රොඩී ජන පුරාණය ගැන අංශුමාත්‍රයක්…!

 

ශ්‍රී ලංකාවෙ රොඩී ජනතාව ගේ ඉතිහාසය ගැන පැහැදිලි සාධක අප්‍රකට නමුත් ඔවුන් ගැන මේ වෙද්දි පර්යේෂණ ගණනාවක් ම වෙලා තියෙනවා. දැනට මම කියවා ඇති පොත්වලින් මට දැකගන්න ලැබුණු විශිෂ්ට පර්යේෂණයක් කෙරිලා තිබුණෙ සම්මානිත මානව විද්‍යාඥයෙක් ‍වන එම්. ඩී. රාඝවන් ගෙන්. ඔහු ගෙ Handsome Beggars: The Story of the Ceylon Rodiya කෘතිය චන්ද්‍ර ශ්‍රී රණසිංහ සූරීන් සිංහලයටත් පරිවර්තනය කරලා තියෙනවා. ඒ ‘රත්නවල්ලිය‍ගේ දරුවෝ: රොඩී ජන පුරාණය’ නමින්. මේ හැර රැල්ෆ් පීරිස්, බ්‍රයිස් රයන් වගේ අයගේ කෘතිවලිනුත් යම් යම් කාරණා දැනගන්න පුළුවන්.

මේ ජනතාව ගැන 1681 දි රොබට් නොක්ස් ඉදිරිපත් කරන විස්තරය හැරුණම ඔවුන්ගෙ ආරම්භය ගැන ඔවුන් අතර ම කථාන්දර තියෙනවා. හිඳවෙල කුප්පායමේ වයස්ගත හුලවාලියකු සඳහන් කරපු විස්තරය, කොස්කොටේ රොඩී ජනයා අතර තියෙන විස්තය ආදි තොරතුරු රාඝවන් තමන්ගේ පොතේ සටහන් කරනවා. මේ ගැන තියෙන එක කතාවක් මෙහෙම යි.

පරාක්‍රමබාහු රජතුමා මස් අනුභවයට ලොල් කෙනෙක්ලු. දවසක් රජ වාසලේ මස් නො තිබුණු නිසාත්, වෙනත් තැනකින් මස් සොයාගැනීමට නොහැකි වුණු නිසාත් රජතුමා ගෙ රත්නාවලී නමැති දූ කුමරිය වැද්දෙකුට අණ කරනවා මිනී මස් හෝ හොයාගෙන එන්න කියලා. රජ වාසලේ සේවය කරපු එක් කින්නරයකුට කුඩා පුතෙක් හිටියා. වැද්දා මේ කුඩා දරුවා ව ඝාතනය කරලා මස් අරගෙන ගිහින් මුළුතැන්ගෙට දෙනවා. අරක්කැමියා රජතුමාට මස් සකස් කරලා පිළිගන්වනවා. අනතුරු ව කින්නරයාටත් කෑමට බත් සූදානම් කරලා දෙනවා. කින්නරයා තමන්ට ලැබුණු ආහාරය අනුභව කරන්න යද්දි දකිනවා බත්පතේ තමන්ගෙ පුතාගෙ ඇඟිල්ලක් තියෙන බව. ඔහු කරුණු සොයා බලද්දි දැනගන්නවා තමන්ගෙ පුතා ව ඝාතනය කරල යි මේ මස් සකස් කරලා තියෙන්නෙ කියලා. ඔහු මේ ගැන රජතුමාට පැමිණිලි කරනවා. මේ සිදුවීම ගැන හොයා බලපු රජතුමා මස් සකස් කළ වැද්දාට මරණ දඬුවම පමුණුවනවා. තමන්ගෙ දියණිය මාළිගාව අමදිමින් හිටි රොඩ්ඩාට පාවා දී ඔවුන් සඳ්හට ම කුල හීනයක් බවට පත් කරනවා.

මේ කතාව ම සුළු සුළු වෙනස්කම් සහිත ව තවත් තැන්වල තිබුණත් බොහෝ කථාන්දරවල මේ මිනී මස් සම්බන්ධ විස්තරය දැකගන්න පුළුවන්. බුද්ධරක්ෂිත හාමුදුරුවො ලියපු ජනවංශයෙ රොඩී නාමය ගැන සඳහන් වෙලා තියෙන්නෙ වෙනස් ම විදියකට. මදුරෑන් අඹරන ජනතාවට රොඩී කියන බව යි උන්වහන්සේ සටහන් කරන්නෙ. කුෂ්ට, රෝගාදිය නිසා නෑයන් විසින් වනයේ අතෑරපු අය රෝග සන්සිඳුනාම දැලි රැවුල් වැවී, ඇඳ සිටි වස්ත්‍ර කිළුටු ව රෙදි වැරැලි ගෙතී ගම් නියම්ගම්වල භික්ෂාවෙන් ජීවත් වෙනවා.

විරූපී ව, බ්‍රහ්ම භාවයකින් තොර ව අපිරිසිදු ව ජීවත් වෙන මේ අය ව ‘රෝග අධිකයෝ අධර්මිෂ්ටයෝ’ ආදි වශයෙන් කියමින් ඥාතීන් විසින් අතාරිනවා. වනයේ පට කපා සම් ගෙන මදු රෑන් ඇඹැරූ පුරුද්දට මේ පිරිස් මදු රෑන් ලණු අඹරමින් ජීවත් වෙනවා. කාලයක් යද්දි ‘රෝග නාමය’ සහ ‘දැඩි නාමය’ එකතු ව ‘රොඩී’ නමින් ප්‍රකට වෙනවා. ජනවංශය මෙහෙමත් කියනවා.

“මෙසේ පැමිණි අංග විකාර ආදී රෝග නාමයෙන් නමින් වෙන් කළත් බ්‍රහ්ම ගෘහපති ක්ෂුද්‍ර විශේෂයකි”

රැල්ෆ් පීරිස් කියන විදියට ‘රොඩියා’ කියන නම හැදෙන්නෙ ‘රොඩ්ඩ’ කියන වචනෙන්. වරමුදු හා අං පනා සෑදීම, හම් පදම් කිරීම ඔවුන් ගේ අප්‍රධාන කාර්යයන් වන අතර ප්‍රධාන වෘත්තිය සිඟාකෑම. නමුත් මේ වෙද්දි කෙරිලා තියෙන සමහර පර්යේෂණ අනුව ඇතැමෙක් කියන්නෙ මේ අය ‘දඩ වැද්දන් ගෙන්’ පැවැතෙනවා කියලා. රාඝවන්ගේ විස්තරයෙ උපුටනයක් මේ.

“මේ විෂයෙහි ලා වැදගත් වන වදන් දෙකක් වන්නේ ගෛගර් ‘දඩයක්කරුවා’ වශයෙන් පරිවර්තනය කර ඇති ඉහත දී ද සඳහන් කළ පාලි මහාවංස‍යේ දැක්වෙන ‘ලුද්දකො’ සහ ‘ලුද්දෝ’ යන පද දෙක ය. සංස්කෘත ‘රෞද්‍ර’ නැත හොත් ‘රුද්‍ර’ යන පදවලින් බිඳී අවුත් තිබෙන ‘ලුද්දි’ ‘ලුදු’ සහ ‘ලුද්දක’ යන පදවල අරුත ද ‘දඩයක්කරුවා’ විය හැකිය. පාලි මහාවංසයෙහි ‘රුද්ද’ යන පදය හුදෙක් ‘දඩයක්කරුවා’ මෙන් ම ‘රෞද්‍ර’ යන අරුතින් ද යෙදී ඇත. සුත්තනිපාත අට්ඨකථාවෙහි ‘ලුද්දෝ’ යන පදය පැහැදිලි කර දක්වා ඇත්තේ ‘ලුද්දා ච කුරුරා – කම්මන්තා ලෝහිත – පානිතයා, මච්ඡාඝාතක මිගබන්ධක, සකුනිකාදයො ඉධ අධිප්පිතා’ ආදි වශයෙනි. එහි අරුත ‘ලුද්දන් නැත හොත් දඩයම්කරුවන් නම් ලේ වැගිරවීමෙන්, මසුන් මැරීමෙන්; සතුන් උගුලට හසු කරගැනීමෙන් සහ කුරුල්ලන් ඇල්ලීමෙන් කුරිරු ආකාරයෙන් ජීවිකාව ගෙන යන ජනයා’ යන්න ය.

පෞද්ගලික ලිපි ගනුදෙනුවක දී ආචාර්ය එල්. ඩී. බානට් පළ කළ පරිදි, රුද්දා නැත හොත් ලුද්දා යන පද ක්‍රෑර බැවින් හෝ ම්ලේච්ඡත්වයෙන් හෝ තොර, දඩයමින් ජීවත් වූ ගෝත්‍රයන් දැක්වීමට යොදාගත් ඒවා වන බැවින් ඒ රොඩීන් හැඳින්වීම සඳහා ව්‍යවහාර කර ඇත. ගැටලුව රැඳී ඇත්තේ එක් අකුරක් පිළිබඳ ව ය. රොඩියා යන පදයේ මූර්ධජ ‘ඩ’ කාරය ඇති අතර, ලුද්දා – රුද්දා යන පදවල ඇත්තේ දන්තජ ‘ද’ කාරය යි. බානට් විසින් පෙන්වා දෙනු ලබන පරිදි “සංස්කෘත රෞද්‍රක යන පදයෙන් ක්‍රමික ව බිඳගත් රොඩ්ඩක කියන එහි අනු-ස්වරූපයක් පාලියේ හෝ ප්‍රාකෘත භාෂාවල හෝ ඇතැයි අප උපකල්පනය කළ‍ හොත් මේ බාධකය ජය ගැනීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන. මේ රොඩ්ඩක යන පදයෙන් ආර්ය සිංහල ජනයා විසින් හුදෙක් ‘දඩයක්කරුවා’ යන අර්ථයෙන් රොඩී ජනයා හඳුන්වනු ලැබීමට ව්‍යවහාර කරන ලද නාමයක් යැයි සිතිය හැකි, රොඩියා යන සිංහල පදය යථාවත් පරිදි බිඳගෙන ඇතැ යි සිතීමට ඉඩ තිබේ. “සිදු වීමට හොඳටම ඉඩඇති දෙයක් ලෙස පෙනීයන රොඩීයන පදය පිළිබඳ ව්‍යුත්පන්නය දඩයක්කාර ගෝත්‍රයක් වශයෙන් මුල් අවධියේ දී මේ ජනයා ගත කළ ජීවිතය සමඟ සැස‍ඳෙන අතර එය මේ පිළිබඳ අපට දැනට තිබෙන පිළිගත හැකි මතය ලෙස දැක්විය හැකිය.”

මේ අයගේ ඉතිහාසය ගැන තවත් අංශයකින් අවධානය යොමු කරන රාඝවන් සංඝමිත්තා තෙරණියගෙ පරිවාරය සමඟ ලංකාවට ආපු පිරිස් ගැනත් අවධානය යොමු කරනවා. ඒ වගේම මේ ප්‍රජා‍වට අයිති අය අතර භාවිත වන ‘විල්ලියා’ යන වචනය ගැනත් ඔහු සටහන් කරනවා.

“විල්ලියා යන පදයේ මතු පිටින් දැක්වෙන්නේ දඩයක්කරුවකු වශයෙන් ඔහු දිවි පෙවෙත ගෙන ගිය බව වුව ද එයට වඩා වැඩි යමක් ඒ පදයෙහි ගැබ් ව ඇති බව පැහැදිලි ය. වාග්විද්‍යාත්මක වශයෙන් අන් කුමන දෙයක් ඉන් හැඟී යා හැකි වුව ද, ඉන් නියත වශයෙන් ම සිහිපත් කරන දෙයක් වන්නේ දඩයක්කරුවාගේ අත්‍යවශ්‍ය ම අවිය වූ දුන්න යන අරුත් දෙන ද්‍රවිඩ භාෂාවේ එන විල් හෙවත් විල්ලු යන පද ය.”

රාඝවන් රොඩී ජනතාව ගැන විවිධ පැතිවලින් ඉතා ගැඹුරට, දීර්ඝ වශයෙන් තමන්ගේ පර්යේෂණයෙදී සාකච්ඡා කරනවා. මම ලිපියට ඇතුළත් කළේ කෘතියෙ තැන් තැන්වලින් ගත්ත කොටස් ‍ටිකක් විතර යි. ඒ නිසා වැඩිදුර තොරතුරු කාටහරි අවශ්‍ය නම් මම සඳහන් කරපු කෘතිය පරිශීලනය කරන්න කියන යෝජනාව කරනවා.

තව එක කාරණාවක් ගැන කියන්නම්. ‘රත්නවල්ලි සීපද’ නමින් ප්‍රකට කවි පන්තියේ එන නව රත්නවල්ලි කුමරිය ගැන තියෙන්නෙත් අපි අතර ප්‍රකට ව තියෙන ආකාරයේ කතාවක් නම් නෙවෙ යි. රොඩී ජනතාව අතරත් තමන්ගේ ප්‍රභවය ගැන මේ කවි පන්තියෙන් කියැවෙන බවට විශ්වාසයක් පැවැතියත් ප්‍රකට අදහසට වඩා ගැඹුරක් මේ කවි පන්තියෙ තියෙනවා. මේ කාරණා ගැන හියු නෙවිල් වගේ අයත් The Taprobanian සඟරාවල සටහන් කළ බව සඳහන් වෙලා තියෙනවා. කවි පන්තියෙ තියෙන්නෙ යාදින්නක ස්වරූපයක්. උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල දී කළ විමර්ශන අනුව හියු නෙවිල් පෙන්වා දෙන්නෙ කවි පන්තියේ දැක්වෙන ආකාරයට රත්නවල්ලිය යනු කාලි වේශයෙන් පෙනී සිටින පත්තිනි දේවිය ‍ගේ එක් ස්වරූපයක් බව. රත්නවල්ලි ගේ කවි ගැන ගැනත් රාඝවන් සටහන් කරනවා. හියු නෙවිල් දක්වන කවි ටික මේ විදියට රාඝවන් ඉදිරිපත් කරනවා.

නිල් බර නිල් රුකට පිට දී උන්නු ලියේ
නිල් බර නිල් වරල ගවසා බැන්ද ලියේ
පිල්බර කඳන්වල පැහැපත් කරන ලියේ
නිල්බර තෙලඹුවෙන් බැහැපන් රත්න වල්ලියේ

ඈත සිටන් එන්නේ සෙල්ලි සෙල්ලියේ
මෑත සිටන් එන්නේ එල්ලි මෙල්ලියේ
කරේ බැන්ඳ පවලන් වැල නොසෙල්ලියේ
පැරකුම්බා රජුගෙ දුව නවරත්න වල්ලියේ

සීත සුළං සල් ඔලියල් ඇන්ද ලියේ
ගාත ගීත උන ඉසරද නැද්ද ලියේ
බීත කරන මුතු මාලා බැන්ඳ ලියේ
ගාතා අසන්නට වර රත්න වල්ලියේ

එදා සිට ම මුනිඳුන් දුන්න අවසරේ
මෙරන් උනු වෙන්ඩ ගැසුවේ එකැස් බෙරේ
බෙරත් ගසා ගෙන් ගෙට ඇවිදින් නිතරේ
උරහත් රත්න වල්ලිගෙ නැටුම් පුරදිරේ

රත්න-තිලක-වල්ලි නම ඔබින්නේ
රිස්ස නොයන තොයිලුයි මම කරන්නේ
විස්ස වයස පසු වෙන කොට බොලන්නේ
මස් අරන් මිස පිටිපා ‍ නොයන්නේ

අගේ වඩන මගෙ තෙලඹුව නොසිට ලොබා
ද‍ඟේ වැටෙයි මහරජ නොසිතන් අසුබා
ග‍ඟේ වතුර මෙන් ලේ වැක්කෙරෙන සුබා
මගේ නමට බැඳපන් රත්න දා ගැබා

මේ කවි පන්තිය ගැන රාඝවන් කරන සටහන.

“රත්න වල්ලිය නිල්බර නිල් උයනක පූජනයට ලක් වී සිටීම, ඇය නිල්බර නිල් වරලස ‍ගොතා බැඳ තිබීම, දිදුලන ඇගේ පැහැපත් සිරුර, ඇය නර්තනයේ දිගට ම නිරත ව සිටීම, බිය උපදවන මුතු මාලය, විජයග්‍රාහී ලෙස ඇය පෙරට යන ලීලාව, බෙර ගසන්නන් නිරතුරු ව ගෙන් ගෙට යෑම, නර ලොව ජනයා ප්‍රමුදිත කිරීම, ග‍ඟේ වතුර මෙන් ලේ වැගිරවීම – යන මේ ලක්ෂණ සියල්ල සහ ඒවා හා අනෙකුත් කරුණු පෙර කල ඉන්දියාවේ පැවති ජන ඇදහිලි අතුරින් ඉතා ම ප්‍රචලිත ව පැවති ඇදහිල්ල වන කාලි පිළිබඳ චාරිත්‍රානුකූල ඇදහිල්ල සමඟ ඒකාන්තයෙන් බද්ධ වූ ඒවා ය. භීතිය උපදන මුතුමාලය නම් කාලි දෙවඟන ගේ ගෙල වටා බැඳි මිනී හිස් මාලය යි. මෙහි දැක්වෙන ඇයට අවසර දුන් මුනිඳු වන්නේ මහා ශිව දෙවියා වන අතර ඔහු ඇයට දුන් අවසරය නම් පහළ මනු ලොව වසන මිනිසුන් සමඟ වාසයට ගොස් ඔවුන් ගේ පිළිගැනුමට පාත්‍ර වී නිසි පුද සත්කාර ලැබීමට දුන් වරම යි. ඇයට පිරිනමන බිය උපදවන පූජාව වන්නේ මිනිස් බිලි පූජා ය.”

විස්තරය තවත් ඉදිරියට යනවා. කුඩා කොටසකු යි මම සටහන් කළේ. නැවැතත් අවධාරණය කරන්නෙ වැඩි විස්තර අවශ්‍ය අය මම මුලින් සඳහන් කරපු රාඝවන්ගේ පොත හොයාගෙන කියවන්න කියන එක. මේ බොහොම කෙටියෙන් කරපු විස්තරයක් විතර යි.

ශාලික රාජකරුණා
උපුටාගැනීම : ෆේස්බුක්

 

Social Sharing
අවකාශය නවතම