චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ.

Chandrayaan made economic reforms a reality

-දුලාන් දසනායක-

ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය.

1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වූයේ, එතෙක් පවත්වාගෙන ආ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මාදිලිය මුළුමනින්ම වෙනස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්වී එහි එකගතා අනුව වෙළද පොල පදනම් කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම නිසා බව මතක් කර ගැනීම වටියි.

1991දී ඉන්දීය අය වැය හිගය 8.4%ක් දක්වා ඉහළ ගිය අතර, ජංගම ගිණුමේ හිගයද වර්ධනය විය. විදේශ ණය ප්‍රමාණයද ඉහළ ගොස් තිබූ ඉන්දියාවේ ගෙවුම් ශේෂ හිගය විශාල වී ගෙවුම් ශේෂ අර්බුදයක් වර්ධනය වී තිබුණි.

සහනාධාර මත අත්‍යවශ්‍ය සේවා ලබා දීම් නැවැත්වීම, රාජ්‍යය ව්‍යාපාර සිදු කිරීමෙන් ඉවත් වීම, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය, වෙළදපොල තරගයට සාධාරන ප්‍රවේශය ඇති කිරීම, ඉඩම් හා ආයෝජන නීති වෙනස් කිරීම ආදී නොයෙක් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉන්දියාව දිගින් දිගටම සිදු කරන ලදී. එතෙක් වාමාංශික නැඹුරුවකින් රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකය පෝෂණය කල කොන්ග්‍රස් පක්ෂයම මේ ප්‍රතිසංස්කරණ සදහා නායකත්වය දෙනු ලැබීය. එකී ප්‍රතිසංස්කරණ පහත පරිදි වැඩිදුරටත් විස්තර කල හැක.

පොහොර හා අපනයන මත ලබා දුන් සහනාධර ඉවත් කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාරයන්හි පාඩුව පියවීමට රජය ණය ලබාදීම ක්‍රමිකව නැවැත්වීම, සංවර්ධන වියදම් කප්පාදු කිරීම මගින් මූල්‍ය ස්ථාවරත්වය ඇති කරමින් අය වැය හිගය අවම කරන ලදී.

නව කර්මාන්ත ප්‍රතිපත්තියක් ඇතිකරමින් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මානත වලටත්, අනෙකුත් කර්මාන්තවලටත් ඒවා ඇරඹීමට හා පවත්වාගෙන යාමට විවිධ අවස්ථා වලදී ලබා ගැනීමට අවශ්‍ය රජයේ බලපත්‍ර අවලංගු කර ව්‍යාපාරයන්ට රජයේ බාධා කිරීම්හා මැදිහත්වීම් නතර කරන ලදී. එමෙන්ම රජයේ ඒකාධිකාරය පැවැති තීරණාත්මක සේවා වන ඉන්ධන, ගෑස්, විදුලි සංදේශ සේවා හි රාජ්‍ය ඒකාධිකාරය අහෝසි කර ඒවාට පෞද්ගලික ව්‍යවසායන්ට ඇතුල් වීමට අවස්ථාව ලබා දෙන ලදී.

විදේශ ආයෝජන සදහා ඇති බාධා ඉවත් කරමින් ආයෝජන සදහා හිතකර නීති හා ප්‍රතිපත්ති සකසන ලදී. වෙළද හා විදේශ විනිමය ප්‍රතිපත්තියද වෙනස් කරමින් වෙළදාම සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීම් ඉවත් කර වෙළදාම, මිල වෙළදපොලට තීරණය කිරීමට ඉඩ දෙන ලදී. විදේශ විනිමයද විනිමය වෙළදපොලට තීරණය කිරීමට ඉඩ ලබා දී ඒ සදහා වන රජයේ මැදිහත් වීම අවසන් කරන ලදී.

ඔවුන්ගෙ තවත් වැදගත් ප්‍රතිසංස්කරණයක් වූයේ බදු ප්‍රතිසංස්කරණයි. ප්‍රධාන වශයෙන් දේශීය පුද්ගලින ආදායම් බදු සීමා පහළ දමමින් බදු ආදායම ඉහළ නංවන ලදී. ආනයන සීමා සදහා පනවා තිබූ තීරු බදු අනුපාත විශාල ලෙස පහළ දමමින් ඉන්දියානු ව්‍යවසාය ගෝලීය තරගකාරීත්වයට යොමු කරන ලදී. එමෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන සදහා බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය විවෘත කරන ලදී.

එකී ප්‍රතිසංස්කරණ සිදු කිරීම කොතරම් අපහසු වීද යත්, ඉතා විශාල උද්ඝෝෂන විරෝධතා මේ ප්‍රතිසංස්කරණ වලට එරෙහිව ඇති විය. 1994පමණ වන විට උද්ධමනය අඩු වී ගෙවුම් ශේෂ අර්බුදය යම් පමනකට සමනය වී  තිබුණද තවදුරටත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය විය. දේශපාලන පිටියද මුළුමනින්ම වෙනස් විය. කිසිදු පක්ෂයකට බහුතර බලය ගැනීමට නොහැකි වාතාවරණයක් 1996දී ඇති විය. සුළු පක්ෂ නායකයන්ද අගමැති ධූරයන්ට පත් විය. කොමියුනිස්ට් නායක ජෝති බාසුටද අගමැතිධූරයට පත් වීමේ අවස්ථාව හිමිවුවද මේ සංකීර්ණ අවස්ථාවේ ඔහු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. වජ්පායි මහතා ප්‍රථම අවස්ථාවේ අගමැති වී කටයුතු කළේ දින 13කි. ජනතා දාල් පක්ෂයේ නායක ඉන්ද්‍ර කුමාර් ගුජ්‍රාල් ගේ සභාග රජය පැවතුනේ මාස හතකි. දේව් ගවුඩා ගේ සභාග රජයද කෙටි කලකින්බිද වැටුනි. ඉන්දියාව ස්ථාවර ආණ්ඩුවක් වඩාත් ධනේෂ්වර ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩ නගන්නේ 1999දීය. මෙවන්  පෙරළි සිදු වුවද ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉන්දියාව දිගින් දිගටම අද දක්වම සිදු කරයි. මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ හදුන්වා දෙමින් මුල් අවස්ථාවේ ඒ සදහා නායකත්වය දුන් 1991 මුදල් අමාත්‍ය මන් මෝහන් සිං මහතා නැවත අගමැති ධූරයට 2004 දී පත් විය.

ඉන්දියාව මේ සා ඉහළට ඔසවා තබන්නේ මෙම IMF එකගතා මත සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණයි. 1991 වකවානුවේදී මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා යොමු වීමට සහ ඒවා පවත්වාගෙන යානට විරෝධතා මැද ඉන්දීය පාලකයන් හා නිලධාරීන් තීරණය කිරීම මත අද ඉන්දියාවට සහ එහි ජනතාවට ආඩම්බර වීමට හැකියාව ලැබී ඇත.

ඉන්දියාවේ සද තරණය පෙන්වමින් ලංකාවේ තත්වය පෙන්වා කතන්දර ලියන ලංකාවේ ඊනියා වාමාංශිකයන් හැරී බැලිය යුත්තේ ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙසයි. ඉන්දියාවේ 1990 දශකය හදුන්වා දෙන්නේ ඉන්දියාව ඉතිහාසයේ මුහුණ දුන් අසීරුම හා තීරණාත්මකම දශකය ලෙසයි. ලංකාවද පිවිසී ඇති මේ තීරණාත්මක දශකයේ ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා එරෙහි වන සියළු දෙනා සද තරණය දිහා දෑස් යොමු කරන ගමන් ඉන්දියාවේ 1991 ඇරඹි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දෙසද දෑස් යොමු කල යුතුය.

-දුලාන් දසනායක-

Social Sharing
අවකාශය නවතම විශේෂාංග