කඳුකර දෙමළ ජනතාවගේ “මලයග දෙමළ” අනන්‍යතාව…

 

මලයග දෙමළ ,ඉන්දියානු දෙමළ , කඳුරට දෙමළ , යන්නෙන් හඳුන්වනු ලබන්නේ 19 වන සහ 20 වන ශතවර්ෂ වලදී දකුණු ඉන්දියාවේ සිට ලංකාවට රැගෙනවිත් බලහත්කාරයෙන් නව වහල් සේවයකට යටත් කළ කම්කරු පංතියකින් පැවත එන පරම්පරාගත දෙමළ ප්‍රජාවයි. මේ සියවස් දෙක පුරාම ඔවුන් අත්විඳිමින් සිටින්නේ කිසිඳු මානව සමාජයක් අත් නොවිඳින අවමානයන් අසාධාරණයන් හා වෙනස් කොට සැලකීමකට මෙන්ම ඔවුන් ට එරෙහිව සිදුකෙරුණ මහා අපරාධයක පසුවිපාකයන්ටය. ඒවා අතරින් වැදගත් එක් ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ අනන්‍යතාව පිලිබද ගැටලුව යි. අතීතයේ සමහර රාජ්‍ය නායකයින් එය හැඳුනුම්පත් නොමැති කමකට ලඝු කිරීමට උත්සාහ කළද එය එවැනි සරල තාක්ෂණික ගැටලුවක් නොවේ. මුලුමහත් ප්‍රජාවකගේ මානව අයිතීන් පිළිබඳ ගැටලුව කි.

ශ්‍රී ලංකාවේ කඳුකර දෙමළ ජනතාව සඳහා ඔවුන්ටම අනන්‍යය වූ ඔවුන් ස්ව කැමැත්තෙන්ම හඳුනා ගන්නා දේශීය අනන්‍යතාවක් තිබිය යුතුය . එය ඔවුන්ගේ මූලික අයිතිවාසිකමකි. එම මූලික අයිතිය සපුරාලීමකින් තොරව ඔවුන් අවුරුදු දෙසීයක් තිස්සේ අත්විඳින සමාජ දේශපාලන අසාධාරණයන්ට හා අපරාධයට යුක්තිය ඉටුකරලිය නොහැක .

ආර්ථික, සමාජ, වාසස්ථාන හා සංස්කෘතික සම්බන්ධතා වන්ගේ බොහෝ පරස්පරතාවයන් තිබියදී ඔවුන් පොදු දෙමළ හෝ ද්‍රවිඩ කුලකයකට ඇතුළත් කිරීමත් එසේ නැතිනම්, රටේ මෑත ශිෂ්ඨාචාරයම ගොඩනැගී ඇත්තේ බොහෝසෙයින් ඉන්දියානු සම්භවයකින් පැවතෙන්ගෙන් බව පොදු පිළිගැනීම වී තිබියදීත්, නූතන ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය හා නව ශිෂ්ඨාචාරය ගොඩනැගීම වෙනුවෙන් සියවස් දෙකක් තම දහඩිය කඳුළු හා ජීවිත පවා කැපකළ, මොවුන් පමණක් ‘ඉන්දියානු ‘ කුලකයකට ඇතුළත් කිරීමත් ඔවුන්ට එරෙහිව කෙරෙන තවත් අසාධාරණයකි. ඒ තුළින් ඔවුන්ට අධ්‍යාපනයේ, සෞඛ්‍යයයේ, වාසස්ථානයේ හා ජීවනෝපායේ සාධාරණ හා සමාන අයිතිය අහිමි කරවයි. අනෙක් අතට ඔවුන් ට විදේශීය නාමකරණයක් ලබා දීමෙන් ඔවුන් තුළ ම පරාධීන හැඟීමක් ඇතිකරලීම මෙන්ම ඔවුන්ව අන්‍යකරණයකටද යටත් කරවයි. වෙනස්කොට සැළකීමේ හා එය ජන විංඥාණය තුළ සාධාරණීකරණය වීමේ පදනම මෙම අන්‍යයකරණයයි. මේ දෙයාකාරයෙන්ම රටේ පොදු ආර්ථික හා සමාජ උන්නතිය අඩාල කරවයි. එබැවින් ඔවුන් පොදු ද්‍රවිඩ කුලකයෙන් මෙන්ම විදේශීක නාමකරණයෙන් මුදවා දේශීය අනන්‍යතාව ක් ලබාදීම මුලු රටේම සමාජ හා ආර්ථික සංවර්ධන යේ ප්‍රමුඛ අවශ්‍යතාව කි.

එමනිසා නූතන ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ පරිවර්තනයේ නියමු කාර්ය භාරයක් ඉටුකළ මෙම කඳුකර දෙමළ ජනතාවට දේශීය අනන්‍යතාව ක් ලබාදීම සදහා ඔවුන්ගේ අති බහුතරයක් කැමැත්ත පළකරන ” මලයග දෙමළ ” යන අනන්‍යතාවයෙන් ඔවුන්ව හඳුනා ගැනීම සදහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය ප්‍රතිපාදන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාජ්‍යය සහ ආණ්ඩුව වෙතින් දැඩි අවධාරණයෙන් ඉල්ලා සිටිමු. ඒ සඳහා ප්‍රකාශය ට පත්කොට ඇති 2023/24 ජන හා නිවාස සංගණන ක්‍රියාවලිය උපයෝගි කරගැනීමට යුහුසුළු වනමෙන් ආණ්ඩුවෙන් සහ මහජන නියෝජිතයන් වෙතින් ඉල්ලා සිටිමු.

තමන්ගේ නිවාස හා ඉඩම් අයිතිය වැනි ප්‍රමුඛ ඉල්ලීම් මෙන්ම අධ්‍යාපනය සෞඛ්‍යය හා ජීවනෝපාය වැනි අත්‍යාවශ්‍ය අයිතීන් දිනා ගැනිමේ පැනුම් පෝරුව (spring Board ) වන්නේ ද තමන්ගේම “අනන්‍යතාව” ක් සදහා වූ අරගලය බව මලයග සමාජ දේශපාලන ක්‍රියාකාරීකයින් හා මහජන නියෝජිතයන් වෙත අවධාරණය කරමින් ඒ සඳහා ආර්ථික, සමාජ, දේශපාලන හා සංස්කෘතික වශයෙන් සිදුවන සකලාකාර අසාධාරණයන්ට එරෙහිව වෙන් වෙන්ව කෙරෙන අරගල බිම් මට්ටමේ එක්සත් හා ඒකාබද්ධ බහුජන අරගල ක්‍රියාකාරිත්වයකට ගොනුකර ගැනීමට යුහුසුළුව ක්‍රියා කරන මෙන් ඉල්ලා සිටිමු.
එලෙසින්ම ඔවුන්ගේ සාධාරණ අරගලය හා නීත්‍යානුකූල අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම හඬනැගීම සහ රාජ්‍ය හා රජයට බලකර සිටීම සිංහල දෙමළ හා මුස්ලිම් ඇතුළු අවශේෂ සමාජයේ යුතුකම සහ සමාජ වගකීම බවද අවධාරණය කර සිටිමු.

ශතවර්ෂ දෙකක වෙනස් කොට සැලකීමේ සහ අසාධාරණයේ දුක්ඛිත ජීවිතයෙන් ඔවුන් මුදා ගැනීමට “සහයෝගීතාවයේ” හස්තය දිගු කරමු.

කඳුකර ජනතා යුක්තිය උදෙසා සහයෝගිතා ව්‍යාපාරය
28/9/ 2023.

සහයෝගිතාව මගින් අනෙකාගේ විශ්වාසය දිනා ගැනීමට සහ එක්සත් බව ගොඩනැගීමේ අපගේ පිළිවෙත අනුව: මලයග ජනතා කාර්ය සාධක බලකාය විසින් 28/09/2023 දින, කඳුකර දෙමළ ජනතාව “මලයග දෙමළ “යන අනන්‍යතාවයෙන් හඳුන්වා ප්‍රතිඥා දී ප්‍රකාශය ට පත්කළ උත්සවය වෙත “කඳුකර ජනතා යුක්තිය උදෙසා සහයෝගිතා ව්‍යාපාරය” ඉදිරිපත් කළ සහයෝගිතා ප්‍රකාශය.

Social Sharing
නවතම පුවත්