වසර දෙසීයකට පසු වතු කම්කරු ප්‍රජාව සඳහා පළමුවරට තැපැල් ලිපිනයක් නිකුත් කෙරේ…

මාවතගම “මුවන් කන්ද” වතුයායේ වෙසෙන වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට පියවර ගෙන ඇතැයි නීතිපතිවරයා විසින් අද (දෙසැම්බර් 04 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම “මුවන් කන්ද” වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා විසින් මේ බව දැනුම් දෙනු ලැබුවාය.

වසර 200 කට අධික වතුකම්කරු ඉතිහාසයේ ප්‍රථම වතාවට වතු කම්කරු ප්‍රජාව සඳහා තැපැල් ලිපින ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සතුටට පත් විය යුතු බව මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේය.

මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඒ.එච්.එම්.ඩී නවාස් සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරු පදිංචිව සිටින “මුවන් කන්ද” වතුයායේ පදිංචිකරුවන් සඳහා තැපැල් ලිපින ලබා දීමට කටයුතු කර තිබෙන බව දන්වා සිටියාය.

මෙම කාර්යය ඉටු කිරීම සඳහා තොරතුරු රැස් කිරීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූතිවන්ත විය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබා දීමට බව සඳහන් කර සිටියේය.

ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත විය හැකි බව තමා ද පිළිගන්නා බව නීතිඥවරයා සඳහන් කළේය.

වසර දෙසීයකට වැඩි කාලයක් මෙරට ආර්ථිකයට විශාල මෙහෙවරක් ඉටු කරමින් සිටින වතු කම්කරුවන් සඳහා තැපැල් ලිපින ලබා දීමට රජය කටයුතු කිරීම අගයන බවත් ඔහු සඳහන් කර සිටියේය.

පෙත්සම් විභාගය අත්හිටුවයි

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, දිවයින පුරා වාසය කරන සමස්ත වතු ප්‍රජාවට තැපැල් ලිපින ලබාදීමේ කාර්යය දීර්ඝ කාලයක් ගත විය හැකි වැඩපිළිවෙළක් බවය.

මෙම කාර්යය ඉටුකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා තොරතුරු රැස්කරමින් සිටින බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඒ සඳහා කාලය අවශ්‍ය බවත් කියා සිටියාය.

මෙහිදී අගවිනිසුරු පෙත්සම්කාර පාර්ශ්වයට පෙන්වා දුන්නේ පෙත්සම්කරු ඉල්ලා සිටි සහනය මේ වන විට ඉටු වී ඇති නිසා මෙම පෙත්සම් විභාගය අත් හිටුවන වන බවය.

කෙසේ වෙතත් වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට අවශ්‍ය නම් මාස 6 කින් හෝ මාස 09 කින් පසුව මෙම පෙත්සම විවෘත අධිකරණයේ කැඳවා එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට පෙත්සම්කාර පාර්ශවය හැකියාව තිබෙන බවත් අග විනිසුරු වරයා සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම් විභාගය අත්හිටුවිමට අධිකරණය තීන්දු කළේය.

මෙතෙක් සිදු වුයේ කුමක්ද?

වතු කම්කරුවන්ට ස්ථිර තැපැල් ලිපින ලබා දීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා විසින් (මැයි 25 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබීය.

ඒ, වතු කම්කරුවන් සඳහා ස්ථිර තැපැල් ලිපින නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට ඇති හැකියාව පිළිබඳව කරුණු සොයා බලන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන ආකාරයට වතුකම්කරුවන්ට තැපැල් ලිපින නිකුත් කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා කරුණු අධ්‍යයනය කරන බවත් එහි ප්‍රගතිය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

ඒ අනුව පෙත්සම සැප්තැම්බර් 13 වැනිදා කැඳවන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ස්ථිර තැපැල් ලිපින ඉල්ලා වතු කම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට

මෙරට වතු කම්කරුවන් සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබා දීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා වතු කම්කරුවකු විසින් පසුගිය මාර්තු 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබීය.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, අමාත්‍ය ජීවන් තොන්ඩමන්, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.

වතු කම්කරුවන්ට අභියෝග රැසක්…

පෙත්සම්කරු කියා සිටින්නේ ශත වර්ෂ කිහිපය තිස්සේ මෙරට වතු කම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරීත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නා බව ය.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ පුරවැසියෙකුට ජීවත්වීම සඳහා ඉඩමක හිමිකාරීත්වය තිබීම ප්‍රධාන අයිතිවාසිකමක් වශයෙන් සඳහන් කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

එහෙත් මෙරට වතුකම්කරුවන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සමේ දැක්වෙයි.

තමා පදිංචිව සිටින මුවන්කන්ද වතුයායේ වතු කම්කරු පවුල් 300ක් පමණ ජීවත්වන අතර ඒ කිසිවෙකුට ලියාපදිංචි තැපැල් ලිපිනයක් නොමැති බවත් පෙත්සම්කරු පෙන්වා දී ඇත.

මේ නිසා වතුකම්කරුවන්ට තමන් පදිංචි ස්ථානවලට පෞද්ගලිකවම ලිපි ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක වතුකම්කරුවන් ලක්ෂ හතරක පමණ පිරිසක් වාසය කරන අතර ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බවත් පෙත්සමේ දැක්වෙයි.

ඒ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබා ගැනීම, විභාග සඳහා ලියාපදිංචි වීම, පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබා ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් ලබා ගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී වතු කම්කරුවන්ට දැඩි අසීරුතාවකට මුහුණ දීමට සිදුවන බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මෙරට වතුකම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරිත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගනියි
මෙරට වතුකම්කරුවන් අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඉඩම් හිමිකාරිත්වය අහිමිව තිබීම ඒ අතර ප්‍රධාන තැනක් ගනියි

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලයි

මේ වන විට ශ්‍රී ලංකාව පුරා වතු කම්කරු පවුල් 244 500කට අයත් 966 700ක පිරිසක් සිටින අතර මොවුන් මෙම ගැටලුවලට මුහුණ දී පීඩාවට පත්ව සිටියි.

වතු කම්කරුවන් මෙරට විදේශ විනිමය උත්පාදනයට විශාල දායකත්වයක් ලබාදෙන අතර 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ද, 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 600ක් ද උපයා ගැනීම සඳහා වතුකම්කරුවන් ප්‍රමුඛ දායකත්වයක් ලබාදී ඇති බවත් පෙත්සමේ දැක්වෙයි.

වතු කම්කරුවන්ගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබා නොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම වතු කම්කරුවන් පදිංචිව සිටින ස්ථාන සඳහා ඔවුන්ට පෞද්ගලික තැපැල් ලිපින ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මූලාශ්‍රය  – BBC සිංහල

Social Sharing
නවතම පුවත්