය 31 වන දා තීරණය කර ඇත.
කොළඹ මහා නගර සභාව, කොලොන්නාව නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් විසින් 2009 වසරේ සිට 2017 වසර දක්වා දිගු කාලයක් පුරා මීතොටමුල්ල පොතුවිල් කුඹුර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීම මඟින් එම ප්‍රදේශවාසීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අධිකරණය විසින් තහවුරු කරන ලදී.
නීතිඥ නුවන් බෝපගේ මහතා ඇතුළු මීතොටමුල්ල ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකකට අදාළව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදගොඩ සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
මෙම තීන්දුවේදී, ඉහත සඳහන් ආයතන විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව අධිකරණය තීරණය කර තිබේ.
දීර්ඝ කාලයක් පුරා පරිසරයට සහ මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක්ව පැවති මීතොටමුල්ල කුණු කන්ද පවත්වාගෙන යාම සහ එය තවදුරටත් ව්‍යාප්ත කිරීම අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
කෙසේ වෙතත්, පීඩාවට පත් වූවන් සඳහා අමතර වන්දි මුදල් ගෙවීමට නියෝග කිරීමෙන් අධිකරණය වැළකී සිටි අතර, එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් විපතට පත් වූවන්ට වගඋත්තරකරුවන් විසින් ඒ වන විටත් රුපියල් මිලියන 908ක සමස්ත වන්දි මුදලක් ගෙවා අවසන් කර තිබීමයි.
පෙත්සම්කරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, අනෙකුත් පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා ප්රමුඛ නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.
