ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැහැ – CEB

Installation of smart electricity meters CEB

සියලු විදුලි පාරිභෝගිකයන්ගේ නිවෙස්වලට ස්මාට් විදුලි මීටර සවි කිරීමට තවමත් සැලැස්මක් නැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය මේ බව පැවසුවේ අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය වෙනුවෙන් එහි භාණ්ඩාගාරික ටී. රෝහණ සිරිවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයකට ප්‍රතිචාර දක්වමිනි. “විදුලි පාරිභෝගිකයන්ගේ නිවාසවලට ස්මාට් විදුලි මීටර ලබාදීමේ සැලැස්ම කුමක්ද?” යන්න රෝහණ සිරිවර්ධන මහතා විසින් විමසා තිබිණි.

එයට පිළිතුරු වශයෙන් ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ, කොළඹ නගරය තුළ වර්තමානයේදී ලබාදෙන නව විදුලි සම්බන්ධතා සඳහා ස්මාට් මනු භාවිතා කරන බවයි. දැනට ස්මාට් මනු තොග සීමිත බැවින් මින් පෙර සවිකර ඇති මනු දෝෂ සහිත වුවහොත් හෝ පිළිස්සුම් වුවහොත් පමණක් එම මනු ස්මාට් මනු ලෙස මාර් කරන බව ද ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කොළඹ නගරය) ඉංජිනේරු චන්දන වර්ණසූරිය පැවසීය.

නිවසේ සිටම බිල්පත් ගෙවීම විදුලි කාර්යාලයේ සිටම මනු කියවීමේ නවතම ස්මාට් මීටර් ක්‍රමය ළඟදීම සෑම නිවසකටම හඳුන්වා දෙන බව ලංකා විදුලි බල මණ්ඩලය 2020 වසරේදී පැවසීය.බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සමාගමක් මණ්ඩලයේ අනුමැතිය මත ස්මාට් මීටර් 2000ක් දිනකට නිපදවන අතර වසරකදී 300000ක් නිපදවීමට බලාපොරොත්තු වන බව ද සාමාන්‍යාධිකාරි ආචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා 2020 මාර්තු 2දා මාධ්‍යවලට පැවසීය.

Social Sharing
අවකාශය නවතම