ශ්‍රී ලංකාවේ රාජ්‍යකරණයේ කඩිනමින් සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සිවිල් සමාජය සාමූහිකව හඬ නගයි!

ශ්රී ලංකාවේ රාජ්යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පිළිබඳව විවිධ සමාජ කණ්ඩායම් නියෝජනය කරන සිවිල් සමාජ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පහුගිය දා කොළඹ ශ්රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණි.
පසුගිය සැප්තැම්බර් 13 වැනි දින එළි දක්වන ලද රාජ්යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවෙහි ප්රධාන නිර්දේශ 34ක් අඩංගු වේ. එය ඉදිරිපත් කරනු ලැබූවේ ‘ආර්ථික ප්රගමනය උදෙසා වූ දූෂණ විරෝධී ප්රතිසංස්කරණ පිළිබඳ සිවිල් සමාජ එකතුව’ මගිනි. ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනය ප්රමුඛත්වය ගෙන කටයුතු කරන ලද මෙම කණ්ඩායමට නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්රියාකාරීත්වය (පැෆ්රල්), විකල්ප ප්රතිපත්ති කේන්ද්රය, සර්වෝදය ශ්රමදාන ව්යාපාරය, වෙරිටේ රිසර්ච් ආයතනය සහ ජාතික සාම මණ්ඩලය අයත් වේ.
සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාවේ නිර්දේශ සහ ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) විසින් මෑතකදී නිකුත් කරන ලද තාක්ෂණික වාර්තාවේ නිර්දේශ වල ඇති සමානතා සංසන්දනය කරමින් සිවිල් සමාජය දැනුම්වත් කිරීම මෙම රැස්වීමේ අරමුණ විය.
මෙහිදී අදහස් දැක්වූ ට්රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්රී ලංකා ආයතනයේ (TISL) විධායක අධ්යක්ෂිකා නදීශානි පෙරේරා: “ශ්රී ලංකාව තුළ මුල් බැසගත් දූෂණය තුරන් කරන තුරු, අපට ලැබෙන ආධාර සහ උපකාර වලින් ජනතාවට ප්රතිලාභ නොලැබෙනු ඇත. දූෂණයට එරෙහිව දැඩි ක්රියාමාර්ග නොගන්නේ නම්, අපට කොපමණ ආධාර, උපකාර ලැබුණත් ඒවා නාස්ති වීම හෝ හොරකම් කිරීම දිගටම සිදුවනු ඇත. එය හිල් වුණ බඳුනකට වතුර පුරවනවා හා සමාන වේ.
“ආර්ථිකය ගොඩනැංවීම ගැන බොහෝ කතා අපිට අසන්නට ලැබුනත්, රාජ්යකරණ ප්රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම පිළිබඳ වැඩි උත්සාහයක් අප දකින්නේ නැත. නමුත්, රටේ අර්බුදය හුදෙක් ආර්ථිකමය ගැටළුවක් පමණක් නොවන බවත්, එය දුර්වල පාලනයේ සහ මුල් බැසගත් දූෂණයේ ප්රතිඵලක් බවත් පැහැදිලියි. පසුගිය වසරේ දැවැන්ත ජනතා උද්ඝෝෂණයක් හරහා ක්රම වෙනසක් ඉල්ලා සිටියේ ඔවුන් එය තේරුම් ගත් නිසයි.
“දූෂණයට එරෙහිව හඬ නගන්න මේ මොහොතේ මිනිසුන්ගේ පවතින දැඩි උනන්දුව අවබෝධ කර ගෙන, සිවිල් සමාජ සංවිධාන එකතු වෙලා රටට අවශ්ය වන රාජ්යකරණ ප්රතිසංස්කරණ පිළිබඳ යෝජනා මාලාවක් සහිත විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබූවා. මෙහි දැක්වෙන නිර්දේශ ක්රියාත්මක තලයට ගෙන යා හැකි නම්, අපට සැබෑ ක්රම වෙනසක් මෙන්ම තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකියි,” ඇය වැඩිදුරටත් පැවසුවාය.
1975 සිට ලබා ගත් දත්ත විශ්ලේෂණය කරමින් වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් පැවැසූයේ රාජ්යකරණය මනින මිණුම් දඬු වලින් ඉහළ ලකුණු ලබා ඇති රටවල් එක් වරක් පමණක් සිදු කළ ණය ප්රතිව්යුහගත කිරීමකින් ගොඩ ආ නමුත්, එම මිණුම් දඬු වලින් අඩු ලකුණු පෙන්නුම් කර ඇති රටවලට කිහිපවරක් ණය ප්රතිව්යුහගත කිරීමට සිදු වී ඇති බවයි.
“ශ්රී ලංකාවේ රාජ්යකරණය හරි ගැස්සුවේ නැත්නම්, ආර්ථිකය යළි ගොඩනැගීමට ගන්නා උත්සාහය අත්තිවාරමක් නැතිව ගෙයක් හදනවා හා සමාන වනු ඇත. රාජ්යකරණ දර්ශක අතින් ශ්රී ලංකාව ඉහළට ගැනීම සඳහා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ තනි අභිමතය තුළ පාලකයන්ට ක්රියා කිරීමට ඇති හැකියාව ඉවත් කිරීම අත්යවශ්ය වේ,” ඔහු පැවසීය.
“අප කරන විශාල වැරැද්දක් නම් තාවකාලික විසඳුම් වලින් සෑහීමකට පත් වීමයි. ශ්රී ලංකාව නිවැරදි මාවත සොයා ගන්නේද, නැතහොත් අනතුරුදායක පැත්තට යන්නේදැයි තීරණය කරන්නේ රාජ්යකරණයයි,” ඔහු තවදුරටත් අදහස් දැක්වීය.
TISL ආයතනයේ නියෝජ්ය විධායක අධ්යක්ෂිකා සංඛිතා ගුණරත්න මෙම වාර්තාවේ සඳහන් රාජ්යකරණ ප්රතිසංස්කරණ පූර්ණ වශයෙන් සහ ප්රමාදයකින් තොරව ක්රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.
සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමේ නීතියක් සහ ප්රසම්පාදන නීතියක් අලුතෙන් හඳුන්වා දීම, ‘වාසිදායක හිමිකරු ලේඛනයක්’ (වෙනත් නමකින් වුවද හිමිකාරිත්වයේ ප්රතිලාභ භුක්ති විඳින පුද්ගලයන්ගේ ලේඛනයක්) සැකසීම සහ රජයේ ඉහළ නිලතල දරන අයගේ වත්කම් ප්රකාශ වලට මහජන ප්රවේශය ලබා දීම වැනි ක්රියාමාර්ග වාර්තා දෙකෙහිම අවධාරණය කර ඇති බව ඇය පෙන්වා දුන්නාය.
රාජ්යකරණය පිළිබඳ සිවිල් සමාජ විශ්ලේෂණ වාර්තාව සඳහා පර්යේෂණය මෙහෙය වූ මහාචාර්ය අර්ජුන පරාක්රම මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, වාර්තාවේ නිර්දේශ ආර්ථික දෘෂ්ටිකෝණයෙන් පමණක් නොව, මහජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් ද වැදගත් වන බවයි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශ්රමදාන ව්යාපාරයේ සභාපති වෛද්ය වින්යා ආරියරත්න, NPC විධායක අධ්යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා, CPA විධායක අධ්යක්ෂ ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු, TISL ආයතනයේ උද්දේශන සහ පර්යේෂණ කළමනාකාරිනී ලසන්තිකා හෙට්ටිආරච්චි යන අය ද මෙම සාකච්ඡාවට එක් වූහ.
සාකච්ඡාවට සහභාගී වූ සිවිල් සමාජ නියෝජිතයින් විසින් වාර්තාවේ සඳහන් රාජ්යකරණ ප්රතිසංස්කරණ කෙරෙහි සිය නොමද සහය ප්රකාශ කරන ලදී.
Social Sharing
ආර්ථික නවතම පුවත්