ශ්‍රී වික්‍රම රාජසිංහ සහ ඉන්දියාවේ කැන්ඩි මහල්

 

ඉංග්‍රීසින් විසින් රජතුමා අල්ලා ගැනිමෙන් පස්සේ

ලංකාවේ අවසන් රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බව අපි කවුරුත් දන්නවා. එතුමා 1798 සිට 1815 දක්වා රජකම් දැරුවා. මෙතුමා දකුණු ඉන්දියානු තෙළිගු සම්භවයක් ඇති නායක්කාර් වංශිකයෙක්. එතුමාගේ නම කන්නසාමි වුනාට රජවුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ යනුවෙන්. ඉස්සර රජවරු රජවෙන්න කලින් තිබුණේ වෙන නමක්. නමුත් රජ වෙනකොට වෙනත් නමක් ගන්නවා. ඒ නම් ගන්නේ නාථ දේවාලයේ සුදානම් කර ඇති මුට්ටියකින් කියලයි සඳහන් වෙන්නේ.

ඒ නාථ දේවාලයෙන් නම අරන් රජතුමාට ඔටුනු පළදන්නෙත් නාථ දේවාලභූමියේ ඇති විශේෂ මණ්ඩපයකදි. ඒ මණ්ඩපයේ පාදම අදත් නාථ දේවාලයේ දකින්න තියෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ⁣ගැන මොන මත තිබුණත් එතුමා බොහෝම කලාකාමී රජ කෙනෙක් හැටියට හඳුන්වන්න පුළුවන්. අද දළදා මාළිගාව වගේම ඒ අවට මේතරම් ලස්සනට අපිට පෙන්නේ මේ රජතුමා එහි අලංකාරයට ගත්ත පියවර නිසයි. දැන් දළදා මාලිගාවේ දකින්න ඇති පත්තිරිප්පුව, මාළිගාව ඉදිරිපස දකින්න තියෙන කිරි මුහුද හෙවත් වැව, මාළිගාව ඉදිරිපස දිය අගල, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කාලයේ කළ නිර්මාණ.

තව උල්පැන්ගේ, එල්ලෙන පාලම, දියතිලක උයන, මැදවාසල, පල්ලේවාසල, මඟුල් මඩුව එතුමාගේ කාලයේ ඉදි කළ නිර්මාණ. රජතුමාගේ නියමය අනුව මේ සියල්ල සැලසුම් කළේ දේවේන්ද්‍ර මුලාචාරින් විසින්. නමුත් අපේ අයගේ කේලම් නිසා රජතුමා හා දේවෙන්ද්‍ර මුලාචාරින් අතර සම්බන්ධයත් බිඳ වැටුනා.

මේ රජතුමා පත්වු දා සිටම අපේ ප්‍රධානින් කළේම කකුළෙන් ඇදීමයි. ඒ වගේම කේලම් කියා කෙටවිමයි. ඇහැලේපොල සිදුවිමත් වුණේ එවන් කේලම් හා නොමඟ යැවිම් නිසා බවයි සඳහන් වන්නේ. නගර ලස්සන කරවු දේවේන්ද්‍ර මුලාචාරින් පවා විනාශ කර දැම්මෙත් අපේම අයගේ පාවාදිම් හා කේලම් නිසයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ආරම්භ කළ දළදා පෙරහරත් මෙතුමා ඒ ආකාරයෙන්ම පවත්වා තිබෙනවා. කෙසේ නමුත් රජතුමා ඉංග්‍රීසින් විසින් අල්ලා ගැනිමෙන් පස්සේ එතුමාව හා බිසෝවරුන් ඇතුළු පිරිස මදුරාසියට පිටත්කර හරිනවා. රජතුමා පිටත්කර හරින්නේ H.M.S. Cornwallis කියන නැවෙන්. රජතුමා ගමන් කරන නැවේ රජතුමාගේ භාරකාරත්වය බාරව සිටියේ විලියම් ග්‍රැන්විල්. කියන ඉංග්‍රීසි සිවිල් සේවකයා. මදුරාසියේ වෙල්ලෝරයේ කොටුව තුළ ඇති විශාල නිවසක් තමයි ඉංග්‍රීසින් රජතුමාට හා රජ පවුලේ අයට වෙන්කර දුන්නේ. මේ නිවස ඉංග්‍රීසින් සමග සටන් කරලා 1799 දි මියගිය මයිසුරයේ සුල්තාන් වු ටිපු සුල්තාන්ගේ පවුලේ අය රඳවලා හිටපු නිවස. අපේ අන්තිම රජතුමා ඇතුළු පිරිස එහි පැමිණිමත් සමග එම නිවස හැදින්වුයේ කැන්ඩි මහල් කියලයි.

මුතු මණඩපම්

ඉතින් ඉංග්‍රීසින් රජතුමාට හා බිසෝවරුන්ට ජිවත්විම සදහා ගෙවිමකුත් කර තිබෙනවා. එතුමා අභාවප්‍රාප්ත වු පසුත් ඒ දීමනවා ඒ පරපුරේ අයට ගෙවා තිබෙනවා. ඉතින් රජතුමා වෙල්ලෝරේ ඉන්න කොට එතුමාව හමුවුනු බ්‍රිතාන්‍යයන්ගේ පළමුවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්‍ය වෛද්‍යවරයාවු හෙන්රි මාර්ෂල් ලියු කෘතියක මෙහෙම සදහන් කර තිබෙනවා.

“මහනුවර සිහසුනෙන් පහකරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ අඩි පහයි අගල් 9ක් 10 ක් පමණ උසය. මදක් ස්ථුලය. ශක්තිමත්ය. මනාව වැඩුනු මාංශ පේෂින්ගෙන් ශෝභනය. ඔහුගේ මුහුණ ප්‍රියංකරය. ශෝභා සම්පන්න රැවුලක්ද පළල් උරහිස්ද පිරුණු පපුවක්ද ඔහුට තිබිණ. ඔහුගේ දේහය පෞරුෂය විදහා පායි. පෙනුම ආනුභාව සම්පන්නය. ඔහු බුද්ධි හීන පුද්ගලයෙකු යැයි කෝඩිනර් දක්වන කතාව අසත්‍යය. සිහසුනෙන් පහකර හිරබාරයේ තබන ලද පුද්ගලයෙකුගෙන් අපෙක්ෂා කළ හැකි පමණට වඩා සාමාන්‍ය ප්‍රියවාදි හා සොම්නස් සහගතවිය.”

රජතුමා සිරගතකර සිටියත් බොහෝම අභිමානයෙන් සිටි බව සඳහන් වෙනවා. 1830දි වෙල්ලෝරයේ සංචාරයකට ආපු මදුරාසියේ ආණ්ඩුකාර ලුෂින්ටන් හමුවිම පවා රජතුමා ප්‍රතික්⁣⁣ෂේප කර තිබෙනවා. 1832 ජනවාරි මුල ඉඳන්ම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ උදරයේ අසනිපයක් තිබිලා. මුලින් බටහිර බෙහෙත් ගත්තත් පසුව එතුමා දේශිය වෛද්‍ය ප්‍රතිකාර අරන් තිබෙනවා. ඉංග්‍රීසි ශල්‍ය වෛද්‍ය රිඩ් තමයි රජතුමාව පරික්ෂා කර තිබෙන්නේ.

කෙසේ නමුත් අවුරුදු 16ක් රාජකීය සිරකරුවෙකුවු අපේ අන්තිම රජතුමා 1832 ජනවාරි 30 වැනිදා මෙ⁣ලොවින් සමුගන්නවා. එතුමා මියයන විට වයස අවුරුදු 52 යි. රජ පවුලේ අයගේ ඉල්ලිමකට අනුව රජතුමාගේ ආදාහනය සිදුකරන්නේ වෙල්ලෝරයේ පලාර් ගඟේ දකුණු ඉවුරේ ස්ථානයක.

ඉතින් අපේ අන්තිම රජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කරලා ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නෙළුම් මල්වල හැඩයෙන් යුතු ස්මාරකයක් ඉදිකරන්න ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු කළා. පස්සේ රජතුමාගේ බිසෝවරුන් මියගියාමත් භෂ්මාවශේෂ ඒ ස්ථානයේම තැන්පත් කර තිබෙනවා. එම ස්ථානය හැදින්වුයේ “මුතු මණඩපම්” කියලයි.

මේ ස්ථානය කාලයක් ජරාජීර්ණ ව තිබුණාම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ මී මුණුපුරෙක් වු ඒ. වික්‍රම රාජසිංහ එම තැන පිළිසකර කරනවා. ඒ 1932 දි.
ඒ කියන්නේ රජතුමා මිය ගිහින් අවුරුදු සියයකින් පස්සේ. පසුකාලිනව තමිල්නාඩුවේ මහ ඇමතිව සිටි කරුණා නිධි මහතා මුතු මණ්ඩපම් නැවත පිළිසකර කරනවා.

රජතුමාට දාව වෙන්කත රංගම්මාල් බිසවට වෙල්ලෝරයේ දි පුතෙකු උපන් බවත් ඔහු 1843 දි මියගිය බවත් කියවෙනවා. රජතුමාගේ තව බිසවක්වු මුතුකම්මමා බිසවට දුවරු දෙන්නෙක් සිටි බවත් සඳහන් වෙනවා. ඒ දුවරු දෙන්නාගේ දරුවන්ගේ පරපුර 1965 අවුරුද්ද දක්වා ලංකාවේ ආණ්ඩුවෙන් රාජසිංහ රජ පවුලට දෙන දීමනාව ලබාගත් බව කියනවා. අර මම කිව්ව රජතුමාගේ සොහොන පිළිසකර කළෙත් රජතුමාගේ දියණියකගේ පරපුරේ කෙනෙක්.

ඉතින් රජතුමා නැතිවු දා සිට හැම අවුරුද්දකම එතුමා සිහිකර එතුමාගේ නෑයන් වෙල්ලෝරයේදි සමරු පවත්වා තිබෙනවා. රජතුමාගේ පරපුර තවමත් වෙල්ලෝරයේ ඉන්නවා. එතුමාගේ විතරක් නොවේ ඊට පෙර සිටි රාජාධි රාජසිංහ රජතුමාගේ නෑයන් පවා වෙල්ලෝරයේ ඉන්නවා. ඉතින් දැන් රජතුමා මියගිහින් අවුරුදු 191ක් වෙනවා. ඒ නිමිත්තෙනුත් මුතු මණ්ඩපම් හිදි සමරු උත්සවයක් පැවැත්වුවා.

වෙල්ලෝරයේ රාජකිය නෑයන් එක්වෙලා ගුරුපුජා කියලා පින්කමක් කළා. ඒ හින්දු චාරිත්‍ර අනුව. ඉතින් මුතු මණ්ඩපම් උත්සවයට රජතුමාගේ නෑයෝ රැස්වෙලා තාවකාලිව රජකමට කෙනෙක් පත්කරගෙන තමයි මේ සමරු උත්සවය කරන්නේ. රජතුමා ඉංග්‍රීසින් විසින් අල්ලාගත්තේ වර්තමානයේ මැද මහනුවර බෝමුරේ දි. ඉස්සර කිව්වේ උඩුදුම්බර ඌරුගල මැදිසියපත්තුවේ බෝමුරේ කියලයි.

අපේ රටේ අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසින් විසින් 1815 පෙබරවාරි 19 අත්අඩංගුවට ගත්තා. එතුමා බෝමුරේ උඩුපිටිය ආරච්චිගේ ගෙදර සිටියදි තමයි ඉංග්‍රීසින් විසින් අල්ලා ගත්තේ. එම ස්ථානයේ ස්මාරකය පිහිටෙව්වේ රජතුමා අල්ලාගෙන අවුරුදු සියයක් පමණ ගියාට පස්සේ.

ඉංග්‍රීසි ආණ්ඩු කාලේ 1907 දි පමණ මහනුවර මහ දිසාපති තනතුරේ හිටපු ජෝන් හෙන්රි ලුවිස් මහතා තමයි මේ ස්මාරකය පිහිටෙව්වේ. මහ දිසාපතිවරයා ඉතිහාසය හදාරන්න බොහෝම කැමැත්තක් දැක්වු අයෙක්. ඔහු නිතරම ඒ ගැන හදාරා තියෙනවා. ඔහු රජතුමා අවසන් වරට හිටපු නිවස බලන්න ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ නිවස තිබිලා නැහැ. නමුත් රජතුමා අල්ලා ගන්නා විට තිබු සියඹලා ගසක් හා පොල්ගස් දෙකක් පමණ එහි තිබිලා. පස්සේ තොරතුරු අහගෙන මෙහි ස්මාරකයක් පිහිටුවන්න ඉංග්‍රීසි ජාතික මහ දිසාපති ක්‍රියා කළා.

මේ ස්මාරකය සදහා කළුගල කපාගෙන තියෙන්නේ බෝමුරේ ගල්ලැහැවත්ත මැදින් ගලා යන ඔයේ ඉහළ කොටසින්. එතනම මෙය කැටයම් කරලා ඇතෙක් ලවා ඉඩම පිහිටි තැනට ඇදගෙන ඇවිත් තිබෙනවා. මේ ස්මාරකය පිහිටෙව්වේ 1907දි.

ධර්ම ශ්‍රී බණ්ඩාර තිලකවර්ධන
උපුටාගැනීමකි..

Social Sharing
අවකාශය නවතම