මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද?

Who is responsible for the crisis in Sri Lanka?

රට හදන හැටි ගැන ලියන්නේ රට කැඩී ඇති නිසාය. හදන්නට පෙර කැඩුනේ ඇයිදැයි හරිහැටි අවබෝධ කර ගත යුතුය. රට කැඩුනේ ද්විත්ව හිඟයන් කලමනාකරණය කර ගන්නට අසමත් වීම නිසාය.

ද්විත්ව හිඟයන් කියන්නේ රාජ්‍ය මූල්‍ය හිඟයට සහ ජංගම ගිණුමේ හිඟයටය. සරලව කීවොත් නැති මුදල් වැය කර ජනතාව, විශේෂයෙන් මධ්‍යම පන්තික ජනතාව, සන්තර්පණය කිරීමට  දේශපාලකයින් කටයුතු කිරීම රාජ්‍ය මූල්‍ය හිඟයට හේතුවය. එවැනි දේශපාලකයින්ට පමණක් ඡන්දය දීම හේතුවෙන් ජනතාවද මෙම අර්බුදයට වග කිව යුතුය.

ජංගම ගිණුමේ හිඟය ඇතිවන්නේ අපනයන අඩු නිසාත්, ආනයන වැඩි නිසාත්ය. මෙයටද හේතු පාදක වන්නේ මධ්‍යම පන්තිකයන් සහ කම්මැලි දේශීය ව්‍යාපාරිකයන් පිනවීම සඳහා කරන ලද අපනයන අධර්යය කරන ක්‍රියාවන්ය. ඉන්ධන මිල උදාහරණයකි. රුපියලේ වටිනාකම කෘතීමව ඉහල මට්ටමක පවත්වා ගැනීමෙන් මෙන්ම වියදමට අඩු මුදලකට ඉන්ධන සැපයීම තුලින් මධ්‍යම පන්තිකයන් සතුටු කලද, එහි ප්‍රතිපලය වුයේ අති විශාල මුදලක් ඉන්ධන ආනයනයට වැය වීමය. ආණ්ඩුව අධික ලෙස ණය ගැනීම හේතුවෙන් අපනයන ණය ගැනීම අපහසු වීමය. රුපියලේ අගය හේතුවෙන් අපනයනයන්ගේ තරගකාරීත්වය හීන වීමය.

ආණ්ඩුවට තව දුරටත් ණය ගැනීමට බැරිය. අලුත් මහ බැංකු පනත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා හේතුවෙන් මුදල් අච්චු ගැසීමටද බැරිය. දැන් කල යුත්තේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සහ වියදම් අඩු කරගැනීමය. බෙහෙත් දෙකම අප්‍රසන්නය. නමුත් බෙහෙත් නොබිව්වොත් වන්නේ ආයෙත් රෝගය උත්සන්න වීමය. සියයට 70ක හෝ ඊට අධික උද්ධමනය සහ පෝලිම් නැවත ඇති වීමය. හරිහැටි බෙහෙත් නොගත් ලෙබනනය සහ ආජෙන්ටිනාව මෙන් වීමය.

වැඩිකළ අගය මත පනවන බදු වැඩිකිරීම සහ ව්‍යතිරේකයන් ඉවත් කිරීම වේදනාකාරී බව ඉතා පැහැදිලිය. ඒ වෙනුවට සීනි වංචාවෙන් නැතිනම් සුදු ළූණු වංචාවෙන් පිල්ලි ගැසූ මුදල් අය කරගෙන අහිංසක මහජනයා නොපෙලන ලෙස සමහරු කියති. ගාලු මුවදොර අරගල භූමියේද මෙවන් සටන් පාඨ දැකිය හැකි විය: රට රටවල හැංගු අපේ මුදල් ආපසු ගෙනැවිත් රටේ ආර්ථික ප්‍රශ්න විසඳනු යැයි ඔවුහු ඉල්ලා සිටියහ.

මෙතන ඇත්තේ කාල පරාසය අවුල් කර ගැනීමේ ප්‍රශ්නයකි. ලංකාව සවුදි අරාබිය නොවේ. නීතියේ ආධිපත්‍යය ඇති රටක මුදල් වංචා කළා යයි සැක කරන සීනි ආනයනකරුවන්ගේ ගිණුම් වල ඇති මුදල් හිතු මතේට රාජසන්තක කල නොහැක. විධිමත්ව සාක්ෂි ඒකරාශී කල යුතුය. අධි චෝදනා පත්‍ර සකස් කර නඩු පැවරිය යුතුය. චෝදනාවලට උත්තර බැඳීමට වග උත්තරකාර පාර්ශවයට අවස්ථාව ලබා දිය යුතුය. අභියාචනා ඉදිරිපත් කිරීමට කාලය දිය යුතුය.

පරණ අල්ලස් පනත යටතේ අල්ලපු ලොකුම මෝරාගේ නඩුව සලකා බලමු.  හිටපු ඉඩම් අමාත්‍යාංශ ලේකම්වරයා ලකුණු කල මුදල් නෝට්ටු අතැතිව හිර බාරයට ගත්තේ 2018 මැයි මස 3 වැනිදාය. ත්‍රිපුද්ගල මහාධිකරණය තෙමසක නඩු විභාගයකින් පසුව තීන්දුව දුන්නේ 2019 දෙසැම්බර 19 දාය. ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනය විභාග කරන්නට පටන් ගත්තේ 2021 මාර්තු 16දාය. මහාධිකරණ තීන්දුව සනාථ කරන තීන්දුව ප්‍රකාශ කලේ 2023 ජනවාරි 11 දාය. පරණ තාලයේ සරල අල්ලස් නඩුවක් වුවද, මුළු ක්‍රියාදාමයට වසර හතරකට අධික කාලයක් ගත විය. වසංගතය ආදී කරුණු නිසාවූ ප්‍රමාදයන් අඩු කර ගත්තද, නිසි අධිකරණමය ක්‍රියාදාමයකට වසර දෙකක්වත් යනු ඇත. රට රට වල සඟවා ඇති මුදල් ආපසු ලබාගැනීමට ඊටත් වඩා කාලය අවශ්‍යය. මාර්කෝස් පිල්ලි ගැසූ මුදල් වලින් කොටසක් සොයාගැනීමට පිලිපීනයට අවුරුදු 30ක් වෙහෙසීමට සිදු විය.

අද තත්ත්වය වඩා සුභදායකය. 1994 පනතේ තිබූ දුර්වලතා සියල්ලට නොවේ නම් බොහොමයකට විසඳුම් ලබාදෙන පනතක් 2023දී සම්මත කරනු ලැබී ය. දූෂණ විමර්ශන කොමිෂන් සභාව යනු 1994 දී මෙන් මුල සිටම ආරම්භ කළ යුතු නොවන, ක්‍රියාත්මක සංවිධානයකි. 2024 මැද භාගය වන විට පොලිස්පතිවරයා යටතේ නොව  කොමිසමේ සෘජු පාලනය යටතේ විමර්ශකයින් සිටිනු ඇති අතර දක්ෂ කාර්ය මණ්ඩල බඳවා ගැනීමට බාධාවක් වන අසතුටුදායක වැටුප් පරිමාණ පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට හැකි වනු ඇත. මෙම කටයුතු වේගවත් කල යුතුය. නමුත් එමගින් අර්බුදයට විසඳුමක් ලැබේ යයි මුලා නො විය යුතුය.

රාජ්‍ය මූල්‍ය හිඟය පියවීමට සහ එමගින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ආර්ථිකය වේගවත් වර්ධන මාවතකට දැමීම සඳහා කෙටි කාලීන විසඳුම් අවශ්‍යය. බදු වැඩි නොකර බැරිය. බදු ආදායමෙන් සියයට 50කට වැඩිය අදත් වැයවන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙනි. මෙම ප්‍රතිශතය 2019 බදු කප්පාදුවෙන් පසු අදහා ගත නොහැකි සියයට 86ක මට්ටමේ දෙවසරක් පැවතුනි. නමුත් සියයට 50 පවා වැඩිය. නිදහස් සෞඛ්‍යය ගැන උදම් අනන අපි රජයේ රෝහල් වල නඩත්තුවට සහ එම රෝහල්වලින් නොමිලේ දිය යුතු බෙහෙත් වලට  වියදම් කරන්නේ බදු වලින් නොවේ නම් කොහෙන් ලබාගත් මුදලින්ද යන්න විමසිය යුතුය.

සෞඛ්‍ය සේවය වැනි දේට නිසි ප්‍රමුඛත්වය දීමත් 2005 සිට තුන් ගුණයකින් ප්‍රසාරණය කල රාජ්‍ය සේවය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යෑමත් දෙකම කල නොහැක. ග්‍රාමාරක්ෂක බලකාය විසුරවා හැරීම වැනි සරල දෙයින් පටන් ගෙන ක්‍රමානුකූලව රාජ්‍ය සේවය සංකෝචනය කල යුතුය. නමුත් ඒ අතරතුර බදු සහන ගැන කතා කිරීමෙන් කවුරු කවුරුත් වැළකිය යුතුය. බදු අඩු කරන්නට හැකි වන්නේ වියදම් අඩු කිරීමෙන් පසුව පමණි.

මේ එන මැතිවරණ වසරේ සුපුරුදු ලෙස නැති සම්පත් වෙන්දේසියෙන් වලකින ලෙස සියලු දේශපාලන පක්ෂවලට බල කල යුතුය. එමගින් සිදුවන්නේ කෑම ටික පිසගන්නට හෝ ගමනක් බිමනක් යන්නට හැකියාවක් නොමැති 2022 වැනි අඳුරු යුගයකට මුළු රටම නැවත ඇද දැමීමයි. ශ්‍රී ලංකාව ලෙබනනයක් කිරීමයි.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග