ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක්!

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වර්තමානයට ගැළපෙන පරිදි ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම කාලීන අවශ්‍යතාවක් බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය.

පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ප්‍රශ්න කිරීමේදී ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

ස්වාධීන අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වාර්තාවන් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමෙන් රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම විශ්වවිද්‍යාලයන් එකම ප්‍රමිතියක් යටතේ පවත්වාගෙන යෑමට හැකි.

සංවෘත ආර්ථිකයක් තිබෙන කාලයේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට මෙරට ඉඩක් තිබුණේ නැහැ. 1977 ආර්ථිකය විවෘත කළ පසුව නීතිය වෙනස් නොකළාට පෞද්ගලික විශ්වවිද්‍යාලවල අවශ්‍යතාවක් රටට තිබුණා. වරින් වර බලයේ සිටි ආණ්ඩු විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සංශෝධන ගෙනැවිත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවස්ථාව දුන්නා. ඒ අනුව මේ වන විට පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ආරම්භ කර තිබෙනවා. ඊට අමතරව ඇෆිලියේටඩ් විශ්වවිද්‍යාල බොහෝ සංඛ්‍යාවක් තිබෙනවා. විදෙස් රටවල විශ්වවිද්‍යාලයන්හි ශාඛා, ඒවාට අනුබද්ධ ඒවා තිබෙනවා. ඒවායේ ප්‍රමිතිය දන්නේ නැහැ. ඒවා කිසිදු නියාමනයක් නැහැ. නියාමනය සඳහා නීති සකස් කළ යුතුයි.

Social Sharing
නවතම පුවත්