පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මැද මෙවැනි ක්‍රීඩා තරග පැවැත්වීම පිළිබඳවත්, තිරුක්කෝවිල් රෝහලේදී සිදුවු බව කියන ප්‍රමාදය පිළිබඳවත්, ප්‍රදේශවාසීන් අතර මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි සංවාදයක් ද මතුව තිබුණි.
16 හැවිරිදි ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් ඊයේ (මාර්තු 12 වැනිදා) පැවත්වනු ලැබීය.
මෙම සිසුවාගේ මරණයට හේතුවුයේ කුමක්ද ?
මොකද්ද මේ මැරතන් තරගය?
නිවාසාන්තර ක්‍රීඩා උත්සවය පැවැත්විමට තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහා විද්‍යාලය කටයුතු සංවිධානය කරමින් තිබිණි.
එයට සමගාමිව පවත්වනු ලබන මැරතන් ධාවන තරගය (මාර්තු 11වැනිදා ) උදෑසන පවත්වනු ලැබීය. මෙම මැරතන් ධාවන තරගයට ළමුන් 30 දෙනෙකු පමණ සහාභාගි වීමට නියමිතව තිබිණි.
විදුහලේ ක්‍රිඩා භාර ආචාර්ය යු.කේ.ප්‍රසාද් විසින් මැරතන් ධාවනයට සහාභාගි වෙන දරුවන් තිරුක්කෝවිල් රෝහලට ගෙනවිත් තරගයට පෙර එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබීය.
පසුව පෙරවරු 6.45 ට පමණ මැරතන් ධාවන තරගය තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් ආරම්භ කරනු ලැබීය. එම ස්ථානයෙන් ආරම්භ කරන ලද මැරතන් ධාවන තරගය කලුදාවලි පුල්ලයාර් කෝවිල අසළට ගොස්, එතැනින් හැරී නැවත තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසළින් නිමා කිරීමට නියමිතව තිබුණි.
මෙම මැරතන් ධාවන තරගයේ දුර කිලෝමිටර් 8 ක් පමණ වූ අතර තරගයට මෙම විදුහලේ ජෙයකුමාර් විදූෂන් සිසුවාද සහාභාගි විය.
“පුතා උදේ ස්කොලේ ගියා. මම මේසන් වැඩ කරන්නේ මම වැඩට ගියා. පුතා උදේ කෑම කැවේ නැහැ මැරතන් ධාවනය සහාභාගි වෙන හින්දා. මම වැඩ කරමින් ඉන්න කොට මට පණිවිඩයක් ආවා පුතා රෝහල් ගත කරා කියලා මම එනකොට පුතා අක්කරපත්තුව රෝහලට යවලා පස්සේ දැනගන්න ලැබුණා පුතා මැරුණා කියලා. මම දන්න විදියට අවුරුදු හයේ ඉදන් මගේ පුතා මැරතන් ධාවනය කරනවා. මැරතන් ධාවනය කරල එයා ගොඩක් ජයග්‍රහණ කරා. මේ වගේ දෙයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.” මියගිය ජෙයකුමාර් විදූෂන් සිසුවාගේ පියාවන එල්.ජෙයකුමාර් කීය.
“මේ මැරිලා තියෙන්නේ මගේ අක්කගේ පුතා මැරතන් තරගය අවසන් කරන්න මීටර් 50 ක් විතර තිබුණා. ඒ වෙලාවේ පුතා යාලුවෙකුට කියලා තියෙනවා මට ටිකක් අමාරුයි රෝහලට යමු කියලා.තරගයව අවසන් වෙනකොටම පුතා රෝහලට ගියා ඔහු වෛද්‍යවරුන්ට ඔහුගේ නම පවා ප්‍රකාශ කරලා තියෙනවා.රොහලේදී දරුවට ප්‍රතිකාර කරත් එතැන තියෙන පහසුකම් මදි නිසා අක්කරපත්තුව රෝහලෙන් පහසුකම් තියෙන ගිලන් රථයක් ගෙනත් තමයි දරුවා අරගෙන ගියේ.තිරුක්කෝවිල් රෝහලේ වුණ ප්‍රමාදය නිසා තමයි දරුවා මියගියේ. මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා” යැයි මියගිය ජෙයකුමාර් විදූෂන් ගේ මාමා වන මුර්ති විජයකුමාර් බීබීසී සිංහල වෙත පැවසීය.
මෙම දරුවාගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විමට නැගෙනහිර පළාත් සභාවේ අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක විසින් විශේෂ කණ්ඩායමක් මේ වෙනවිට තිරුක්කෝවිල් ප්‍රදේශය වෙත යවා තිබේ.
නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් ගිතාංජන දිසානායක බීබීසී සිංහල වෙත ප්‍රකාශ කරේ “අපි චක්‍ර ලේඛණ යවල තියෙන්නේ අව්වේ දරුවන් කියන්න එපා කියලා විතරයි.ක්‍රීඩා තරග පවත්වන එපා කියලා නැහැ. තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් විදුහලේ මෙම මැරතන් තරගය පවත්වන්න පෙර විදුහලේ ක්‍රීඩා ගුරුවරයා විසින් මෙම දරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරලා තියෙනවා. වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තමයි සියලුම දරුවන් තරගයට යොමු කරල තියෙන්නේ. මැරතන් තරගය තියල තියෙන්නේ උදේ පාන්දර. දැනට කරන ලද මුලික විමර්ශනවලදි විදුහලේ පරිපාලනය විසින් නිවැරැදි අයුරින් කටයුතු කරල තියෙනවා” යැයි ඔහු පැවසීය.
“තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කරලා තියෙන දරුවාගේ මරණය සම්බන්ධව දැනට අපි මුලික පරීක්ෂණ ආරම්භ කරල තියෙනවා.දැනට තිරුක්කෝවිල් වෛද්‍ය අධිකාරිවරයාගෙන් සහ ප්‍රථිකාර කරපු වෛද්යරයාගෙන් ප්‍රකාශ ගන්න අපි සුදානම් කරල තියෙනවා.මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ත්‍රිකුණාමලය පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කරනවා. එයට කලින් අපි මුලික විමර්ශන සිදුකරනවා. රෝහලෙන් වැරුද්දක් වුණාද නැද්ද කියලා කියන්න වෙන්නේ පරීක්ෂණ අවසන් වීමෙන් පසුව” බව කල්මුනේ නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ෂකිලා ඉෂදින් බීබීසී සිංහල වෙත පැවසුවාය.
මැරතන් ධාවනයේදී මියගිය ජෙයකුමාර් විදූෂන් පවුලේ පළමු දරුවා වන අතර ඔහුට තවත් සහෝදරයෙක් සිටියි.
තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට විරෝධතාවයක්
මෙම සිද්ධියෙන් පසු කුපිතවු ප්‍රදේශයේ ජනතාව සහ පාසැල් දරුවෝ තිරුක්කෝවිල් රෝහල ඉදිරිපිට (මාර්තු 11 වැනිදා) විරෝධතාවයක් ද පවත්වනු ලැබූහ. එහිදි ඇතැම් පිරිස් ගල්මුල් වලින් පහරදුන් අතර මාර්ගය අසල තිබු රෝහලේ නාමපුවරුව ද විනාශ කරනු ලැබූහ.
තත්ත්වය පාලනය කිරිමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද පැමිණි අතර පසුව ශ්‍රි ලංකා යුද හමුදාවේ 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරිගේ උපදෙස් පරිදි 241 බල සේනාධිපති බ්‍රිගේඩියර් දනික පතිරත්න ඇතුලු යුද හමුදා සාමාජිකයින් කණ්ඩයමක්ද පැමිණියේය.
පශ්චාත් මරණ පරීක්ෂණයේ තීන්දුව කුමක් ද?
මියගිය දරුවාගේ මරණය පිළිබදව පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම විසින් සිදුකළ අතර ඔහු මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය.
මියගිය දරුවාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා එයින් ලැබෙන ප්‍රතිඵල අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරන බව අධිකරණ වෛද්‍ය විශේෂඥ සි.ටී.මහනාම බීබීසී සිංහල වෙත පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයෙන් සිහිකැඳවීමක්
මේ අතර, පවතින අධික උෂ්ණත්වය සහිත කාළගුණය මත පාසල් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ව නිර්දේශ පිළිබඳ යළි සිහිකැඳවමින් සියලු ම පාසල් වෙත අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා අද (මාර්තු 12 වැනිදා) ලිපියක් යවා තිබේ.
උණුසුම් කාලගුණය හමුවේ අනුගමනය කළ යුතු පියවර මොනවාද?
වෛද්‍ය උපදෙස් අනුව:
- හැකි තරම් පිරිසිදු ජලය පානය කිරීම
- හිරු රශ්මියෙන් වැළකී සිටීම සඳහා සන් ක්‍රීම් භාවිත කිරීම
- උෂ්ණත්වය පිට නොවන ආකාරයේ ආවරණය වූ ඇඳුම් ඇඳීමෙන් වැළකීම (සුදු හෝ ලාපැහැති සැහැල්ලු ඇඳුම් උචිතය)
උණුසුම අවම කර ගැනීම සඳහා ගත හැකි පියවර
- නිවසේ දොර ජනෙල් විවෘත කර තැබීම
- දැඩි අවුරශ්මිය පවතින අවස්ථාවල නිවසින් බැහැර යාමෙන් වැළකී සිටීම
- ස්නානය කිරීම
- නිවසින් බැහැර දීර්ඝ ගමනකදී කල් තියා සැලසුම් කිරීම (අවශ්‍ය ජලය සහ පාන වර්ග සකසා ගැනීම සඳහා)
- හිස ආවරණය කර ගැනීම සඳහා හිස් වැස්මක් භාවිත කිරීම
- අධික උෂ්ණත්වය හමුවේ පීඩාවට පත් විය හැකි පවුලේ සාමාජිකයන්, ඥාතීන් පිළිබඳ විමසිලිමත් වන්න
උපුටා ගැනීම – BBC සිංහල