මෙරට තුළ දැඩි ලෙස කතාබහට ලක්වන මාතෘකාවක් ලෙස අසභ්‍ය ප්‍රකාශන පනත හැඳින්විය හැකිය. සාධාරණ බුද්ධිමත් මිනිසෙකු භාවිතා නොකරනු ලබන වචනවලින් සමන්විත හෝ කටයුතු කරනු නොලබන ආකාරයන් නිරූපණය වන්නා වූ ප්රකාශනයක් අසභ්‍ය ප්රකාශනයක් වේ. සරලව දැක්වුවහොත් තම මව, පියා, අඹුසැමියන් හෝ පවුලේ අයෙකු ඉදිරියේ ප්‍රකාශයට පත් කළ නොහැකි ප්‍රකාශන අසභ්‍ය හෙවත් අසැබි ප්‍රකාශන වේ.
මෙරට තුළ අසභ්‍ය ප්‍රකාශන කෙරෙහි අවධානය යොමු කිරීමේදී අසභ්‍ය ප්‍රකාශන සන්තකයේ තබා ගැනීම පිළිබඳ නිරන්තරයෙන් අවධානයට ලක්වන බව පෙනී යනු ලබයි. අසභ්‍ය ප්රකාශනයක් සන්තකයේ තබාගැනීම යනුවෙන් අදහස් වන්නේ කිසියම් අසභ්‍ය ප්රකාශනයක් ස්වකීය ජංගම දුරකතනයේ හෝ පරිගණකයේ බාගත කර තබා ගැනීම සහ මුද්‍රිත පිටපතක් හෝ ලියන ලද ලියවිල්ලක් වශයෙන් ළඟ තබා ගැනීමයි.
අසභ්‍ය ප්‍රකාශන පනත කෙරෙහි අවධානය යොමු කිරීමේදී එහි නෛතික ස්වභාවය කෙබඳු ද යන්න මෙලෙස දැක්විය හැකිය.
ශ්‍රී ලංකාව තුළ අසභ්‍ය ප්රකාශනයන්ට අදාළව බලපවත්නා නීතිරීති මොනවාද?
අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වන වැරදිවලට අදාළව සංශෝධිත පරිදි වූ 1927 අංක 04 දරන අසභ්‍ය ප්‍රකාශන ආඥා පනතෙහි සඳහන් ප්‍රතිපාදන මෙසේය.
1983 අංක 22 දරන පනත මගින් හා 2005 අංක 12 දරන දඩ මුදල් වැඩි කිරීමේ පනත මගින් අසභ්‍ය ප්‍රකාශන පනත සංශෝධනය වී තිබේ. ඒ අනුව එහි අවධානය යොමු කරන කාරණා නම්,
වෙළඳාම පිණිස හෝ වෙළඳාමක් වශයෙන් හෝ බෙදා හැරීම සඳහා හෝ මහජන ප්‍රදර්ශන සඳහා හෝ දක්වා ඇති හෝ දක්වා නොමැති කාර්යය සඳහා අසභ්‍ය ප්‍රකාශන ලෙස සලකන දෑ සැදීම, නිෂ්පාදනය කිරීම හා තමා සන්තකයේ තබා ගැනීම.
ඉහත කී කාර්යය සඳහා එකී අසභ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට, ගෙනයෑමට හෝ අපනයනය කිරීමට සැලැස්වීම හෝ කවර ලෙසකින් හෝ ඒවා සංස්කරණයට පත් කිරීම.
එකී අසභ්‍ය දර්ශන අතුරින් කිසිවක් හා සම්බන්ධ පොදු වූ හෝ පෞද්ගලික ව්‍යාපාර කරගෙන යෑම, ඊට සහභාගිවීම යනාදී කාරණාවන් අසභ්‍ය ප්‍රකාශන පනතට ප්‍රකාරව වරදක් වේ.
මීට අමතරව අසභ්‍ය ප්‍රකාශන හා සම්බන්ධ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 යන වගන්ති, 1995 අංක 22 දණ්ඩ නීති සංග්රහයෙහි සංශෝධිත පනත, 1998 දණ්ඩ නීති සංග්‍රහය සංශෝධිත පනත, 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය සහ 1956 අංක 48 ළමා හා යෞවන හානිකර ප්‍රකාශන පනතද, දේශීය නෛතික තත්ත්වය යටතේ අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු ලැබේ.
අසභ්‍ය ප්‍රකාශන පිළිබඳ කතාබහට ලක්කිරීමේදී සමස්ත ලංකාව පුරාවටම සිටින සියල්ලන්ම කෙරෙහි මෙම නීතිය ක්‍රියාත්මක වේ. මෙහිදී ‘ළමයා’ කෙරෙහිද මෙම නීතිය මෙලෙසම ක්‍රියාත්මකවීම ඉතා වැදගත් වේ.
අසභ්‍ය ප්‍රකාශන පනතට ප්‍රකාරව මෙරට තුළ ක්‍රියාත්මක වන දඬුවම් පිළිබඳ දැන සිටීම ඉතාම වැදගත් කරුණකි. ඒ අනුව මෙරට තුළ අසභ්‍ය ප්‍රකාශන පනතට ප්‍රකාරව නීතිය ක්‍රියාත්මක වීමේදී, 2005 සංශෝධනයට අනුව එහි පැහැදිලිව සඳහන් වනුයේ අසභ්‍ය දර්ශන, රූප, වීඩියෝ ආදිය ප්‍රදර්ශනය හා ළඟ තබාගැනීමට විරුද්ධව අත්අඩංගුවට ගත හැකිය.
අවුරුදු 18 අඩු ළමුන් යොදාගෙන නිල් චිත්‍රපට මෙන්ම ලිංගික දර්ශන සහිත දැන්වීමකට පවා ළමුන් යොදාගත නොහැකිය. එවැනි දේ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.
අන්තර්ජාලය සම්බන්ධ වෙන් වූ නීතියක් නොමැති අතර එවැනි දෑ සමාජ මාධ්‍ය හරහා සංචරණය වුවහොත් පොලිසියට පැමිණිලි කළ හැකිය. ලිංගික දර්ශන පවතී නම් අත්අඩංගුවට ගනු ලැබේ.
අප මෙතෙක් අවධානය යොමු කරනු ලැබූ කරුණුවලින් අසභ්‍ය ප්‍රකාශන පනත මෙරට තුළ ක්‍රියාත්මක වනු ලබන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. මෙහිදී මෙවැනි කරුණු සම්බන්ධයෙන් නෛතික භූමිකාවක් නිර්මාණය වී තිබීමේ වැදගත්කම පිළිබිඹු වනු ලැබේ. නමුත් අසභ්‍ය ප්‍රකාශන පනත නිසි අයුරින්, නිසි ආකාරයට ක්‍රියාත්මක වනවාද යන්න තුළ යම් ගැටලුකාරී තත්ත්වයක් උද්දීපනය වේ. කෙනෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරනු ලබන දෙයකින් තව කෙනෙකුගේ ජීවිතය පවා නැතිවිය හැකිය. ඇතැම් අසභ්‍ය වීඩියෝ පට හේතුවෙන් සමාජයේ කොන් වූ මිනිසුන් බොහෝමයක් දක්නට ලැබේ. ඇතැම් විට වරදක් නොකළත් ඇතැමුන් වැරදිකරුවන් බවට පත්ව තිබේ. සමාජ මාධ්‍ය එයට මූලික නිදර්ශනයකි. අද වනතුරුත් බොහෝ දෙනෙක් නොදන්නා පැතිකඩ වූයේ නීතිය සම්බන්ධවයි. අසභ්‍ය ප්‍රකාශන පනතක් නිර්මාණයවී තිබීම හා ඒ යටතේ නීතිමය රාමුවක් ක්‍රියාත්මක වීම මගින් කෙනෙකු යම් දෙයක් සිදුකිරීමට පෙර සැලකිලිමත් විය යුතු බව අවධාරණය කරනු ලැබේ.
අමන්දි අල්මේදා, ජන සන්නිවේදන අධ්‍යනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
උපුටා ගැනීම – දිවයින