දේශපාලන ප්‍රතිසංස්කරණ ගෙන එන්න නිශ්චිත නැකතක් අවශ්‍ය නැත.

executive presidency in sri lanka NMSJ

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා මගින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම ආකාරයක බලපෑමක් සිදුනොවන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රොහාන් සමරජීව මහතා අවධාරණය කළේය. මෙහිදී මහාචාර්ය සමරජීව පෙන්වා දෙන්නේ ජාතික වශයෙන් අතිෂය වැදගත් වූ 17 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් වූයේ ද මැතිවරණ උණුසුම උත්සන්න වෙමින් පැවැති කාලයන්හි දී බවයි. ඒ නිසා තම ව්‍යාපාරය විසින් ඉදිරිපත් කර ඇති යෝජනා කිසිම ආකාරයක හානිකර ඒවා ලෙස නොසලකන බව ද මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ උප සභාපතිවරයෙකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුප් පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කාලයක් පුරා කතා කළ පක්ෂ මේ මොහොතේ ඒ ගැන සිය ස්ථාවරය ජනතාවට හෙළිකළ යුතු බවයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් කතා කළ, ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සහ ඉදිරි දේශපාලන සැලසුම් ගැන කතා කළ ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කිසිවක් කතා නොකිරීම ගැටලු සහගත බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් පසුගිය දා සංවිධානය කළ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩි දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව මෙසේද සඳහන් කළේය.

විධායකය අහෝසි කිරීමේ ඉතිහාසය

“අද දේශපාලන කරළියේ සිටින සියලුම දේශපාලන නායකයින් සහ මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාගේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අත් ඔසවපු හෝ එසේ කිරීමේ අපේක්ෂාවෙන් සිටි පිරිසක්. ඉතාම සුලභ කතාව තමයි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ කරුණ සඳහන් වුණාය කියන කතාව. මම කියන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට වඩා වැඩි බරක් දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පවා මේ අය විධායක ජනාධිපති දූරය ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කරලා තිබෙනවා.

අපි ඉතිහාසය දෙස අවධානය යොමු කළහොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව 2000 වර්ෂයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට කිව්වේ ‘පැකේජය’ කියලා. එහි ඉතාම පැහැදිලිව විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂය මේ පැකේජය සම්මත කර ගැනීමට අත ඔසවන්න සූදානමින් හිටියා.

ඊට පස්සේ 2018 වර්ෂයේ දී ජනතා විමුක්ති පෙරමුණ විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා. ඊට පස්සේ 2022 අප්‍රේල් මාසයේ, ඒ කියන්නේ අරගලයේ මධ්‍ය භාගයේදී සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ද ඇතුළත් සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කරලා නිකං හිටියෙත් නැහැ. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තීන්දුවක් පවා ලබා ගත්තා. කොටින්ම ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා මේ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයයි කියලා.

මේ කරුණු දිහා බලන විට අපට පෙනෙනවා ලංකාවේ දේශපාලන කරළියේ සියලුම තැන්වල සිටගන්න අය විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරලා තිබෙන බව. ඒ කියන්නේ මැතිවරණ පොරොන්දු දෙනවට අමතරව ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කිරීම ආදි පියවර හරහා කටයුතු කරලා තිබෙනවා. දැන් අපි සොයා බැලිය යුතුයි ඔවුන් මේවා කළේ කුමන කාලවලදී ද, අවස්ථාවලදී ද කියලා. උදාහරණයක් විදිහට අරගලය මැද රට ඉතාම අස්ථාවර තත්ත්වයක තිබියදී එවැනි යෝජනාවක් ඉදිරිපත් කළා. 2018 දී පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව අති විශාල ජයග්‍රහණයක් ලබන  කොට, රට තුළ යම් දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය වෙමින් තිබියදී ජවිපෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධ ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කළා. 2000 දී වුණත් පැකේජය ඉදිරිපත් කළේ රට තුළ බරපතළ දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වෙමින් තිබියදී බව අප අමතක නොකළ යුතුයි. ඒ කියන්නේ මේ දේශපාලන යෝජනා හෝ ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්න නියමිත නැකතක් හෝ කාලයක් කියලා එකක් නැහැ. ඒ ඒ අවස්ථාවල පවතින තත්ත්වයන් යටතේ කටයුතු කරනවා.

සාධාරණ සමාජයේ යෝජනා සහ වැඩපිළිවෙළ

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පැත්තෙන් සාකච්ඡාවට ප්‍රවේශ වුවහොත් එම ව්‍යාපාරයේ ආරම්භක මොහොතේ සිට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ අරමුණ කේන්ද්‍රීය කරුණක් ලෙස න්‍යාය පත්‍රය තුළ තිබුණා. අද, වර්තමානයේ පවා අපේ මේ මූලික, කේන්ද්‍රීය අරමු‌ණේ කිසිම ආකාරයක වෙනසක් සිදුවෙලා නැහැ.

නැවත අතීතයට ගියහොත් 2014 දී මේ කරුණ කේන්ද්‍රීය සාධයක් බවට පත්ව තිබුණා. ඒ අනුව 2015 ජනාධිපතිවරණය තුළ ඒ ගැන බරපතළ ලෙස සාකච්ඡා වුණා. ඒ නිසාම 2015 ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණ ජනාධිපතිවරයාට සහාය දුන් ‘සුළුතර ආණ්ඩුව’ විසින් ක්‍රියාත්මක කළ ‘දින 100 වැඩසටහන’ තුළ විධායක ජනාධිපති ධූරයේ බලතල අඩු කරන, තටු කපන යෝජනා තිබුණා. ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. හොඳට අවධානය යොමු කළහොත් අපට පෙනී යනවා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා ක්‍රියාත්මක වුණේ, ගෙනාවේ දේශපාලන අස්ථාවරභාවයක් තිබියදී, මහ මැතිවරණයක් ආසන්නයේ තබා ගෙන බව.

මෑත ඉතිහාසයේ මේ සෑම අවස්ථාවකදීම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය වැදගත් මෙහෙවරක් ඉටුකර තිබෙනවා. අපි කිසිම අවස්ථාවක කියන්නේ නැහැ ‘අපි විතරයි මේ දේවල් කරන්නේ’ කියලා. නමුත් මේ යෝජනා ‘නාභිගත කිරීමේ’ ‘උත්ප්‍රේරණය ලබාදීමේ වැඩපිළිවෙළක් අප විසින් කරනවා. ඒ වගේම තමයි අපි වාගේ පිටත සිට කටයුතු කරන සංවිධානවලට මේ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැ. එය කළ යුතුව තිබෙන්නේ ව්‍යවස්ථාදායකය, පාර්ලිමේන්තුව මගින් පමණයි. නමුත් කවුරු හරි අපෙන් අහනවා නම් ‘විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කටයුතු කරලා තිබෙනවාද ? කියලා, ඒකට මම මුලින් සඳහන් කළ පූර්ව ඉතිහාසය ප්‍රමාණවත්.

මෑත ඉතිහාසයේ කළ කී දෑ

දැන් අපි කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය භාරගත් ‘මෑත ඉතිහාසය’ දෙස අවධානය යොමු කළ යුතුයි. කරු ජයසූරිය මහතා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය භාර ගත්තේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධූරයේ බලතල තවත් වර්ධනය කරගත් ඉතාම අඳුරු මොහොතක. මේ අවස්ථාවේ දී අපට හැකියාව ලැබුණා 20 වැනි සංශෝධනයට ගෙන ආ ජනපතිවරවරයාට හිමිවන‘අසීමිත මුක්තිය’ වැනි කරුණු හමුවේ ප්‍රබල ලෙස නැගී සිටිමින් එය ඉවත් කර ගැනීම ආදිය තුළින් සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගැනීමට. එසේම 20 සම්මත වීමෙන් පසු මුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම සම්පූර්ණයෙන් සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමට සහ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගේ සහ ප්‍රවීණයින්ගේ ද සහභාගීත්වය ඇතිව ‘කතිකාව’ මැයෙන් නව සංවාද මාලාවක් ආරම්භ කිරීමට අපට අවස්ථාව ලැබුණා. ඒ වගේම ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා මාලාවක් මෙහෙයවීමට අපට අවස්ථාව ලැබුණා.  ඒ හරහා කෙටුම්පත් කළ ලියවිල්ල අපි අදාළ සියලුම පාර්ශ්වයන් වෙත ලබාදීමටත් පියවර ගත්තා.

මෙහිදී වැදගත් කරුණක් අවධාරණය කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී සියලුම අනුශාංගික කොටස් ගැනත් පුළුල් අවධානයක් යොමු කළ යුතුයි. අපි කළේ සමස්ත සන්දර්භයම සලකා බලා ඒ  ඒ කොටස්වල සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමයි. මේ අතර සුමන්තිරන් මහතාගේ සභාපතීත්වයෙන් සහ කැඳවීමෙන් පසුගිය 2022 අප්‍රේල් මස 06 වැනිදා විවිධ දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් රැස්වෙලා තීන්දුවක් ගත්තා 20 වැනි සංශෝධනය අහෝසි කිරීම සහ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා කියලා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයත් එම අවස්ථාවට සහභාගී වුණා. මේ අනුව අපි ආරම්භ කළ කටයුත්ත කිසියම් තීරණාත්මක කඩඉමකට, නාභිගත කිරීමට ලක් වන්නේ 2022 වර්ෂයේදීයි.

යම් කිසි කෙනෙක් අහනවා නම් ‘විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කුමක් ද කර තිබෙන්නේ කියලා’ ඉතාම පැහැදිලි පිළිතුර තමයි පසුගිය කාලය පුරා අපි ක්ෂේත්‍ර ගණනාවක ඒ සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරලා තිබෙනවා. එපමණක් නොවෙයි අපි 2023 දී අපේ සාමාජිකයින් පමණක් නොව සෙසු දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ නායකයින් සමග පුළුල් ලෙස මේ ගැන සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධ මාර්ග සිතියම නිර්මාණය කරන විට අපි මාර්ග දෙකක් හඳුනා ගත්තා. එකක් තමයි, අප හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තිබෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට 2/3ක බලයක් සහ ‘ජනමත විචාරණයක් ‘අවශ්‍ය බවට. ඒ අනුව ජනමත විචාරණයකට යාම අවදානම් වගේම අතිෂය අසීරු පියවරක්. ඒ අනුව අපි හඳුනාගත් දෙවන පියවර තමයි, මේ මොහොතේ දේශපාලන කරළිය තුළ කටයුතු කරන සියලුම දේශපාලන පක්ෂ යම් යම් අවස්ථාවල විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිට තිබෙනවා, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන හරහා පොරොන්දු ලබාදී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට පෙර සියලුම දේශපාලන පක්ෂවලට හැකියාව තිබෙනවා විධායක ජනාධිපති ධූරය ඉවත් කිරීම සම්බන්ධ සිය පක්ෂයේ ‘නිල ස්ථාවරය’ හෝ ‘ප්‍රතිපත්තිය’ ජනතාව හමුවේ තැබීමට. අපි මේ ගැන තමයි පසුගිය කාලයේ කටයුතු කළේ.

පැරණි ස්ථාවරයන් වෙනස් වෙලා ද ?

මෙන්න මේ තීරණාත්මක අවස්ථාවේ තමයි අපිට, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට චෝදනාවක් අවේ ‘ඇයි ජනාධිපතිවරණයක් ආසන්නයේ තබා ගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කරන්නේ’ කියලා. මේ චෝදනා සම්බන්ධයෙන් අපිට කියන්න තිබෙන්නේ 17 වැනි සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි සියලු ධනාත්මක ව්‍යවස්ථා සංශෝධන සිදු කළේ ‘අස්ථායි’ පාර්ලිමේන්තුවක් තුළ බවයි. ඒ ඒ අවස්ථාවල පැවැති දේශපාලන සන්දර්භය සහ අවශ්‍යතාව අනුව බවයි.

අනෙක් කරුණ අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හා සම්බන්ධ එම දේශපාලන පක්ෂවල ‘පැරණි ස්ථාවරයන්’ ඒ ආකාරයෙන්ම තිබෙනවාද, යම් යම් සංශෝධනවලට ලක්ව තිබෙනවා ද ? යන්න හඳුනා ගැනීමට ජනතාවට අවස්ථාව ලබාදීමයි. යළිත් අවධාරණය කළහොත් අපි ජවිපෙ, සජබ සහ ශ්‍රීලනිපයෙන් අහනවා ඔබලා පසුගිය කාලය පුරා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැරූ ස්ථාවරයේ තව දුරටත් සිටිනවාද ? කියලා. ඒ වගේම දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොන්ග්‍රසය ආදියෙන් පවා අපි මේ ඉල්ලීම කරනවා. ඒක බොහොම සාධාරණ, සරල ඉල්ලීමක්.

ජාතික ගෞරව නාමයන්ට අගෞරව නොකරමු

අවසාන වශයෙන් මම පිළිතුරු දීමට අකමැති ප්‍රශ්නයක් තිබෙනවා, අපි මෙවැනි දේවල් කරන්නේ අපේ සභාපතිතුමාට යම් කිසි සම්මානයක්, ගෞරව නාමයක් දුන්න නිසාය කියලා යම්කිසි කෙනෙක් කියලා තිබෙනවා. ඇත්ත තත්ත්වය දන්නවා නම් මේ ප්‍රකාශය කළ කෙනා කනගාටු විය හැකියි, මොකද කරු ජයසූරිය මහතාට මුලින්ම මේ ජාතික ගෞරව නාමය දුන්නේ අදාළ ප්‍රකාශය කළ කෙනාගේ පියාණන් විසින්මයි. ඒ වගේම ජාතික ගෞරව නාමයක් කියන්නේ බොහෝම අභිමානවත්, ගෞරවණීය දෙයක්. ඒක මෙවැනි ‘සිල්ලර’ දේශපාලන වැඩවලට ගාව ගැනීම වැරදියි. ඒ වගේම 2014 සිට අපි කරගෙන යන වැඩපිළිවෙළ සහ මෙම ගෞරව නාමය අතර කිසිම සම්බන්ධයක් නෑ කියලා ඕනෑම අයෙකුට වැටහෙනවා.

මම ප්‍රශ්න දෙකකට උත්තර දෙනවා කියලා මුලින්ම කිව්වා. මුල්ම ප්‍රශ්නය, ඇයි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වැනි තීරණාත්මක යෝජනාවක් ජනාධිපතිවරණය ආසන්නයේදී ඉදිරිපත් කරන්නේ ?. මගේ පිළිතුර තමයි මේ අවස්ථාවේ ‘කිසිම හානියක් නෑ’ එම යෝජනාව ඉදිරිපත් කරන්න. දේශපාලන අස්ථාවරභාවයක් ඇති, මැතිවරණ උණුසුම ඉහළ යන අවස්ථාවක තමයි මෙවැනි දේවල් ඉදිරිපත් කරන්නේ. අපි කාලයක් පුරා ඒ ගැන කතා කළා, අපි තව දුරටත් ඒ ගැන කතා කරනවා.

දෙවැනි ප්‍රශ්නය තමයි, ගෞරව නාමයක් සහ අපි මේ කරන කටයුත්ත අතර යම්කිසි සම්බන්ධයක් තිබෙනවාද ?. මගේ පිළිතුර තමයි ‘අනිවාර්යයෙන් එවැනි කිසිම ආකාරයක සම්බන්ධයක් නැහැ. එවැනි චෝදනාවක් කිරීම කරු ජයසූරිය මහතාට පමණක් නොව ඒ ජාතික ගෞරවනායට කරන විශාල නිග්‍රහයක් බව මම අවධාරණයෙන් කියනවා.

අපේ යෝජනාවලින් ඉදිරි ජනාධිපතිවරණයට කිසිම බාධාවක් නෑ – ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුප්

executive presidency in sri lanka NMSJ

මෙම සාකච්ඡාවට එක් වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුප් මහතා කියා සිටියේ අදාළ ප්‍රශ්නය හා චෝදනා සම්බන්ධයෙන් මහාචාර්ය රොහාන් සමරජීව මහතා කළ දීර්ඝ පැහැදිලි කිරීම හමුවේ තමාට තවත් යමක් එක් කිරීමට නොමැති බවය. එහෙත් මෙම චෝදනාවල සහ ප්‍රශ්නවල ඇති ජාතික වැදගත්කම නිසා තමා ද යම් පැහැදිලි කිරීමක් කළ යුතු බව යූසුප් මහතා කීවේය.

ජාවෙඩ් යූසුප් මහතා මෙසේ ද පවැසුවේය, “විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතුය යන තීරණාත්මක පදනම මත සිටයි මාදුළුවාවේ සෝහිත හිමියන්ගේ නායකත්වයෙන්, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ආරම්භ කළේ, පටන් ගත්තේ. එදා සිට අද දකත්වා අපි එම අරමුණට බැඳිලා ඉන්නවා. පසුගිය කාලය පුරා අඛණ්ඩව නොයෙකුත් අවස්ථාවලදී, දේශපාලන සන්දර්භය අනුව අපි මේ සම්බන්ධයෙන් විවිධාකාර පියවර ගෙන තිබෙනවා. ඒ නිසා මේක අපට අලුත් දෙයක් නොවෙයි. ඒ වගේම අතිෂය වැදගත්, ජාතික කාරණා සම්බන්ධයෙන් පොදු එකඟත්වයකට ඒමට නොහැකි තත්ත්වයක් අප තුළ තිබෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් බොහෝ දේශපාලන පක්ෂ පසුගිය කාලය පුරා අඛණ්ඩව පෙනී සිටියත් තීරණාත්මක ලෙස ඒ සඳහා පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීමේ ඛේදනීය තත්ත්වයකට අප මුහුණ දීලා තිබෙනවා. විධායක ජනාධිපති ධූරය නිසා අතිෂය හානිකර ආර්ථික, දේශපාලන අර්බුද රැසකට මුහුණ දීලා තිබුණත් එය අහෝසි කිරීමට පොදු එකඟත්වයක් ඇතිකර ගත නොහැකි ඇයි කියලා තේරුම් ගැනීමට මට අසීරුයි. ඒ නිසා තමයි මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් පවත්වන බව දැන දැනත් මේ කරුණ අපි ජනතාව හමුවේ තබන්නේ. ඒකට හේතුව තමයි ජාතික මැතිවරණවලදී රටේ ජනතාව අතර ‘ජාතික ප්‍රශ්න’ ගැන ජනතාව අතර සාකච්ඡාවක් සිදුවිය යුතුයි. ඒ නිසා තමයි අපි සියලුම දේශපාලන පක්ෂවලින් ‘විධායක ජනාධිපති ධූරය’ ගැන තම තම පක්ෂවල ස්ථාවරය ජනතාවට කියන්න කියලා ඉල්ලා සිටින්නේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද ? ජයග්‍රහණයෙන් පසු කරන්නේ මොනවාද ? ගැන පුළුල්ව සාකච්ඡා වුණත් ‘විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාද ? එහි බලතල අඩු කරනවාද ? හෝ තව දුරටත් තබා ගන්නවාද ? යන්න ගැන කිසිම සාකච්ඡාවක් වත්මන් දේශපාලන පක්ෂ අතර නෑ. ඒ නිසා අපි ආරාධනා කරනවා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් කරනවා නම් ඒ කවදාද ? කියලා රටට කියන්න කියලා.

ඒ  වගේම අනෙක් ප්‍රශ්නය තමයි අපේ යෝජනා මගින් ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන් ද ? කියන එක. අපේ ස්ථාවරය තමයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ යෝජනා මත පදනම් වී ජනාධිපතිවරණය කිසිම ආකාරයකින් කල් නොදැමිය යුතුයි. ඒ වගේම තමයි යම් කිසි දේශපාලන පක්ෂයකට ‘ක්‍රමයේ වෙනසක් / සිස්ටම් චේන්ජ් එකක අවශ්‍ය නම් ඒකේ මූලිකම පදනම වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි. එවැනි පියවරකින් තොරව කිසිම ආකාරයක සිස්ටම් චේන්ජ් එකක් කළ නොහැකියි. සාර්ථක විය නොහැකියි.

මෙම මාධ්‍ය සාකච්ජාවට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහලේකම් සුනිල් ජයසේකර මහතා ද එක්ව සිටියහ.

සටහන – තුෂාල් විතානගේ

Social Sharing
අවකාශය නවතම විශේෂාංග