GSP+ සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සහ සමස්ත වර්ධනයට මහත් දායකත්වයක් ලබා දී ඇති යුරෝපා සංගමයේ GSP+ බදු සහනය, වත්මන් කාලසීමාව අවසන් වූ පසු යළි ලබාගැනීම සඳහා රජය අයදුම් කිරීමට සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය සඳහා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ ආසියා ශාන්තිකර කලාපීය වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි මහත්මිය ඇතුළු දූත පිරිස සමඟ පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීම, ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණය සඳහා වන කාර්යාලය සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාලය වැනි ස්වාධීන ආයතන ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

GSP+ (Generalized Scheme of Preferences +) නැතහොත් වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය යනු යුරෝපා සංගමය විසින් අඩු හෝ පහළ මැදි ආදායම් ලබන රටවල්වලට ලබා දෙන අන්‍යෝන්‍ය නොවන තීරුබදු සහනයක්. මෙම සහනය යටතේ තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම හෝ ඉතා අඩු මට්ටමක පවත්වා ගැනීම සිදු වේ. මෙම සහනය ලබා දෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල තිරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන සානුබලයක් නැත්නම් දිරිගැන්වීමක් ලෙසය.

2005 වසරේ දී මෙම සහනය ලංකාවට පළමු වරට හිමිවූ අතර 2010 වසරේ මෙම සහනය අප රටට අහිමි වීය. එහෙත් 2017 වසරේ එකළ සිටි යහපාලන රජයේ මැදිහත් වීමෙන් මෙම GSP+ සහනය යළි ලබා ගත්තේය. මෙම සහනය ලබා ගැනීම වෙනුවෙන් සෑම රටක්ම අන්තර්ජාතික සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට එකඟ විය යුතු අතර එම සම්මුතීන් සඳහා පදනම් වී ඇත්තේ මානව හිමිකම්, කම්කරු අයිතීන්, පරිසරය හා යහපාලනය යන සාධකයන් ය.

ශ්‍රී ලංකාව මෙන්ම මෙම සහනය ලබා ගන්නා තවත් රටවල් කිහිපයකි.  එනම් බොලීවියාව, කේප් වර්ඩ්, කිර්ගිස්තානය, මොන්ගෝලියාව, පකිස්ථානය, පිලිපීනය, හා උස්බෙකිස්තානය යන රටවල්‍ වේ.

ශ්‍රී ලංකාවට මෙම GSP+ සහනය තුළින් හිමිවන බදු සහනය වඩාත් වැදගත් වන්නේ ඇඟලුම් ක්ෂේස්ත්‍රය සඳහාය. ඒ අනුව විදේශ විනිමය ඉපැයීමටත්, සේවා නියුක්තිය ඉහළ නැංවීම වැනි ආර්ථික වර්ධනයට බලපාන කරුණු රැසක් සඳහා මෙම බදු සහනය උපකාරි වේ.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය විසින් එළි දැක්වූ ‘GSP+ සහනය ඉවත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන සහ ශ්‍රම බළකායට ඇති බලපෑම’ (Who Stands to Lose? The Effects of GSP+ Withdrawal on Sri Lanka’s Exports and Labour Force) වාර්තාවට අනුව යුරෝපා සංගමයේ රටවලින් පවතින ආනයන ඉල්ලුම අඩු වූවහොත් මෙරට අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.23 අඩු වන අතර මෙරට 73,000ට අධික පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් ද පවතින බවයි. තවද අප විසින් යුරෝපයට සිදුකරන අපනයන 36.7%න් අහිමිවීමේ අවදානමක් පවතින බවත් ඉන් කර්මාන්ත ආශ්‍රිත ශ්‍රමිකයන් 5%කට ආසන්න ප්‍රමාණයකට අහිතකර ප්‍රතිඵල අත්වීමේ ඉරණමක් ද පවතින බවත් ය.

අප රටට GSP+ සහනය ලබා ගැනීමේ දී පවතින බාධක දෙස අවධානය යොමු කළ හොත් මානව හිමිකම් සඳහා බලපානු ලබන අප රටේ දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act : PTA ) බාධවක්ව පවතී. මන්ද දැනට ක්‍රියාත්මකවන මෙම පනත පවතින මට්ටමේ පවත්වාගෙන යෑම තුළින් මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බැවිනි. වර්තමාන රජය ද මෙම පනත අහෝසී කිරීම සම්බන්ධයෙන් මත පළ කරන අතර එහි සංශෝධනයක් සිදු නොකළහොත් 2027 වසරේ දී මෙම සහනය අපට ලබා ගැනීමට බාධක මතු විය හැක.

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක PTA පනත යටතේ සිවිල් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම, සෝදිසි කිරීම සහ රඳවා තබා ගැනීම සඳහා මෙරට පොලීසියට පුළුල් බලතල ලබා දෙන බව පවසමින් ඊට විරෝධය පළ කිරීමක් සිදුකර ඇත. ඔවුන් පවසන ආකාරයට මේ පනත තුළින් වධහිංසා පැමිණවීම, ලිංගික අපයෝජනය සහ බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීම සැලැස්වීම යනාදියට ඉඩ ලබා දෙන බවයි.

2017 වසරේ දී අප රටට මෙම සහනය ලබා ගැනීමට හැකි වූයේ PTA පනත වෙනුවට වෙනත් පනතක් ආදේශ කිරීම සහ මානව හිමිකම් ඇතුළු ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ඵලදායී විදිහට ක්‍රියාත්මක කිරීමේ කොන්දේසියට යටත්වය. එහෙත් තවමත් මෙම කොන්දේසි ඉටු කිරීමට අප රට අපොහොසත් වී ඇත.

මෙම පනතට අමතරව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) ද මෙම සහනය ලබා ගැනීමට පවතින තවත් එක් බාධකයකි. මන්ද මෙම පනතේ සඳහන් ‘තහනම් ප්‍රකාශ’ (prohibited statements) විදිහට සැලකෙන අන්තර්ජාල අන්තර්ගතයන් ඉවත් කිරීමට සහ එවැනි අන්තර්ගතයන් සඳහා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට රජය ලබා දී ඇති බලය තුළින් ප්‍රකාශනයේ නිදහස උල්ලංඝණය වීමක් සිදුවන බව පවතින අදහසත් සමඟය. ඒ අනුව මානව හිමිකම් සම්මුතීන්ට අනුගත වීමේ කොන්දේසිය මත ශ්‍රී ලංකාවට මෙම සහනය ලබා ගැනීමේ බාධකයන් පැණ නඟිනු ඇත.

මෙම සහනය ලබා ගැනීම සඳහා මෙරට සුදුසු ද යන්න පරීක්ෂා කිරීමට යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණ ඇති අතර මේ සම්බන්ධව ආචාර්‍ය හර්ෂ ද සිල්වා මැතිතුමා සඳහන් කර සිටියේ මෙරටට මෙම සහනය අහිමි වීමේ අවදානම අවම මට්ටමක පවතින බවත් 2027 වසරේ නව GSP+ සහනය ලබා ගන්නා මොහොත වනවිටත් PTA පනත ඉවත්වී නොතිබුනහොත් එය ගැටලුවක් විය හැකි බවත් ය.

අප රටට මෙම සහනය වඩාත් වැදගත් වන්නේ කොවිඩ් වසංගතය හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම සමඟ නැවත ආර්ථිකය යථා තත්ත්වයට පත් කරගැනීම සඳහාය. ඇමරිකාව සේම යුරෝපා සංගමය ද මෙම සහන ලබා දීම ප්‍රතිෂේප කළහොත් ඇඟලුම් අංශයට සිදුවන හානිය සමඟ විදේශ විනිමය පහත වැටීමටත් සේවා වියුක්තිය ඉහළ යෑමත් සේම දිළිඳුභාවය ඉහළ යෑමත ඇති විය හැකි බැවිනි.

Social Sharing
අවකාශය පුවත්