තොරතුරු අයිතිය තවත් ශක්තිමත් වෙන්න නම් පුරවැසි මැදිහත්වීම අවශ්‍යයි…

2023 වර්ෂයේ තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සහතික කිරීමේ ජාත්‍යන්තර දිනයේ තේමාව තොරතුරු සදහා ප්‍රවේශ වීමට අන්තර්ජාල අවකාශයේ වැදගත්කම යන්නයි.

තොරතුරු අයිතියක් පවතින රටක් බංකොලොත් වූයේ දේශපාලනඥයන්ගේ වැරදි නිසා පමණක් නොවේ. සක්‍රීය පුරවැසියන් නොසිටීම ද එයට හේතුවකි. සමාජයක් ලෙස මහජනතාව ද දූෂිත වී ඇති අතර ඇතැම් ආයතනවල දීමනා ලෙස නීත්‍යානුකූලව අල්ලස් ලබා දීම සිදු කරන අතර මහජනයා අයථා ක්‍රමවලින් රාජ්‍යයේ වරප්‍රසාද ඉල්ලා සිටින පිරිසක් බවට පත් වී ඇත.

තොරතුරු අයිතිය සම්බන්ධ නීතියේ වර්ධනය සදහා නඩු නීතිය සැලකිය යුතු දායකත්වයක් දරා ඇත  තොරතුරු අයිතිය ලංකාවේ නීතියක් වීමට පෙරම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එදිරිව ප්‍රනාන්දු නඩුවේදී ද, නාගරික සංවර්ධන අධිකාරියට එදිරිව environmental Foundation LTD නඩුවේදී ද භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තුළ තොරතුරු අයිතිය ඇති බවත්, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අර්ථවත් වන්නේ තොරතුරු අයිතිය ලැබීම තුළින් බවත් තීරණය කර ඇත. නීව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පවරා තිබූ එක්සත් ජනපද නඩුවකදී මහජන මතය ගොඩනැගීමේ නිදහස ඉතා වැදගත් බවත් ඒ සදහා තොරතුරු ප්‍රවේශය සහතික කිරීම වැදගත් බවත් ප්‍රකාශ කර ඇත.

ඉන්දියානු නඩු නීතිය තොරතුරු දැන ගැනීමේ අයිතිය වඩාත් සංවර්ධනය කල අතර එමි. ආර්. මිශ්‍රා නඩුවේදී ඉන්දියානු තොරතුරු දැනගැනීමේ පනත සමග නීතියේ අනනුකූලතාවෙක් ඇති වුනොත් බලපවත්වන්නේ තොරතුරු අයිතිය බවත්, එය නිශ්චිතවම තොරතුරු පනතේ අඩංගු බවත්, එවැනි වගන්තියක් ඇතුළත් කිරීමෙන් තොරතුරු අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස සුරක්ෂිත කිරීමේ ව්‍යවස්ථාදායකයේ චේතනාව ප්‍රකට වන බවත් තීරණය කරන ලදී.

එකී නඩු තීන්දුව හා සමානව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එදිරිව චාමර සම්පත් නඩුවේදී තොරතුරු කොමිෂන් සභාවේ නිර්දේශය නිවැරදි බවට පිළිගනිමින් වත්කම් බැරකම් නීතියට වඩා තොරතුරු දැනගැනීමේ පනත තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන් බලපවත්වන බව අභියාචනාධිකරණය විසින් තීරණය කරන ලදී.

මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට එදිරිව කමල් විතානගේ නඩුවේදී තොරතුරු කොමිෂන් සභාවේ අභියාචනා විභාග තීන්දුවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද පොදු අධිකාරියක් ලෙස අර්ථ දක්වමින් තොරතුරු අයිතිය මත තොරතුරු ඉල්ලීමට හැකි ආයතනයක් ලෙස තීරණය කරන ලදී. ඒ සදහා පහත දැක්වෙන හේතු පදනම් කරගන්නා ලදී.

  1. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශාඛා කාර්යාල රජයේ අධිකරණ පරිශ්‍රවල කුලී පදනම් නොමැතිව නොමිලේ ක්‍රියාත්මක වීම , ඒවායේ ජල හා විදුලි බිල් ඒ අදාළ රාජ්‍ය ආයතන මගින් ගෙවීම, එකී ශාඛාවන්හි නියෝජිතයන් නීති සභාව නියෝජනය කිරීම
  2. අන්තර්ජාතික සංවිධාන මගින් සහ විදෙස් රාජ්‍යයන් මගින් ආධාර ලබා ගැනීම සහ ඒ ආධාර මගින් ගොඩනැගිලි පුස්තකාල පහසුකම් වර්ධනය කිරීම සහ මහජනයා වෙනුවෙන් නීතියේ පාලනය සුරක්ෂිත කිරීම සදහා වැඩ කිරීම
  3. පොදු ජනයා වෙනුවෙන් සේවා සැපයීම

පෞද්ගලික පාසල් පවා තොරතුරු අයිතියට යටත් පොදු අධිකාරීන් ලෙස ඉන්දියානු නඩු නීතියේ පිළිගෙන ඇති අතර මේ ආකාරයට මෙම තොරතුරු අයිතිය වඩාත් පුළුල් බවට පත් කර ඇත.

ශ්‍රී ලංකාව ඉතා විශාල නීති සමුදායක් ඇති රටකි. ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුති නවයම අපරානුමත කරමින් ලංකාවේ නීතියට ඇතුළත් කර ඇති අතර අයිතිවාසිකම් සම්බන්ධ නීති තත්වය ඉතා විශලය. කොතරම් නීති තිබුණත් ලංකාවේ නීති ක්‍රියාත්මක නොවීම ගැටලුවකි.

ආචාර්ය නීලම් තිරුචෙල්වම් කියූ පරිදි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඇත්තේ ආයතනික තර්කනයක් පමණි. මහජනයා සංවිධානගත කිරීම සම්බන්ධයෙන් ඇත්තේ ජනප්‍රිය තර්කනයකි. නීති හා ආයතන අතිවිශාල වශයෙන් තිබුණද ජනතාව සක්‍රිය පුරවැසියන් ලෙස සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට යොමු නොවී ජනප්‍රිය අනුග්‍රාහක ඉල්ලීම් මත පදනම් වෙයි. මේ තත්වයෙන් ජනතාව වෙනස් කර ජනතාව සක්‍රිය පුරවැසියන් බවට පත් කරමින් තොරතුරු අයිතිය මෙන්ම අනෙකුත් අයිතිවාසිකම්ද  සුරක්ෂිත කිරීමට කැපවීම අපගේ කාර්යභාරයේ කොටසක් විය යුතුයි.

දුලාන් දසනායක

Social Sharing
නවතම පුවත්