පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ
The Shadow Of The Wind
Carlos Ruiz Zafon
එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි.
පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන ඒ වැකිය වන්නේ
“මතකයෙන් වැළලී ගිය පොත් සුසානය” යි.
සියල්ල ඇරඹෙන්නේ එතනිනි. වසර 1945 දීය. එන් එහාටත් මෙහාටත් බාර්සිලෝනා නගරය තුළ ඔබ හට මා හට ඇවිද යන්නට, ආරාධනා කරන එම වෘතාන්තය ආරම්භ වන්නේ එවසර තුළදීය. එය සෑමවිටම මිහිරි නම් නොවන්නේය.
යුද්ධය නම් වූ අමිහිරි සිදුවීම් වලින් පසුව ජීවිතයේ සිදුවිය හැකි අභාග්‍ය සම්පන්නම සිදුවීමකට මුහුණ දුන් දනියෙල් නම් තම මව අහිමි වූ දරුවෙක් හා වැන්දඹු වූ පියෙක් ඔබට මුලින්ම හමුවන්නේ ඒ වැකිය සමඟ බාර්සිලෝනා නුවර රම්බිලා දෙ සාන්ත මොනිකා පළාත අරා හිමිදිරිය වෑහෙන මොහොතකයි.
පොතක් යනු ජීවය සහිත දෙයක් බව ඔබ මෙතෙක් විශ්වාස කලා නම් එය විකාරරූපි බව යමෙක් කීවෙ නම්, ඔබ පසෙකින් සිටගන්නා තවත් එක් අයෙකු යනු ධෛර්යයකි. ඉදින් ඔබ සමඟ එකඟ වන එක් අයෙකු ඔබට මෙහිදී හමුවෙනවා. ඔහුව හඳුන්වාදෙන්නේ කාර්ලෝස් රුයිස් සෆෝන් නිසා තවත් අයෙකු ඊට එකතුවන බව මගේ හැඟීමයි. ඔබටද එසේ හැඟෙන්නේ නම් එය ප්‍රසාද දීමනාවක් සහිත කියවීමකි.
“ඔයා දකින හැම පොතකටම, හැම වෙළුමකටම, ආත්මයක් තියෙනවා. පොත ලියපු කෙනාගේ, පොත කියවපු අයගේ, පොතත් එක්ක ජීවත් වෙච්ච, පොතක් එක්ක හීන දැකපු හැමොගෙම ආත්ම ඒ පොත් ඇතුළේ තියෙනවා. පොතක් අතින් අතට මාරු වෙන වාරයක් ගානෙ, කෙනෙක් ඒ පොතේ අකුරු අතරේ ඇස් යවන වාරයක් ගානේ, ඒ පොතේ ජීවාත්මය ලොකුමහත් වෙනවා. හයිහත්තිය වෙනවා.” පිටුව 10
එසේම පොතක් කියවීමේදී, කියවූ පසුව දැනෙන හැඟීම පාඨකයාට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. එහෙත් මතකයෙන් වැළලී ගිය පොත් සුසානයක දමා එන පොතක් ගැන, තමාගේ වූ පොතක් ගැන හැඟීම මෙලෙස විස්තර වනවිට ඇතිවන්නේ කවර හැඟීමක්ද?
“කවුරුත් නොදන්නා තනි පොතකින් සමස්ත විශ්වයක් මට අහම්බෙන් හමුවිණි නම්, ඒ අනන්ත සුසානයේ වැළලී ඇති තව දසදහස් ගණනක් ලෝක, දේශ ගවේෂණයකින් තොරව , සදහට අමතකයට යටවෙනු ඇති බව සිතීම මා තුළ ඇති කෙළේ මහත් සන්තාපයකි. අතහැර දැමූ දසලක්ෂ සංඛ්‍යාත පිටුවලින් සහ අන්ධකාර සාගරයක ගිලී යන හිමිකරුවකු නැති ලෝකවලින් සහ ආත්මවලින් මා වට කරනු ලැබ ඇතැයි එසේ හැඟෙන අතරේ, එළියේ ලෝකය එහි මතකය අහිමි කරගනිමින් සිටින සෙයක් සහ වැඩියෙන් අමතක කරන තරමට වැඩියෙන් ප්‍රඥාවන්ත වෙතැයි ලෝකයා සිතන සෙයක් දිස් විය.” පිටුව 96
“මේ නගරය මන්ත්රකාරියක්. අපි ඒකට වශී වෙනවා. එතකොට ඒක අපේ ආත්ම පැහැරගන්නවා.” පිටුව 587
එය දැනගන්නා විට එය වී හමාර බව දැනෙන කියවීමකි. එකී පැහැර ගැනීමට හවුල් කරුවන් බොහොමයකි. එක් එක් කාර්තූන් වල වැඩිම දායකත්වය ලබා ගන්නේ එක් එක් චරිතය. දනියෙල් එතැන ගන්නා විට ඔහු සමඟ ෆර්මින් ද සිටී. හූලියන් කැරැක්ස් එතන ගන්නා විට පෙනිලෝප්ද, නූරියාද ඒ අසල දැවටේ. වරෙක ඔබ නුරුස්නා සහගතව බලන චරිතයම උපේක්ෂා සහගතව එදෙස බලන්නට කියන ඊළඟ පරිච්ඡේදයන් ය. ඒ සියල්ල සංතුෂ්ටියේ පරමානන්දය ඔබ වෙත ලබාදෙන්නේ නැත. ආදරය යනු විශ්වීය භාෂාවක් බව කියන එය එහි ආත්මාර්ථකාමීත්වය ඒ විගස පවසයි. ප්‍රේමයට ශෘංගාරය මුසුවිය යුතු තැන එය මුසු කර එහි ගිලී පසුවෙන මොහොතක එහි අනතුරුදායක බව පිළිබඳව පහදයි. විඳීම් ළඟ ළඟම එන විඳවීම් වල ස්වරූපය මෙලෙස යයි නොකියා එකී බලපෑම් ජීවිත පුරා සක්මන් කරනායුරු කියවන්නට ඉඩ සලසයි.
ප්‍රබන්ධයක් තුළ මේ සියල්ල ගලායාම කොතරම් සාර්ථකව නිර්මාණය කොට ඇත්දැයි යන්නට කදිම උදාහරණයක් වන මෙකී කෘතිය ඒ සියල්ල සමඟ මිනිස් සන්තානයන් ගණුදෙනු කරනු ලබන දුක, සතුට , නොඉවසිලිමත් බව, ආකර්ෂණය, සිනහව හා කඳුළ, සංවේදීත්වය යන සියළු දේ පාඨකයා වෙත පිරිනමයි. ප්‍රේම කිරීම වරදක්ව ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදුවන්නන් ගැන කියන ගමන් බයිනෙත්තු තුඩකද රෝසමල් පිපිය හැකි බව කියයි.
යුද්ධයක අතුරු ඵලයන් වන්නේ යුද්ධයට මුහුණ දුන් මිනිසුන්ගේ අහිමිවීම් පමණක් නොවේ. සියළු සිදුවීම් දඩමීමා කරගන්නා සමාජයක සිවිල් යුද්ධයකට හා දෙවන ලෝක යුද්ධයට පසුව බාර්සිලෝනා නගරයටද එකී බලපෑමෙන් මිදෙන්නට නොහැකි වී ඇති බව පැහැදිලි කරන මේ කෘතිය තුළ යුද්ධය දඩමීමා කරගත්, පළිගැනීමේ කුරිරු ක්‍රියාවන් වලට යුද්ධය පළිහක් කරගත් අවස්ථාවාදී මිනිසුන් හමුවේ.
යුද්ධයකින් පසු කැළැල් ඇත්තෝ මිනිසුන් පමණක් නොවේ. නගරයන් පවා තුවාල ලබයි. අතීතයක තවමත් ජීවත් වන මිනිසුන්ගේ නිහැඬියාව මෙන්ම තුවාල ලත් නගරයේ ආත්මයේ මුහුණුවර පවා සන්තාපයෙන් පෙඟී තිබෙන්නට පුළුවන. ඒ දනියෙල්ට හැඟෙන පරිදිය..එය විස්මයට කරුණක් කරගත යුතු නැත. දනියෙල් පවසන පරිදි ළමා කාලයේදී යමක් දැනෙන්නට එය අවබෝධ කරගැනීම අනිවාර්ය නොවේ.
“කිසි කෙනෙක්ව විශ්වාස කරන්න එපා, දනියෙල්. වැඩියත්ම ඔයා ආසා කරන මිනිස්සුන්ව, ඒ මිනිස්සු තමයි වැඩියත්ම ඔයාට විඳවන්න සලස්සන්නේ” පිටුව 30
මිනිසුන් ගැන , විශ්වාසය පිළිබඳව , පාවාදීම් පිළිබඳව වැඩිදුර පහදාදීම් අනවශ්‍යය. එය අත්දැකි මිනිසුන්ගේ සියළු හැඟීම් වචන කිහිපයක මෙලෙස මුහුකොට තැබිය හැකිය.
දනියෙල්; සුවිශේෂී හා ආකර්ෂණයක් ඇති තරුණයෙක් බව දැනෙනුයේ අපට පමණක් නොවේ. ඇස් නොපෙනෙන ක්ලාරා පවා ඔහුගේ ආකර්ෂණයට හසු නොවී සිටින්නේ නැත. එය පොතකට ඇති ළබැඳියාවෙන් ඔබ්බට විහිදේ. වයස අවුරුදු පහලොවක කොලු ගැටයෙකු හා අවුරුදු විසිපහක තරුණියෙකු අතර පැවතෙන්නා වූ බැඳීම කුමනාකාරයේ විය හැකිදැයි යන්න පිළිබඳව ප්‍රශ්න නොනඟා එය බලා සිටීම පමණක් කළ යුතු වන්නේ අප පමණක් නොවේ. ක්ලාරාටද එය එසේමය. බියට්‍රිස් ද ඒ ආකර්ෂණයට නතු නොවීයයි කීමට ශාක්ෂි අපිට නැත. හුලියන් කැරැක්ස් තමාගේ තරුණ විය දනියෙල් තුළින් දකින බව පවසයි නම් ඔබට ඔවුන් දෙදෙනා එක්ව හමුවන්නට ඇති අවස්ථා කොතරම්ද?
මිනිස් සිත තුළ ඇතිවන හැඟීම් පිළිබඳව අර්ථකථන විවිධාකාරය. එවන් බොහෝ හැඟීම් පිළිබඳව අපි අපේ සිත් තුළ ඇති වුවද විග්රහ කරනුයේ කලාතුරකිනි. සෆෝන් එවන් අවස්ථා මඟ නොහරී. එක් අවස්ථාවක නපුර හා මුග්ධ බව මෙසේ වෙන්කර පහදා දේ.
“නපුරු නෙවෙයි” ෆර්මින් විරෝධය පෑවේය. “මුග්ධයි. ඒ දෙක, එකක් නෙවෙයි, නපුර කියන එක, සදාචාර තීන්දුවක්. අභිමතයක්. පූර්ව කල්පනාවක්. මුග්ධයෙක් කියන්නේ, එහෙම හිතන එකෙක් නෙවෙයි. මුග්ධයා ක්‍රියාත්මක වෙන්නේ ඉවක් උඩ. හරියට, සතෙක් වගේ. තමන් කරන්නෙ නිවැරදි දෙයක්, යහපතක් කියලා තමයි මුග්ධයා හැම වෙලාවෙම හිතන්නේ.” පිටුව 192
“දෙවියන්වහන්සේ අපිට ජීවිතය දෙනවා. ඒත් ලෝකය අයිති කරං ඉන්නෙ යක්ෂයා.” පිටුව 529
යක්ෂයාට අයිති ලෝකය තුළ සියළු අයහපත් දේ සිදුවූ මිනිසුන් සිටීම සිදුවිය හැකි අතර ඒ සියල්ල සිදුවූ පසුවත් ඔවුන් ජීවත් වීම සිදුවන්නේ ජීවිතය දුන්නේ දෙවියන්වහන්සේ නිසා විය නොහැකිද? හුලියන් කැරැක්ස්ගේ ජීවිතයද එවන් එකකි.
හුලියන් කැරැක්ස්; මේ සියළු කතා, චරිත මැදිකර ගත් හුය බඳු භූමිකාව කුමනාකාරයේ චරිතයක්ද යන්න පැහැදිලි කරගැනීම පිටුවෙන් පිටුවට, පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට වෙනස් වන්නකි. විටෙක අනුකම්පාවත්, ආදරයත්, කෝපයත් හිමි කරගන්නා එකී චරිතය අවසානයේ මහත් වූ ප්‍රේමයකින් යුතුව වැළඳගැනීමට සිතෙන්නේ දනියෙල්ට පමණක් නොවේ. සුළඟේ සෙවණැල්ල කියවන පාඨකයාටද එසේ සිතවන්නට සමත් අයුරින් සෆෝන් එකී චරිතය නිර්මාණය කර ඇත.
නූරියා මොන්ෆෝත් කියනා පරිදි යමෙකුගේ මතකයේ ඉන්න තාක් කල් අපි ජීවත්වෙන අතර කවුරුන් හෝ නොදැන නොදැක හෝ මතකයේ තබාගැනීම ජීවත් වීමකි. හූලියන් කැරැක්ස්ටද එසේ ජීවත් වීමක් අවශ්‍ය වූවා නම් සෆෝන් එය ඉටු කරදී ඇත. ඒ කැරැක්ස්ට පාඨක හදවත්හි ඉඩක් සාදා දීමෙනි. සිංහල පාඨක හදවත් තුළද කැරැක්ස්ගේ ඉඩ වෙන්කරදීම ගාමිණි වියන්ගොඩ මහතා විසින් සිදුකර ඇති බව මගේ හැඟීමයි.
Irekha Seneviratne