උඩදියළුම අලි කෙලිල්ල සහ බඩකඩිත්තු අධ්‍යාපනය…!

-කේ. සංජීව-

‘උඩදියළුම කෑම් කරපු යුවලකට අලියෙක් ගහලා කෙල්ල මැරිලා’ අද බුකිය හොල්ලපු පුවත ඒක. මට මේක ආරංචි වුණාම මේ රට මොන කරුම රටක් ද කියන එක තමයි මුලින්ම මතක් වුණේ.

රට වටේම මුහුද හැමතැනම ගංගා වැව් අමුණු ඒත් දියේ ගිලිලා කොච්චර මැරෙනවද? ප්‍රධානම හේතුව පීනන්න දන්නේ නැතිකම. ආරක්ෂිතව පීනලා ආතල් එක ගන්න ඉගනගෙන නැතිකම. ජල මූලාශ්‍ර ගැන තියෙන නොදන්නාකම. මේ නොදන්නා කම නිසාම ට්‍රිප් එකක් ගියත් දන්න එකාටත් බැහැලා නාන්න හම්බවෙන්නේ නෑ කංකරච්චලය නැතිව.

මේ වගේම තමයි ලංකාවේ හැමතැනම වගේ කැලේ කොලේ තමයි තියෙන්නේ. අලි සහ කොටි වළස්සු ජීවත් වෙන සීමා මායිම් අපි නොදන්නවා නම් ඒක අපේ අවුලක්. මුලින්ම කතාවට කියන්නේ අපි ඉතිහාසය භූගෝලය දැනගෙන ඉන්න ඕනී කියලා. ඉතිහාසය කන්නද කීවත් භූගෝලය දැනගෙන ඉන්න එක ජීවිතේ ට හොඳයි.

කඳවුරු ගහනවා කියන්නේ කඳවුරු යනවා කියන්නේ සංස්කෘතියක්. ඇත්තටම ඒක බටහිරින් ආපු එකක්. කතාව තියෙන්නේ එතන නෙවෙයි බටහිරයන්ට පස්සේ කැලෙන් එළියට ආපු අපිට කැලේ පුරුදු නැතිවීම තමයි කතාව. කෑම්පින් කරන්න ඉගන ගන්න ඕනී. ගොඩක් දේවල් තියෙනවා ඒකේ ඉගනගන්න. පාසල ඒවා උගන්වන්න ඕනී. පාසල උගන්වන්නේ නැත්තං දෙමාපියන් ඉන්ටර්නෙට් බලලා හරි ඒවා තමන්ගේ ළමයින්ට කියාදෙන්න ඕනී.

එහෙම බැරිනම් ඔය බටහිර කෑම්පින් කෑම්පින් කියලා සල්ලි දහස් ගනන් වියදම් කරගෙන නහින්න අවශ්‍ය නෑ. සති අන්තයක් අල්ලලා උඩවළව කැලේ අස්සේ තියෙන හරක්පට්ටි තැන්නට, කුමන දිහා බලාගෙන ජීවත් වෙන පානමට, මොනරාගල මාළිගාවිලින් හැරිලා නියදැල්ලට, සියඹලාණ්ඩුවෙන් හැරිලා කොටියාගලට, අක්කරෙයිපත්තුවට මෙහායින් කංචියට, දියළුමෙන් බැහැලා කොස්ලන්දට ගියානම් මේ ගම්තුලාන වල කැලේ කොලේ ගැන හොඳට දන්න මිනිස්සු ඉන්නවා. සුන්දර කැලෑකාරයෝ. ඒ මනුස්සයෙක් අල්ලගෙන කැලේට මුහු වුණානම් සතා සතුන් බලලා ගහකොළ විඳලා කෑම්පින් කෙසේ වුනත් අලියා ළඟට ගිහිං නිරුපද්‍රිතව එනහැටි ඉගන ගන්න තිබුණා.

එහෙම ගිහිං තිබුණනම් ඔය වගේ මරණ සිදුවෙන්න විදිහක් නෑ. උඩදියළුම කියලා කියන්නේ අලි විමානේ. නාන්න පීනන්න අයිස් කැටේට දියකඳුරවල් ස්භාවික නාන තටාක වගේම තමයි අලිත් හැමතැනම. එහෙම සීමාවල හැමතැනම කඳවුරු ගහන්න බෑ. ගහනවානම් නිදියන්න බලාගෙන ගැහුවොත් අනතුරු එන්න පුලුවන්. ත්‍රාසය බීතිය විඳගෙන ඇහැරගෙන ඉදලා අලි බලන්න වගේ දේවල් වලටනම් ඒක හොඳයි. ඒකටත් ඉතිං සූදානම් සරීරය තම්බි වැල්ලෙත් පීනුවා කියන කතාව අනුගමනය කරන්න වෙනවා.

කොහොම වුණත් කැලේට ගියාම අලියට කොටියට වලහට ඕනී විදිහට ඉන්න වෙනවා. එහෙම නැත්තං ජීවිතේ අනතුරේ. විශේෂයෙන් ලංකාවේ මිනිස් ක්‍රියාකාරකම් නිසාම වියරු වැටුණ අලි ඉන්නවා. මූනිස්සම් පන්සීයක් දාහක් එක්ක ජීවත් වෙන අලි ඕනී තරම් ඒනිසා පරීස්සම තියාගන්න වෙනවා. මේ වගේ විශේෂ අලි ඇරෙන්න අනෙක් අලීන්ගෙන් කරදරයක් නෑ. ඒත් මිනිස් වාසයට බය නැතුව ඇවිත් මෙහෙම සෙල්ලම් දාන්නෙත් මේ කියන විශේෂ අලීන්ම තමයි.
කංචිවල අන්නන් එක්ක තමයි මම මුලින්ම අලි කැලේක දඩයමේ ගියේ. දුරාවාරේ හිටිගමන් ක්ෂණිකව පත්තුවෙලා නිවිලා යන ලයිට් බටේ ඇරෙන්න එළියක් නෑ. කනෙන් තමයි ඇවිදින්න තියෙන්නේ. ඒ කාලේ වෙනකොට රත්නපුරේ දී වල් ඌරෝ හොයාගෙන රෑට රබර්වතුවල බඩවැටිවල වැටිලා පෙරළිලා ඇවිදලා ඒ එක්ස්පීරියන්ස් එක එක්ක මේක අවුලක් වුණේ නෑ. ඒත් ජීවිතේ පළවෙනි වතාවට අලි සුළබ කැලේකින් කෑලි කපන කරුවලක එන ශබ්ද ටික ටික වේලාවක් යනකම් දරාගන්න අමාරුයි. ඒක තමයි ත්‍රාසය. ඒක භීතිය. ඒකත් ඉතිං ජීවිත අත්දැකීමක්. ඒක ටික වේලාවකින් සාමාන්‍යකරණය වෙන අත්දැකීමක්.
ඇත්තටම මිනිස්සු තමන්ගේ දරුවන්ට දඩයමේ යන්න රෑක කැලේක යන්න මාළු බාන්න පීනන්න කඳු නඟින්න ගස් නඟින්න උගන්වන්න ඕනී. ලංකාවේ අධ්‍යාපනය අස්සේ මේවා නැතිවුණාට ලෝකේ අනික් රටවල්වල මේවා උගන්වනවා.

මම මීට සෑහෙන්න කාලෙකට කලින් මගේ ජර්මන් මිත්‍රයෙක් එක්ක ඩෙල්ෆ් ගියා. ඒ දූපතේ ශුෂ්ක කාන්තාර පැත්තට ගියාට පස්සේ අපිට ආපහු එන්න පාර හොයාගන්න බැරිවුණ. ඉර මූදේ හැංගුනාට පස්සේ අපි පල්ලියට රිංගල නිදාගත්තා. ඒත් බඩගිනියි. ටිකක් දුරින් රූස්ස පොල්ගස් මණ්ඩියක් තියෙනවා. ජර්මන් මිත්‍රයා සපත්තු දාගෙන මේ ගහක නැඟලා කුරුම්බා කැඩුවා. ඒක මට හිතාගන්න බැරි දෙයක්. මේ යකා බිම යන්න වගේ පොල් ගහේ ගියේ. ඇහුවාම ඌ කියපු කතාව තමයි මේවා ඉගනගත්තේ ඉස්කෝලේ පරිසර කඳවුරු වලින් බාලදක්ෂ කඳවුරු වලින් කියලා. මෙන්න මේක තමයි අපේ රටේ අධ්‍යාපනයේ නැතිම දේ.
කඳු නැඟීම කැලෑව පාර සොයාගැනීම රෑට මහා කැලෑවක කෑම්පින් කිරීම මේවා අභියෝග. මේ අභියෝග ජයගත්තාම තමයි ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු මිනිස්සුන්ට ඇතිවෙන්නේ. ඒ විතරක් නෙවෙයි ජීවිතේ ගැන ආසා හිතෙන්නේ මේවගේ ක්‍රියාකාරකම් නිසා. ඒත් අපේ පාසල් කටපාඩම් කරනවා විතරයි. තව අවුරුද්දකට සැරයක් කතරගම දේවාලේ බලන්න යයි.

ඇත්තටම පොඩි ළමයෙක්ට කැලයක් අස්සට ගියාම කොච්චර දේවල් ඉගන ගන්න තියෙයිද? කොච්චර දේවල් නිරීක්ෂණය කරන්න තියෙයිද? ඒවා ජීවිතේට කොච්චර දේවල් ගෙනත් දෙනවද? ඒත් මේ කරුම අධ්‍යාපනය අපේ ළමයින්ගෙන් ඒ සතුට ඒ දැනුම ඒ බලාපොරොත්තුව උදුරගෙන ඉවරයි. ඒ දැනුම උදුරාගැනීම නැතිනම් ඒ දැනුමින් දුරස්ථ කිරීමේ කරුමයට තමයි මේ යුවල උඩදියළුමදී උරුමය ලබාගන්නේ.

මේක නොනතරම් ලස්සන රටක් ද? අඩුම ඒ ලස්සන විඳින්න උගන්වන්න අපේ අධ්‍යාපනයට බැරිවෙලා තිබෙනවා. ඒනිසා අපි දැන්වත් මේ කරුම අධ්‍යාපනයෙන් ගැලවෙන්න අවශ්‍යයි. තමන්ගෙ ළමා කාලයේදී අහසේ පායන තරුරටා නිරීක්ෂණය කරන්න ඉගනගන්න දරුවෙක්ට චාන්ස් එකක් නැතිනම් මේ අධ්‍යාපනය අස්සේ ඒ අධ්‍යාපනය මොකද්ද? ඒක නිකං විකාරයක් විතරයි..!!

Social Sharing
නවතම විශේෂාංග