හිතක මතක…!!

-කරුණාත්න අමරසිංහ-

මෙකල මෙලක බාල්දු වී ඇති බොහෝ දේ අතර ‘ආචාර්ය’ සම්මානය හා ‘සාහිත්‍ය’ සම්මානය වෙසෙස් තැනක් ගනී. සම්මානයෙන් බැබළෙන ලේඛකයෝ සසිරිබර මෙසිරිලක සුලබයහ. එහෙත් සම්මානය බබළවන ලේඛකයෝ මෙහි ඉතා දුලබයහ. ඒ ටික දෙනා අතර සිටින පියදාස වැලිකන්නගේ ලේඛකරත්නය 90 වියට එළඹීම අරබයා 2023 ජුනි මස 16 වැනි සිකුරාදා මාතලේදී පැවැත්වෙන උත්කර්ෂවත් අභිසම්භාවනා උත්සවය නිමිත්තෙන් මා වනපස මලින් කරන මේ කුදු බැති පුද අපකර්ෂයක් යැයි නොසිතත්වා!
ජී.බී.සේනානායක ලේඛකයාට
කොලොප්පං කළ කොල්ලා
තනි සුදු කලිසම් කෝට් ඇඳ ටයි පටියක් පැලඳි මහත්තයෙක් අමුතු ආකාරයේ ගමන් විලාසයකින් පාරේ ගමන් කරයි. ඔහුගේ හිසේ තොප්පියක්ද ඇත. කුඩා කොල්ලෙක් ඔහුගේ ඒ අමුතු වූ ගමන් විලාසය අනුකරණය කරමින් ඔහුට හොරෙන් ඔහු පිටුපසින් ඇවිද යයි.
එය දකින ඔහුගේ පියා ඔහුට අඬ ගසා මෙසේ අසයි.
“උඹ දන්නවද ඒ මහත්තයා කවුද කියලා?”
“නෑ මං දන්නෙ නෑ.”
“ඒ පොත් ලියන මහත්තයෙක්.”
“මොනවද ඒ මහත්තයා ලියල තියෙන පොත්?”
“ඒව මං දන්නෙ නෑ. මීට පස්සෙ උඹ ඒ මහත්තයට විහිළු කරන්න යන්නෙ නෑ.”
ඒ පොත් ලියන මහත්තයා පදිංචි වී සිටියේ කුඩා කොල්ලා විසූ නිවසට නුදුරිනි. ආසාවෙන් පොත් කියවීමට පුරුදු වී සිටි කොල්ලා වරින් වර එහි ගොස් ඔහුගෙන් පොත් ඉල්ලා ගෙන කියවීමට පුරුදු වෙයි. ඔහුගේ කියවීමේ උනන්දුව දුටු පොත් ලියන මහත්තයාද ඊට අනුබල දුන්නේ සතුටිනි.
ඒ පොත් ලියන මහත්තයා කීර්තිමත් ලේඛක ජී .බී . සේනානායකයන් බව කුඩා කොල්ලා දැන ගත්තේ ලොකු වෙලා ඉගෙන ගත්තාට පසුවය. එදා විහිළුවට ඔහුගේ ගමන් විලාසය අනුකරණය කළ කුඩා කොල්ලා පසු කලෙක ඔහුගේ ගමන් මාර්ගය අනුව ගොස් පියදාස වැලිකන්නගේ නම් කීර්තිමත් ලේඛකයා බවට පත්වීම දෛවයේ අරුමයක් නොවේද?
එහෙත් ඊටත් වඩා දෛව අරුමය නම් පසු කලක තමා අතින් නිර්මිත සියලු සාහිත්‍ය උත්පාදනයන්ට ජීවය දුන් තම මව් බසෙහි හෝඩියේ පළමු අකුර වැලිකන්නගේ පළමු වරට හඬ ගා කියූ අවස්ථාවටද සත්කීර්තිමත් සාහිත්‍ය දැවැන්තයෙකුම හාමු වීමය. එය සිදුවූයේ කොළඹ කවි යුගයේ ආරම්භක අවධියට අයත්, දන තුඩ තුඩ නම රැඳි , විශිෂ්ට කවියෙකු මෙන්ම ව්‍යක්ත ලේඛකයෙක්ද වූ බොරලැස්ගමුවේ ජී.එච්.පෙරේරා කවීන්ද්‍රයන් නමෝ විත්තියෙන් පියදාස වැලිකන්නගේට සිංහල හෝඩියේ අක්ෂර ඉඳුල ගැන්වීමෙනි.
ඒ සඳහා උපයෝගී කොට ගෙන ඇත්තේ එකල භාවිතයේ පැවති ‘පරාක්‍රම’ හෝඩියයි. එය පී.ද.ඇස්.කුලරත්න මහතාණන් විසින් සම්පාදිත වූවක් යැයි කියැවේ.
පියදාස වැලිකන්නගේගේ පියාත්
ජී.එච්. පෙරේරා කිවිඳුත් අසබඩ ගම්හි විසූ බඩ බැඳගත් මිතුරෝය. උග්‍ර සමසමාජ සගයෝය. එබැවින් තම වැඩිමල් පුතාට අකුරු කියවීම සඳහා තම හිත මිතුරු කිවිසුරු ගෙදරට වැඩමවීම කවර අරුමයක්ද! එදා එසේ ‘අ’ යන්න කියූ පුතා මතු කලක මෙලක සම්මානනීය ලේඛකයෙකු වෙතියි ඔහුට අකුරු කියැවූ සුපතළ කිවියර ගුරුත් දරුවන් රේස් අස්සයන් කිරීමේ පිස්සුවෙන් නොපෙළුණු පියාත් තුන් හිතකින්වත් නොසිතන්නට ඇතැයි සිතමි.
පියදාස වැලිකන්නගේ ගේ පියා, එම්. ඩබ්ලිව්. සාදිරිස් සහෝදරයා වනාහි 1953 අගොස්තු 12 හර්තාල් සටනේදී සමසමාජ පක්ෂයේ උග්‍ර සටන් කාමී වෘත්තීය සමිති නායකයෙක් වූ ඩී.ජී. විලියම් ආදි කම්කරු සහෝදරයන් සමග එක පෙරමුණේ සිටි සටන් කාමියෙකි. එදා පුවත්පත් පළ කළ හර්තාල් සටන් වාර්තාවල ඔහුගේ නමද උඩින්ම දැකිය හැකි විය. ඔහුගේ පුත් පියදාස වැලිකන්නගේ තුළ උපන් බද්ධ සමසමාජ ප්‍රේමය එහි විපුල පලයක් යැයි සිතමි.
අධිරාජ්‍ය හා ධනපති විරෝධී වූත් පීඩිත පන්ති පදනමින් යුතු වූත් පළමුවන දේශපාලන පක්ෂය වශයෙන් 1935 දෙසැම්බර් 18 වැනිදා මරදානේ ලෝරන්ස් විද්‍යාලයේදී උපත ලද ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක අවධියේදිී එම දේශපාලන වේදිකාවට ජාතික සංස්කෘතික මහජනතාව මලට බඹරුන් මෙන් ඇද ගත් සිංහල කථික අයස්කාන්ත පාෂාණය වූයේ ජී.එච්.පෙරේරා කිවිඳුය. ඔහු එකල සමසමාජ වේදිකාවට නැතුවම බැරි කථිකයෙක් විය. ඔහුගේ හාස්‍ය උපහාස රසාලිප්ත මුකරි කතාව මාක්ස්වාදී සමසමාජ නායකයන් සාමාන්‍ය ජනතාවගේ ලේ නෑයන් බවට පත් කිරීමෙහි ලා ජාතික සංස්කෘතික වශීකරණයක් මෙන්ම වාජීකරණයක්ද විය. 1917 විප්ලවයෙන් පසු පිහිටු වූ සෝවියට් ආණ්ඩුවේ අධ්‍යාපන හා සංස්කෘතික කොමිසාර්වරයා ලෙසට ලෙනින් විසින් පත් කරන ලද ඒ.වී.ලුනචාස්කි සතුව පැවති දුර්ලභ ගණයේ ජන මෝහන ජාතික සංස්කෘතික රුසියානු කථිකත්වයට සමාන කථිකත්වයක් ජී. එච්. පෙරේරා කිවිඳු හටද උරුමව පවතින්නට ඇතැයි සිතමි.
මාක්ස් වාදය බුද්ධාගමේ මාරයා හැටියට ප්‍රචාරය කරමින් මෙරට අධිරාජ්‍ය ගැති ධනවාදී පක්ෂ නායකයන් රට මුළා කරන එවන් අවිචාර සමයක ඉංග්‍රීසි අධ්‍යාපනයක් නොලැබ මොනිටර් ගුරු සහතිකය පමණක් තම ඉහළම අධ්‍යාපන සුදුසුකම කොට ගෙන සිටි අමු ගැමි ශුද්ධ සිංහල බෞද්ධ විදුහල්පතිවරයෙක් විද්‍යාත්මක සමාජවාදයේ අනුසස් දෙසීමට සමසමාජ වේදිකාවට නැගීමම සිතින් සිතන්නටවත් බැරි අසිරියක් නොවේද?
බුද්ධධර්ම අරටුව හා බුද්ධාගම් එලය තම තියුණු නැණින් වෙන් කොට හඳුනා ගත්තා වූත් එසේම, එය නොබියව නොවළහා පැවැසීමට තරම් එඩිතර වූත් අභීත, අදීන බුද්ධිමතෙකු ලෙස ජී.එච්.පෙරේරා කිවිඳුන් හැඳින්වීම කවර වරදද? ඔහුගේ මෙම අනභිභවනීය චරිතාංගය මනාව විශද කොට දැක්වෙන ඔහුගේම කෙටි කතාවක් ඇත . ‘පින් පැමිණවීම’ යන  මැයෙන්ඩී  .එෆ්.කාරියකරවනයන්ගේ ‘මිහිර’  සඟරාවේ 1948 මාර්තු කලාපයේ පළ කෙරුණු එම ප්‍රශස්ත කෙටිකතාව වූකලී බුද්ධාගමේ එන ‘දානං සග්ගස්ස සෝපානං’ ( දානය දෙව්ලොවට නගින ඉනිමගය) යන බත් බණ පාඨය වෙත එල්ල කළ යෝධ මිසයිල ප්‍රහාරයක් වැනිය. ජී.එච්.පෙරේරා කිවිඳු වූකලී පුරාණයේ විසූ නවීනයෙකි. අඥ බෞද්ධයන් අතර සිටි ප්‍රාඥ බෞද්ධයෙකි.
මේ ශ්‍රේෂ්ඨ පුරුෂයා මෙන්ම එකල සමසමාජ පක්ෂය වෙනුවෙන් විද්‍යාත්මක සමාජවාදයේ අනුසස් දෙසූ තවත් බෞද්ධ බුද්ධිමත්තු දෙදෙනෙකි බලංගොඩ ආනන්ද මෛත්‍රේය යතීන්ද්‍රයෝ හා ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහාශයෝ. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ ආචාර්ය ඇන්. ඇම්. සහෝදරයාගේ සිංහල ගුරුවරයා වූයේ බලංගොඩ ආනන්ද මෛත්‍රෙේය ස්වාමිපාදයන්ය. අධිරාජ්‍යවාදයට හා ධන වාදයට විරෝධය පාමින් එංගලන්තයේ හයිඩ් පිටියේ පැවති දේශපාලන රැස්වීම්වල චතුර දේශන සඳහා සුද්දන් හා කල්ලන් තම කර පිටින් ඔසවා ගෙන යන ලංකාවේ මාක්ස්වාදයේ පියා වන ෆිලිප් ගුණවර්ධනයන් සියැසින් දකිමින් උදම් වූ කෙනෙකි ආචාර්ය ඊ. ඩබ්ලිව් අදිකාරම්හු.
එකල ඔහු තම ආචාර්ය උපාධිය උදෙසා ශාස්ත්‍රෝද්ග්‍රහණය කරමින් ලන්ඩනයේ විසූ හෙයිනි. සමාජවාදය, බුදු දහම හා විද්‍යාත්මක චින්තනය තුලනාත්මක විග්‍රහයට ලක් කරමින් මහජනයාගේ දුර්මත දුරු කිරීම අරබයා එකල සමසමාජ පක්ෂ පත්‍රයට නිතර ලිපි ලියූවන් අතර බලංගොඩ ආනන්ද මෛත්‍රේය ස්වාමීන් වහන්සේ සහ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා මුල් තැනක් ගත් බව මෙහි ලා වෙසෙසින් සඳහන් කළ යුතුය.
පියදාස වැලිකන්නගේ ගේ සහ මගේ මහ ගෙවල් තිබුණේ වැල්ලවත්ත ගල්කිස්ස ඡන්ද කොට්ඨාසයේ ගම් දෙකකය. ඔහු අත්තිඩියේය. මම කළුබෝවිලය. අපේ මන්ත්‍රීවරයා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර්.ද. සිල්වා සහෝදරයාය. පාසල් වියේම අප දෙදෙනා සමසමාජ පක්ෂ තරුණ සමිති සාමාජිකයන් වීම එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විය.
මාත්‍රා වැඩි කොට ගී ගයන ළද ලියන් සිටින ගමක් ලෙස ‘ගිරා’, ‘පරෙවි’ සහ ‘කෝකිල’ යන සන්දේශ කාව්‍ය තුනෙහිම එක සේ වැනුමට ලක් වන අත්තිඩිය ගමෙන් බිහිවුණු කීර්තිමත් පුද්ගල චරිත තුනක් සහ චිත්තාකර්ෂණීය බෞද්ධ කලා නිර්මාණයක් මෑත කල හමුවෙයි. ඉන් එක් කීර්තිමත් පුද්ගල චරිතයක් නම් එකල කිතු රැව් නැංවූ ‘සිංහල කව් කිරුළ’ නම් පුරෝගාමී කවි සගරාවේ කර්තෘ ධුරන්ධර කේ.වී.බී. අදිකාරම් කවීන්ද්‍රයාණෝය. ඔහු දේහත්‍යාගය කරන විට ඔහුගේ එම කවි සඟරාවට සතළිස් වසර
සපිරී තිබුණි.
අදිකාරම් කිවිඳු වනාහි කොළඹ යුගයේ මුල් අවධියට අයත් කවියන්ගේ ගණයට වැටෙන්නෙකි. කෘතහස්ත පුවත්පත්කලාවේදී, නවකතා රචක හා නාට්‍ය රචක අත්තිඩියේ ඩී.වී.සෙනෙවිරත්න සූරීන් සහ එම්. ඩී. ගුණසේන ප්‍රකාශන සමාගමේ හා පොත්හලේ ආදි කර්තෘ එම්.ඩී. (මලගලගේ දොන්) ගුණසේන මහතා අනෙක් කීර්තිමත් චරිත දෙකය. ‘මා ආලය කළ තරුණිය’ නවකතාව සහ ‘සමුද්‍ර දේවී’ නාට්‍යය ඩී.වී.සෙනෙවිරත්න සූරීන්ගේ සුප්‍රකට කෘතීන්ය. කේ.වී.බී.අදිකාරම් කවීන්ද්‍රයාණන් සහ ඩී.වී. සෙනෙවිරත්න සූරීන් අත්තිඩි පුත්‍රයන් ලෙස ප්‍රසිද්ධව සිටියද එම්.ඩී. ගුණසේන මහතා අප්‍රසිද්ධ අත්තිඩි පුත්‍රයෙක් විය. කුඩා කලම ගමෙන් පිටව ගිය ඔහු කොළඹටම සින්න වූ හෙයිනි.
 මහා ලේඛක ජී. බී. සේනානායකයන් ටික කලක් අත්තිඩිය ගමේ පදිංචිව සිටියද ඔහු ඒ ගමේ උරුමක්කාරයෙක් නොවීය.එසේම මෑත අතීතයේ අත්තිඩිය ගමේ නම දනන් තුඩ තුඩ රැව් දීමට වඩාත් බල පෑ ජනානන්දකර බෞද්ධ කලා නිර්මාණය වූකලී වෙසක් උළෙල නිමිත්තෙන් අවුරුදු පතා නොවරදවා එගම මැද බැඳුණු දස දිග පතළ කිතු ගොස ඇති අත්‍යලංකාර අත්තිඩිය වෙසක් තොරණය.
පියදාස වැලිකන්නගේ තම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේද.එම්. ඩී. ගුණසේන මහතාගේ බාල සොහොයුරෙකු වන එම්.ඩී. චන්ද්‍රසේන මහතා විසින් තම ගමේ දරු පරපුර වෙනුවෙන් පිහිටුවන ලද මලගලගේ විද්‍යාලයෙනි. එකල වැලිකන්නගේගේ ඉංග්‍රීසි ගුරුවරයා වූයේ, ශිෂ්‍ය අවධියේ අපගේ සප්තමිත්‍රසංසදයේ එක් සාමාජිකයෙකු වන මගේ සන්මිත්‍ර දයාරත්න රණතුංග සංගීතවේදියාණන්ගේ වැඩිමහල් සොහොයුරු, ගුවන්විදුලි නිවේදක, ප්‍රේමවංශ රණතුංගයන්ය.
ඉන්පසු පියදාස වැලිකන්නගේ දෙහිවල සෙන්ට් මේරිස් විද්‍යාලයට ඇතුළු වූයේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන රිසියෙනි. විභාග සාමර්ථ්‍යයට මෙන්ම කථිකත්වයටද ඔහු තුළ පැවැති සහජ ශූරත්වය එහිදී ඉඳුරා ප්‍රකටව ගියේ එම විදුහලද කීර්තිමත් කරමිනි. භද්‍ර යෞවනය බබළන එම ශිෂ්‍ය අවධියේදී ඔහු ලත් එක්තරා විශිෂ්ට ජයග්‍රහණයක් හුදෙක් සදානුස්මරණීය සිහිවටනයක් පමණක් වූයේ ඇයිද යන්න ඔහුටම විමතියකි.
එය නුගේගොඩ මණ්ඩලයේ පාඨශාලාන්තර කථික තරඟයකි. එය පැවැත්වුණේ කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයේය.එහි විනිශ්චය මණ්ඩල ප්‍රධානියා එකල බුද්ධඝෝෂ විද්‍යාලයේ මුල් ගුරු තනතුර දැරූ සුප්‍රකට පාඨශාලා ග්‍රන්ථ කර්තෘවර පී.රූබන් පීරිස් මහතාය. එම කථික තරඟයේදී දෙහිවල සෙන්ට් මේරීස් විද්‍යාලයේ චතුර ශිෂ්‍ය කථික පියදාස වැලිකන්නගේ අන් සියල්ලන් පරදා පළමු තැන දිනා ගැන්ම කවර අසිරියක්ද! එහි දෙවැනි තැන හිමි වූයේ කුසුමා නම් කුසුම කෝමල නව යොවුන් පාසල් සිසුවියටය.
පසු කලක ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ආණ්ඩුවේ උප ඇමැති කේ. එම්. පී. රාජරත්න මන්ත්‍රීවරයාට ඡන්ද පෙත්සමකින් අහිමි වූ වැලිමඩ පාර්ලිමේන්තු අසුනට පත්වූයේ ඔහුගේ බිරිඳ වූ අර කුසුම කෝමල පාසල් සිසුවිය කුසුමා ය. කලින් මුණ නොගැසුණද නමින් මා වැලිකන්නගේ ගැන දැන සිටියේ ලේක්හවුසියේ ‘ජනතා’ පුවත් පත මගිනි. ඒ අංකුර කෙටිකතාකරුවෙකු වශයෙනි.
ඔහුගේ සහජ දායාදයක් වූ නිර්මාණාත්මක ලේඛන කලා කෞශල්‍යය මෝරා පුබුදු වීමට පළමු සරු තෝතැන්න වූයේ ‘ජනතා’ පුවත්පත යැයි සිතමි. ඒ වන විට ඔහුද මා නමින් දැන සිටියේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු වශයෙනි. පියදාස වැලිකන්නගේ නම් මේ ආධුනික කෙටිකතාකරුවා එකල වෘත්තියෙන් රජයේ ගුරුවරයෙකි. ආධුනික තරුණ ගුරුවරයෙකු වශයෙන් ඔහුගේ දෙපා හා හපුරා කියා පිළිගෙන තිබුණේ මඩකලපු දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් බිමකි.
අනාගතයේ පියදාස වැලිකන්නගේ තුළින් කීර්තිමත් ලේඛකයෙකු පහළ කිරීම සඳහා ඔහුගේ ගුරු ජීවිතයේ ආරම්භයම භාග්‍ය සම්පන්න ලෙස උපස්තම්භක වූ බව ඉඳුරා පැවසිය හැකිය. මක් නිසාද යත් මෙරට පහළ වූ විශිෂ්ට ගණයේ ලේඛකයෙකු විදුහල්පති පදවිය දැරූ පාසලකම ගුරු සේවයේ යෙදීමට නමෝ විත්තියෙන්ම ඔහුට අවස්ථාව අත් පත් වූ හෙයිනි.
එය වූකලී සිංහල සාහිත්‍ය රසික ජනයාගේ තුඩ තුඩ කිතු රැව් රැන්දූ රමණීය ගැදි ගතක් වන ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ ඇතුළු ප්‍රශස්ත පොත් කීපයකම කතු වූ, එසේම, ‘මායා රංජන්’ නම් සුපතළ ආරූඪ නමට මුවාවම පොත් ලියූ, මගලේගොඩ ගමේ මහානාම රාජපක්ෂයන්, වැලිකන්නගේ මුල් ගුරු පත්වීම ලද පාසලේ විදුහල්පතිකම් කළ සොඳුරු සමය විය.එකල ‘සිළුමිණ’ පුවත්පතට කැලෑ කතා ගොතා ලිවීමට මෙන්ම පොතක් ලිවීමටද වැලිකන්නගේට ආවේශ ඉඳුල් කට ගෑවේ ‘මායා රංජන්’ ය.
එකල අලුත පටන් ගත් දිනපතා පළවන ජාතික පුවත්පතක් වූ ‘දිවයින’ කෙරෙහි වැලිකන්නගේගේ සිත ඇදී ගියෙන් ඔහු එහි ඉරිදා පත්තරයට නිතර ලිපි සැපයීමෙහි නිරත විය. ඔහු සමගම එකට නැඟී ආ, උපනිශ්‍රය ඇති තරුණ ලේඛකයන් දෙදෙනෙක් වූ පියසේන කහඳගමයන් හා දෙනගම සිරිවර්ධනයන්ද එදා ඒ අභිනව ‘දිවයින’ පුවත්පතට නිතර ලිපි  සැපයූවන් අතර වූ බව මෙවේලේ මගේ සිහියට නැ⁣ඟේ. පසුව දෙනගම සිරිවර්ධනයෝ නිත්‍ය පුවත්පත් කලාකරුවෙකු වශයෙන් ‘දිවයින’ ඉරිදා පත්තරයේ සේවයට බැඳුණහ.
වාමාංශික පක්ෂවල අසමගියත් ප්‍රගතිශීලී පක්ෂවල බලය ප්‍රතිගාමීන් අතට යෑමත් කරණ කොට ගෙන මහජනතාව අනාථව සිටි සමයක ඔවුන්ගේ හඬ නගන කාහලයක් හැටියට ලංකා කොමියුනිස්ට් පක්ෂය ‘ඇත්ත’ නමින් ජාතික පුවත්පතක් ආරම්භ කළේ 1964 දෙසැම්බර් 14 වැනිදාය. ඒ අවුරුද්දේම ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී බල වේග එක්ව ‘ජනදින’ නමින් නව ජාතික පුවත්පතක් පටන් ගත්තේ තවත් ජනතා කාහලයක් වශයෙනි. එහි ප්‍රධාන කතුවරයා වූයේ කෘතහස්ත පත්‍ර කලාවේදියෙක් වූ පියල් වික්‍රමසිංහයන්ය.
 ‘ජනදින’ ප්‍රකාශන ආයතනයේ පාලක මණ්ඩලයේ ටී.බී. ඉලංගරත්නයන් සහ ආචාර්ය  ඇන්.ඇම්. පෙරේරා සහෝදරයා ද සිටි බව මට මතකය. ‘ජනදින’ ආයතනය මගින් ‘ජනකවි’ නමින් කවි පත්තරයක්ද ඇරඹීම විශේෂ සිද්ධියක් විය. එහි ප්‍රධාන කතුවරයා වූයේ මෙරට රසික ජනතාවගේ තුඩ තුඩ නම කියැවුණු පී.බී. අල්විස් පෙරේරා කිවිඳුන්ය. ‘ජනදින’ පුවත්පතේ ආරම්භයේ පටන්ම එහි කතු මඬුල්ල සමග පියදාස වැලිකන්නගේගේ නිරන්තර පයුරුපාසනය සිදුවූයේ වෘතයක් ලෙසිනි.
1965 පැවති මහා මැතිවරණයෙන් ජය ගෙන හත්හවුල් ආණ්ඩුවක් පිහිටු වූ එක්සත් ජාතික පක්ෂ නායකයන් ‘ඇත්ත’ හා ‘ජනදින’ පුවත්පත් තහනම් කළේ ආණ්ඩු විරෝධී චෝදනාව නගමිනි. තහනම ඉවත් කිරීමෙන් පසු ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මෙහෙයවීමෙන් ‘ඇත්ත’ පත්තරය යළි ඇරඹුවද ‘ජනදින’ පටන් ගැනුණේ මුල් පාලනාධිකාරයේ ප්‍රකාශනයක් ලෙසින් නොවේ. ඉන් පසු ‘ඇත්ත’ මෙන්ම ‘ජනදින’ පත්තරය.ද ස්වාධීන ප්‍රකාශනයක් බවට පත් විය. ලංකා සමසමාජ පක්ෂයට අනුබද්ධව පළ කෙරුණු එහි පාලන බලය උසුලන ලද්දේ එන්. එම් . පෙරේරා සහෝදරයා විසිනි.
පුනර් ප්‍රකාශිත අභිනව ජනදින’ ආරම්භ වූයේ සුප්‍රකට කවියෙකු මෙන්ම කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්ද වූ නිමල් හොරණයන්ගේ කර්තෘත්වයෙනි. බටුවන්දර ගුණවර්ධන කවියා ‘ජනසතිය’ පුවත්පතේ් ප්‍රධාන කතුවරයා විය. ආනන්ද ගුණවර්ධන, ජයසුමන ධර්මබන්ධු සහ දයාරත්න රණේපුර යන පත්‍රකලාවේදීහු ‘ජනදින’ – ‘ජනසතිය’ පුවත්පත්හි උප කතුවරුය. මුලින් මරදානේ ඩ්‍රිබර්ග්ස් ඇව්නිව්හි (දැන් ජයන්ත වීරසේකර මාවත) ඇරඹුණු ‘ජනදින’ කාර්යාලය දෙවැනි වර පටන් ගැනුණේ කොළඹ උසාවිය පාරේ පිහිටි ගොඩනැගිල්ලකය.
පසු කලක මෙරට සුප්‍රකට ගත් කතුවරයෙක් වූ කේ.ජයතිලකයන්ගේ තැපැල් මාර්ගික ඉංග්‍රීසි විදුහලක් වූ ‘ලන්ඩන් විද්‍යාලය’ පිහිටියේ ‘ජනදින’ ගොඩනැඟිල්ලට අල්ලපු කුඩා ගොඩනැගිල්ලකය. එහෙයින් ඔහු හා අප අතර නිරන්තර සුහද සමාගමය සිදුවීම අරුමයක් නොවේ.
තමා හා මුල් ‘ජනදින’ අතර පැවති පයුරුපාසන වෘතය, පියදාස වැලිකන්නගේ, යළි ඇරඹුණු ‘ජනදින’ සමගද නොකඩවා රැක ගෙන ගියේ මහත් වූ බැති සිතිනි. තම ගමට තරමක් දුරින් පිහිටියද එකම ඡන්ද කොට්ඨාසයට අයත් දෙහිවල කවුඩාන පෙදෙස උපන් ගම කොට ගත් ‘ජනදින’ කතුවර නිමල් හොරණ කිවිඳුන්ගේ රසිකයෙකු වීමත් ඔහුගේ සමසමාජ සහෝදර ඇසුරත් වැලිකන්නගේගේ ‘ජනදින’ බැතිසිතට මහත් සේ පිටිවහල් වෙන්නට ඇතුවා නිසැකය.
බොහෝ සති අන්තවල ‘ජනදින’ කාර්යාලයට පැමිණ එහි කතු මඬුල්ලේ සාමාජික සහෝදරයන් සමග සාද සාමිචීයෙහි නිරතවීම ඉන් පසු ඔහුගේ අභිනව වෘතය බවට පත් විය. මේ වන විට වැලිකන්නගේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිට මහනුවර දිස්ත්‍රික්කයට මාරුවක් ලබා පැමිණ සිටීමේ විපුල පලයක් ලෙස එය හැඳින්විය හැකිය.
හය වැනි දශකයේදී වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග වෙනුවෙන් පළවුණු ‘ජනදින’ – ‘ජනසතිය’ ජාතික පුවත්පත් දෙකත් මාක්ස්වාදය හිසින් ගත් පියදාස වැලිකන්නගේත් අතර සමීප පයුරුපාසනයක් හටගැන්ම කවර අරුමයක්ද?
කලින් අන්‍යෝන්‍ය වශයෙන් නමින් පමණක් දැන සිටි අප දෙදෙනා ‘ජනදින’ – ‘ජන සතිය’ නිසා එකට මුණ ගැසීමෙන් ජන්ම ලාභය ලැබූ මිත්‍ර සන්ථවය වනාහි ශුද්ධ සාහිත්‍ය ප්‍රේමය සහ බද්ධ සමසමාජ දේශපාලනය කරණ කොට ගෙන සුහුඹුල්ව වැඩී ගොස් කුළු ගැන්වී ගියේ දෙදෙනාම යාවජීව කුලුපගයන් බවට පත්වීමෙනි.
විශ්වවිද්‍යාලයෙන් පිට වුණු මා එකල ‘ජනදින’ – ‘ජනසතිය’ පුවත්පත්වල විචිත්‍රාංග කතු තනතුර දැරීමේ ඉෂ්ට පලයක් ලෙස එය දකිමි.
මා ‘ජනදින’ – ‘ජන සතිය’ පුවත්පත්හි විචිත්‍රාංග කතුවරයා ලෙස සේවයෙහි නිරතව සිටි එසමයේ එක්තරා දිනක තම සුපුරුදු ඉක්මන් ගමනින් මගේ මේසය ළඟට පැමිණ සුපුරුදු කෝල සිනාව පාමින් නවකතාවක අත් පිටපතක් මගේ අතට දුන් වැලිකන්නගේ එය කියවා මගේ අදහස් පළ කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය.
ඔහුගේ නෑඹුල් නවකතාව වූ එය ඔහු අතින් ලියැවී තිබුණේ එකල නාඹර තරුණ තරුණියන්ගේ හදවත් කුල්මත් කළ කරුණාසේන ජයලතුන්ගේ ‘ගොළු හදවත’ නවකතාවේ රසාවේශයෙන් බැව් මට හැඟුණි. එම යොවුන් ප්‍රේම කතාව ‘ජන සතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළ කිරීමට මා විසින් යෝජනා කරන ලද්දේ එබැවිනි.
ඉන් පසු එය ‘වලාකුළින් වැසුණු සඳක්’ යන නමින් සෑම ඉරිදාවකම ‘ජන සතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණේ එහි එන චරිත වෙනුවෙන් පෙනී සිටින රංගන ශිල්පීන් විසින් නිරූපිත එහි ඇතැම් අවස්ථා දැක්වෙන ඡායාරූපද සහිතවය. සුමනා අමරසිංහ, බන්දුල විතානගේ, ආනන්ද ගුණවර්ධන සහ මාද ඒ සඳහා සහභාගි වූ අයුරු මෙවේලේ මගේ සිහියට නැඟෙයි. පසු කලක සුප්‍රකට චිත්‍රපටි නිළියක් වූ සුමනාත් ශේක්ෂ්පියර් නාට්‍ය කලාව පිළිබඳ හසළ දැනුමක් ඇති නාට්‍යවේදියෙකු මෙන්ම ගුවන්විදුලි – රූපවාහිනි මාධ්‍ය විද්වතෙක් වූ බන්දුලත් කෘතහස්ත පත්‍රකලාවේදියෙක් වූ ආනන්දත් අද කීර්තිශේෂභාවගත යෝය.
පියදාස වැලිකන්නගේගේ නෑඹුල් නවකතාව වූ ‘වලාකුළින් වැසුණු සඳ ක්’ 1972 දී පළමු වරට ‘එක් අනුවේදනීය කතාවක්’ නමින් ග්‍රන්ථයක් ලෙස පළ කරන ලද්දේ ගොඩගේ ප්‍රකාශකයන් විසිනි. ‘එක් අනුවේදනීය කතාවක්’ වූකලී ඔහුගේ නෑඹුල් නවකතාව මෙන්ම මුද්‍රණයෙන් ප්‍රකාශිත නෑඹුල් සාහිත්‍ය ග්‍රන්ථයද විය. 1998 වසරේ එහි දෙවැනි මුද්‍රණය පළ කරන විට වැලිකන්නගේ නවකතා සතරක් කෙටිකතා සංග්‍රහ දෙකක් සහ ළමා කතා පොත් තුනක් සිංහල සාහිත්‍ය වංශයට දායාද කළ , එසේම, දෙවරක් රාජ්‍ය සම්මානිත, ලේඛක රත්නයක් බවට පත්ව සිටියේය.
ඔහුගේ පළමු සාහිත්‍ය නිර්මාණය වූ ‘එක් අනුවේදනීය කතාවක්’ නවකතාවේ දෙවැනි මුද්‍රණය සඳහා මවිසින් ලියන ලද පසු කවර වදනෙහි ලා මෙසේ පැවසුවෙමි.
“පියදාස වැලිකන්නගේ ලේඛකයෙකු වශයෙන් ප්‍රගතිශීලීය. සාහිත්‍ය කරුවෙකු වශයෙන් නිර්මාණශීලීය. ඔහුගේ ඒ ගුණ දෙක පිළිබිඹු කළ පළමු කැටපත වූයේ ඔහුගේ පළමු නිර්මාණාත්මක කෘතිය වූ ‘එක් අනුවේදනීය කතාවක්’ නම් පළමු නවකතාවය.”
පියදාස වැලිකන්නගේ ‘ජනදින’ – ‘ජනසතිය’ කර්තෘ මණ්ඩල සහෝදර පිරිස සමග නිරන්තර
පයුරුපාසනයෙහි යෙදෙන සමයේ අප එකට හිඳ ලද රසාත්මක අත්දැකීමක් මෙවේලේ මගේ මතකයෙන් මතුවන්නේ ඉබේය.
එය ‘ඇට්හෝම්’ ගෙදරකි. මනාල යුවළගේ දෙවෙනි ගමන නිමිත්තෙනි. ‘ජනදින’ ආයතනයේ පාලක මණ්ඩලය, කර්තෘ මණ්ඩලය ඇතුළු සියලුම අංශවල සහෝදරයෝ ‘ඇට්හෝමි’ ගෙදරය. ‘ජනදින’ මුද්‍රණාලයේ සේවය කළ කන්දයියා සහෝදරයා මනමාලයා වූ හෙයිනි. සුරා පිරූ විත් සුරතින් අරන් මධු මද මුදිතව උන් අප සමග සුරා වරමින් අල්ලාප සල්ලාප රස උරමින් උන් ‘ජනකවි’ පතේ කතුවර පී . බී . අල්විස් පෙරේරා කිවිඳුන් අබියසට එක් වරම වන් මනමාලයාණන් ඔහුගේ දෑත් දෑතින් ගනිමින් ඇරයුම් කර සිටියේ හිටිවන කවියකටය. සුධා ධවල ඇඳුමින් සැරසී උන් ආරෝහ පරිණාහ සම්පත්තියෙන් පිරිපුන් රුවක් අසුනින් නැගී සිටියි. කළුවන් කළු මුහුණ සුදුවන් සිනාවෙන් එළිය වෙයි.
ඒ විසල් රුව දකිත්ම මගේ මතකය පිබිදෙයි. අතීත ජවනිකාවක් සිතේ මැවෙයි. ඒ වනාහි ඈත දවසක රසික දන මන පිනවමින් මුළු දුන් හිටිවන කවි මඩුවකි. මුලසුන හොබවනුයේ කළුවන් කළු විසල් රුවින් යුත් පී . බී . අල්විස් පෙරේරා සොඳුරු කිවිසුරුය. බොරලැස්ගමුවේ ජී . එච් .පෙරේරා පිය මහා කිවිගේ දෙටු පුත් බොරලැස්ගමුවේ විමලසිරි පෙරේරා කිවියා අල්විස් පෙරේරා කිවිඳුන්ගෙන් කවි පැනයක් අසයි.
පැනයක් අසමි පිළිතුරු දෙනවද ඊට තාරවලින් නාලද ඔබ කළු පාට
වහා නැගී සිටි දෙටු කිවිඳු මුවින් හිටිවනම පිළිතුරුකවියක් ගිලිහෙයි.
වෙණුත් කළුයි වෙණුගේ කොතඹුවත් කළුයි
රිදී ඉරක් බබළන වැහි
කළුත් කළුයි
කළුවර ගහේ මැද ඇති
අරටුවත් කළුයි
මමත් කළුයි මා ලද
කවිකමත් කලුයි
( ‘වෙණු’ යනු ‘විෂ්ණු’ යි. ‘කොතඹුව’ යනු ඔහු ළයෙහි පැලඳි මාණික්‍යයයි. මෙහි ‘කලු’ යන්න යෙදී ඇත්තේ ‘සිත්කලු’ යන අරුතෙහිය. ‘ල’ යන්නේ වෙනස එබැවිනි.)
ඒ අතීත කවි මඩුවෙන් වහා ගිලිහුණු මා යළි පතිත වූයේ ‘ඇට් හෝමි’ ගෙදරටය. කන්දයියා සහෝදරයා වෙනුවෙන් තම සිත්හි උපන් කවිය අල්විස් පෙරේරා කිවිඳුන්ගේ මුවින් පහළ වන්නට පෙර කළ යුතු දේ වැලිකන්නගේත් මමත් දයාරත්න රණේපුරත් ආනන්ද ගුණවර්ධනත් රහසේ කතා කර ගත්තෙමු.
අල්විස් පෙරේරා කිවිඳුන්ගේ ගැඹුරු මධුර රසාලිප්ත ලයාන්විත ස්වරයෙන් තම පැදියේ පදයෙන් පදය විරාම තබමින්උපදින්නේ මුළු සබාවම පුබුදමිනි. අප හතර දෙනා එදා වෙන වෙනම මතකයේ අලවා ගත් එම පද හතර මෙදා මම ඔබේ මතකයේ අලවන්නේ දැනුදු මුළු හදින්ම පිබිදෙමිනි.
සරස්වතිය ගෙන් අරගෙන බොහෝ
වරම්
ආවෙමි වනක්කම් එප්පුඩි
සහෝදරම්
ආඬවනේ කන්දය්යෝ මෙහේ
තරම්
දෑ සමගියක් එංගේරිකි අගේ
කරම්
අනුන්ගේ දුකෙහිදී නොසැලෙන සිතක් ඇති කතාකරුවා ගල් පිළිමයක් හා සමාන යැයි සිතේ. පියදාස වැලිකන්නගේ අතින් බිහිවුණු කතා මගින් ඔහු අප හදවත් තුළ රඳවන්නේ මිනිස් ගුණ දහම්හි අගයයි. මෙතෙක් ලොව පහළව ඇති සියලුම අසමසම සාහිත්‍ය කරුවන්ගේ උත්තම පරමාර්ථය වූයේ එයම නොවේද? මගේ යාවජීව සන්මිත්‍ර පියදාස වැලිකන්නගේ සතු ආධ්‍යාත්මික ගැඹුර ඔහුගේ කතා කලාවේ ලේ මස් නහර වැනිය. ඔහු කිසි සේත් ගල් පිළිමයක් වැනි කතා කරුවෙක් නොවේ. මා ඔහු දකින්නේ මඳ නලිනිදු සැලෙන වීණා තතක් වන් හදක් උරුම කොට ගත් උදාර කතා කරුවෙකු වශයෙනි. ඔහුගේ එම වීණා තත වන් හද මා පසක් විසින් දුටු මොහොතක් ඉත සිතින් සමරමින් මගේ මේ හිත මිතු වත පතිත පත ගෙතුම මෙතෙකින් නවතනු මැනවැයි හඟිමි.
නව වැනි දශකයේ පමණ අධ්‍යාපන අමාත්‍යාංශයේ සිංහල භාෂා ඒකකය මගින් දිවයින පුරා පළාත් මට්ටමෙන් සිංහල ගුරු පුහුණු සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුණේ එහි අධ්‍යක්ෂ එම්.ජී.ටී. නවරත්නයන්ගේ මෙහෙයවීමෙනි. පියදාස වැලිකන්නගේ සහ මම එහි නිත්‍ය දේශකයෝ වීමු. නැගෙනහිර පළාතේ පැවති සම්මන්ත්‍රණයට සහභාගී වීම සඳහා අම්පාරට ගිය වේලේ විවේක ලද මොහොතක වැලිකන්නගේ මට ආරාධනාවක් කළේය. ඒ ඔහු ඈත කලක ගුරු සේවයේ යෙදී සිටි ඉඟිනියාගල වාවින්න පාසල  බැහැදැකීමට යළි එහි යාමටය.
කුඩා හේනක් වැනි පාසල් වත්තකි. සරු ගහ කොළ කිසිවක් එහි නැත. පරිසරය ශුෂ්කය. කුඩා ගොඩනැගිලි දෙකකි .දරුවන්ගේ සනීප පෙනුමක් නැත. ගවුම් පොඩි හා කලිසම් පොඩි දිළිඳුය. ගුරුවරු කිහිප දෙනෙකි.
වැලිකන්නගේගේ රුව දුටු හැටියේ එක් ගුරුවරයෙක් පැමිණ ඔහුට පසඟ පිහිටුවා වැන්දේය. ඒ ඔහුගේ අතීත ශිෂ්‍යයෙකි. ඔහු දැන් එහි විදුහල්පතිය.
ටික වේලාවකින් මා කැඳවා ගෙන පාසල් වත්ත පහළට ගිය වැලිකන්නගේ නැවතුණේ කැඩී බිඳී ගිය කොන්ක්‍රීට් බැම්මක් ළඟය. එහි වාඩි වුණු ඔහු මාද එහි පැත්තක හිඳුවා ගෙන ටික වේලාවක් පාසල් වත්ත අවටත් පාසල් ගොඩනැගිල්ල දෙසත් බලා සිට සුසුමක් හෙළීය.
   “මෙහෙ ඉන්න කාලෙ මං මෙතන ඉඳ ගෙන බලා ඉන්නෙ කොයි වෙලාවෙ තැපැල් කාරයගෙ බෙල් එක ඇහෙයිද කියල. එතකොට මං ආදරේ කරන කාලෙ. එයා එතකොටත් ඉගෙන ගන්නව. එයාගෙන් ලියුමක් එන කං තමයි බලා ඉන්නෙ. දැනුත් ඒ බෙල් එක ඇහෙනව බං. ඒ කාලෙ ආපහු එනව නං!”
Social Sharing
අවකාශය නවතම