පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ඉකුත් රජය කාලයේදී විනිසුරුවරු පත් නොකිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27) අවසර ලබා දුන්නේය.
එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් මෝසමක් මඟින් කර ඇති ඉල්ලීමකට අනුව මෙම අවසරය දෙන ලදි.
ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි.
පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කරමින් මෝසමක් ගොනු කර ඇති බව පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා විසින් අධිකරණයට දැනුම් දුන්නේය. එම මෝසමට අවසර ලබාදෙන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට අවසර ලබා දුන් විනිසුරු මඬුල්ල පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීමට වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතාට සති හතරක කාලයක් ලබා දුන්නේය. මාර් තු මස 10 වැනිදා පෙත්සම විභාගය සඳහා කැඳවීමට නියම කරන ලදි.
ජනාධිපති නීතිඥවරයකු වන සේනක වල්ගම්පාය මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි. ඉකුත් වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අභියාචනාධිකරණය තුළ විනිසුරු පුරප්පාඩු 05ක් පමණ ඇති වී තිබුණ ද මෙතෙක් එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කර නැති බව පෙත්සමෙහි සඳහන් වේ.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත.
දිනමිණ