ලංකාව හා අසල්වැසියෝ

ලෝක බැංකු වෙබ් අඩවියෙහි 1960 වසරේ සිට රට රටවල ඒක පුද්ගල ආදායම් පිළිබඳ දත්ත තිබෙනවා. 1960 වසර සඳහා දත්ත තිබෙන ආසියානු රටවල් 15ක් අතරින් ලංකාව සිටින්නේ 7වන තැනයි. ලංකාවට ඉහළින් සිටින රටවල් අතරින් ලංකාව නිදහස ලබද්දී ලංකාවට පහළින් සිටි රටක් ඇත්නම් ඒ දකුණු කොරියාව පමණයි.

1960
ජපානය- 475.3
සිංගප්පූරුව- 428.1
හොංකොං- 424.1
පිලිපීනය- 263.8
මැලේසියාව- 244.6
දකුණු කොරියාව- 158.3
ශ්‍රී ලංකාව- 142.8
කාම්බෝජය- 115.0
තායිලන්තය- 103.8
චීනය- 89.5
බංග්ලාදේශය- 84.8
ඉන්දියාව- 83.0
පකිස්ථානය- 81.6
ඇෆ්ඝනිස්තානය- 62.4
නේපාලය- 50.0

කෙසේ වුවත්, 1978 වසර වන විට තායිලන්තය මෙන්ම ඉන්දියාව, පකිස්ථානය හා ඇෆ්ඝනිස්තානයද ලංකාව පසු කර ඉදිරියට ගිහින්. දැන් චීනයත් ලංකාව පසු කර ගිහින්. හැබැයි 2021 වන විට ලංකාව නැවතත් ඉන්දියාව, පකිස්ථානය මෙන්ම ඇෆ්ඝනිස්තානයද පසුකර ඉදිරියට ගිහින්. ඒ විතරක් නෙමෙයි පිලිපීනයද පසු කරලා.

2021
සිංගප්පූරුව- 72,794.0
හොංකොං- 49,800.5
ජපානය- 39,312.7
දකුණු කොරියාව- 34,997.8
චීනය- 12,556.3
මැලේසියාව- 11,109.3
තායිලන්තය- 7,066.2
ශ්‍රී ලංකාව- 4,013.7
පිලිපීනය- 3,460.5
බංග්ලාදේශය- 2,457.9
ඉන්දියාව- 2,256.6
කාම්බෝජය- 1,625.2
පකිස්ථානය- 1,505.0
නේපාලය- 1,208.2
ඇෆ්ඝනිස්තානය- 368.8

එකම කාලයක නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය හා ලංකාව යන රටවල් තුනම මුල් කාලයේ අනුගමනය කළේ සමාජවාදයට බර වූ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක්. ලංකාව වැනි කුඩා රටකට සාපේක්ෂව ඉන්දියාව වැනි විශාල රටකට සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක හානිය අඩුයි. ඒ නිසා, දෙරටම සංවෘත ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දී ලංකාව ඉන්දියාවට සාපේක්ෂව ටිකෙන් ටික පස්සට ගියා (එකම හේතුව නොවුනත්). 1978 වන විට ඒක පුද්ගල ආදායම අනුව ඉන්දියාව මෙන්ම පකිස්ථානයද ලංකාවට වඩා තරමක් ඉදිරියෙන් සිටියා.

1978
ශ්‍රී ලංකාව – 188.1
ඉන්දියාව – 206.1
පකිස්ථානය – 238.2

ලංකාව ඉන්දියාවට හා පකිස්ථානයට පෙර, 1977දී, ආර්ථිකය සාපේක්ෂව නිදහස් කළා. ඒ එක්කම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාව හා පකිස්ථානය පසු කර වේගයෙන් වර්ධනය වුනා. 1998 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඉන්දියාවේ හා පකිස්ථානයේ එම අගයයන් මෙන් දෙගුණයක් වෙලා.

1998
ශ්‍රී ලංකාව – 850.8
ඉන්දියාව – 412.5
පකිස්ථානය – 427.5

ලංකාවට වඩා වසර 15කට පමණ පසුව වුවත්, ඉන්දියාවද ආර්ථිකය විවෘත කළා, ඉන්පසුව ඉන්දියාවද ලංකාවේ වේගයෙන්ම වර්ධනය වුනා. එහෙත්, ඉන්දියාවට වඩා වසර පහළොවක් ඉක්මන් වීමේ වාසිය තවමත් ලංකාවට තිබෙනවා.

ඉන්දියාවේ ආර්ථිකය විවෘත කළ කාලයේම පකිස්ථානයේ ආර්ථිකයද විවෘත කළත් වසර දෙක තුනකින් පසුව බෙනාසීර් භූතෝ විසින් නැවතත් එම ප්‍රතිපත්තිය ආපසු හරවනු ලැබුවා. පකිස්ථාන ආර්ථිකයේ ඉන්දියාව හා සැසඳිය හැකි වෙනස්කම් සිදු වුනේ තවත් වසර දහයකට පමණ පසුවයි. හැත්තෑ හතේදී ලංකාවේ සිදු වුනු වෙනස්කම් ඉන්දියාව තුළ සිදු වුනේ අනූ එකේදී. පකිස්ථානයේනම් දෙදාහේදී. රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් සැසඳූ විට මේ ප්‍රමාද වීමේ අවාසිය හොඳින්ම දකින්න පුළුවන්. වඩා වැදගත් හැකි ඉක්මණින් අවදි වී ගමන පටන් ගන්න එකයි. නමුත්, එහෙම කළත්, කලින්ම ගමන පටන් ගත් අයව අල්ලන එක ලේසි නැහැ.
(සියලුම ගණන් ඇමරිකන් ඩොලර් වලින්)

#ඉකොනොමැට්ටා

Social Sharing
ආර්ථික නවතම