ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ පැවති විශ්වාසය කලක සිට බිඳ වැටී ඇති ආකාරයක් දැකිය හැකි ය.
වසර ගණනක සිට බොහෝ පිරිසකගේ අදහස වී ඇත්තේ, “පාර්ලිමේන්තුව සුදු අලියෙක්”, “පාර්ලිමේන්තුව අපට එපා”, “පාර්ලිමේන්තුව නැති කළ යුතු යි” යන මතයන් ය.
මේ අදහස්වලින් පෙනී යන්නේ, සැලකිය යුතු කාලයක සිට ශ්‍රී ලංකාවේ ජනතාව අතර පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශ්වසය බිඳ වැටී ඇති ආකාරය යි.
මේ අතර, පාර්ලිමේන්තුව පවත්වන එක් දිනක් සඳහා රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් වැය කිරීම ‘නාස්තියක්’ බවට ද ඇතැමෙක් චෝදනා කරති.
පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය බිඳ වැටීමට බලපෑ අලුත් ම සිදුවීම් දෙක වන්නේ, කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සහ කෝප් කමිටුව පිළිබඳව මතුව ඇති අර්බුදකාරී තත්ත්වය යි.
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුව ද, එවැනි යෝජනාවක් ඉදිරිපත් වීම ම පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීමක් බව ඩිලාන් පෙරේරා සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු බ්‍රහස්පතින්දා (මාර්තු 21) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළ හ.
‘225 ම එපා’
2019 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම, පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම, කතානායකවරයාගේ කටයුතුවලට බාධා කිරීම ආදී ක්‍රියා රැසක් හරහා පාර්ලිමේන්තුව කෙරෙහි ජනතාව තුළ පැවති විශ්වාසය බිඳ වැටී තිබිණි.
පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඇති වූ ආර්ථිකමය කඩා වැටීම හමුවේ ගොඩනැගුණු ‘අරගලය’ විරෝධතා අතරතුරදී නිරන්තරයෙන් ඇසුණු සටන් පාඨයක් වූයේ, ‘225 ම එපා’ යන්න ය.
225 යනු පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් 225 දෙනා ය. ඔවුන් සියලු දෙනා ප්‍රතික්ෂේප කිරීම යන්නෙන් අදහස් වන්නේ, වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බව ය.
කෙසේ වෙතත්, ‘පාර්ලිමේන්තුව එපා’ යනුවෙන් ක්‍රියාත්මක වන මතය සම්බන්ධයෙන් යම් ප්‍රශ්න කිරීම් ද ජනතාව අතරින් ද පැන නැගුණු අවස්ථා තිබේ.
ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විශ්වාසය – වෙරිටේ සමීක්ෂණය
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් 2024 වසරේ පෙබරවාරි මාසයේදී කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල අනුව වත්මන් ආණ්ඩුවට හිමි වන ජනතා අනුමැතිය 7%ක් දක්වා පහළ ගොස් තිබේ.
එම අගය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී 9%ක් වූ අතර, මාස කිහිපයක් තුළ තවත් 2%ක පහළ යාමක් පෙන්නුම් කරයි.
මේ අතර, මේ වන විට පවත්වාගෙන යන ආර්ථික තත්ත්වය 90%ක ප්‍රතිශතයක් ප්‍රතික්ෂේප කර තිබීමෙන් ද පෙනී යන්නේ, ජනතාව තුළ පවතින විශ්වසය බිඳ වැටී ඇති ආකාරය යි.
පාර්ලිමේන්තුව වැදගත් ආයතනයක් නොවේ ද?
පාර්ලිමේන්තුව යනු ප්‍රජාතන්ත්‍රවාදය රඳවාගෙන සිටින කුළුණු තුනෙන් එකකි. එම කුළුණු තුන වන්නේ, විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය යි.
“අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළදී විධායකයට යම්කිසි වගකීමක් තියෙනවා. අධිකරණයට වගකීමක් තියෙනවා. ඒ වගේ ම ව්‍යවස්ථාව හෙවත් පාර්ලිමේන්තුවට වගකීමක් ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා. ඒ කුළුණු තුනෙන් එකක් අයින් කරන්න බැහැ, මොන ආකාරයකින්වත්. මගේ අදහස තමයි, පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් තමන්ගේ වගකිම් සහ වගවීම් හඳුනාගෙන කටයුතු කළ යුතු යි,” වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ කළමනාකාර නිවංක ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.
“පාර්ලිමේන්තුව ගැන විශ්වාසය බිඳ වැටීම ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු ප්‍රශ්නයක්”
මේ අතර, සමානුපාතික නියෝජනය ක්‍රියාත්මක වන පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ පැවැත්මට සහ දේශපාලනික යහ පැවැත්ම සඳහා පර්ලිමේන්තුව නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම අවශ්‍ය වන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැවසීය.
“ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුව ප්‍රධාන ආයතනයක්. එතන විශ්වාසය බිඳ වැටෙනවා නම් ජනතාව අතර, ඒක ලොකු ප්‍රශ්නයක්, ප්‍රජාතන්ත්‍රවාදයට. ඉතින්, ඒක වළක්වගන්න සුදුසු පියවර ගත යුතු යි. අනිත් එක පාර්ලිමේන්තුවට සුජාතභාවයක් තිබිය යුතු යි. ඒක ආයෙමත් ඇති කර ගන්න නම්, අනිවාර්යයෙන් ම මැතිවරණයක් පැවැත්විය යුතු යි. සුජාතභාවය නැතුව ජනතාවගේ විශ්වාසය ගොඩ නගා ගන්න බැහැ.”
“පද්ධතිය ගැන ම ජනතා විශ්වාසය බිඳ වැටිලා”
පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත දේශපාලන පද්ධතිය ම පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටී ඇතැයි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජයදේව උයන්ගොඩ බීබීසී සිංහල සේවයට පැවසීය.
“ලංකාවේ පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ සහ ඒවායේ නායකත්වය පිළිබඳව තිබෙන මහජන විශ්වාසය විශාල ලෙස පිරිහිලා තියෙන්නෙ. ඒක අද ඊයෙ ඇති වුණ දෙයක් නෙවෙයි. කාලයක සිටි සිදුවුණ දෙයක්. ‘අරගලය’ වෙලාවෙත් තිබුණ ප්‍රධාන සටන් පාඨයක් වුණේ මන්ත්‍රීවරුන් 225 ම ගෙදර යන්න කියලා නේ. ඒ වගේ තත්ත්වයක් තමයි අපේ සමාජයේ දැනට තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි, ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය දශක ගණනාවක් තිස්සේ සිදුවුණු ක්‍රියාවලියක් තුළින් දැඩි ලෙස පරිහාණියට පත්වෙලා තියෙන එක. ඒ නිසා මහ ජනතාවගේ විශ්වාසය බිඳ වැටිල තියෙනවා. පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන ප්‍රධාන ආයතනය වුණත් ජනතාව හිතන්නේ, පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ ජනතා පරමාධිපත්‍යය නෙවෙයි, දේශපාලන පක්ෂවල නැත්නම් ප්‍රභූ පන්තියේ පෞද්ගලික වුවමනාවන් කියල යි. ඉතින් ශ්‍රී ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා, පාර්ලිමේන්තුව සහ දේශපාලන පක්ෂ සම්බන්ධව විශ්වාසයක් යළි ගොඩ නගන්නේ කෙසේ ද? කියන එක ගැන. මේ දවස්වල පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන දේවල් බැලුවා ම පේනවා, ජනතා නියෝජිතයින් තුළ ඒ පිළිබඳව කිසි ම තැකීමක් නැහැ කියන එක.”
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංගය තුළින් ද ඔහුගේ කාර්යභාරය ව්‍යවස්ථාවට පටහැණි බවට යෝජනාවක් සහ මතයක් ජනතාව අතර පවතින බව පෙනී යන්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන්නේ ය.
නැවත විශ්වාසයක් ගොඩ නගා ගන්නේ කෙසේ ද?
පාර්ලිමේන්තුව ඇතුළු සමස්ත දේශපාලන පද්ධතිය පිළිබඳව ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගීම සඳහා මූලික පියවර කිහිපයක් ගත යුතු බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ නෙවංක ජයතිලක පැවසූහ.
පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසයක් ඇති කිරීම සඳහා, “මුලින් ම මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්විය යුතු,” බව ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු පැවසීය.
ඊළඟ පියවර ලෙස පක්ෂ නායකයින් ජනතා නියෝජිතයින් තෝරා ගැනීමේදී, ජනතාව නියෝජනය කිරීමට සුදුසු පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඉහත කී විද්වතුන් තිදෙනා ම පෙන්වා දුන්හ.
ඊට අමතරව, මෙම විශ්වාසය නැවත ඇති කිරීම සඳහා වන ප්‍රධාන වගකීම පැවරී ඇත්තේ, මහ ජනතාවට ම බව ඔවුන් තිදෙනාගේ ම අදහස යි.
“ඡන්ද දායකයෝ තමයි මේ දැන් ඉන්න නියෝජිතයොත් පාර්ලිමේන්තු යැව්වේ. නුසුදුස්සන් පාර්ලිමේන්තු යැව්වොත් ඔවුන් විශ්වාසවන්ත විදිහට වැඩ කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්න කලින් තමන් ඡන්දය දෙන්නේ මොන වගේ නියෝජිතයෙකුට ද? මොන වගේ පක්ෂයකට ද? පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ මොනවා ද? කියලා අධ්‍යයනය කරන අවශ්‍ය යි,” මහාචාර්ය ජයදේව උයන්ගොඩ පැවසීය.
පාර්ලිමේන්තුව තුළ සිදුවන වාද විවාද පවා ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතු වී ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
“ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවේ කෙරෙන වාද විවාදවල කිසි ම ඵලදායීතාවක් නෑ. නිකම් රණ්ඩු වෙනවා විතර යි. ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් ජනතා විශ්වාසය ඇති කරන්න නම් පාර්ලිමේන්තු වාද විවාද මීට වඩා ඵලදායී විදිහට පැවැත්විය යුතු යි.”
උපුටා ගැනීම – BBC සිංහල