නීතියේ පාලනය හදන්නේ නැතුව රටක් ආර්ථිකයෙන් විතරක් ගොඩදාන්න බෑ- කේ. සංජීව

ගෙවුණු වසරේ වගේම මේ වසරේදී ත් මාධ්‍යය හමුවක් කැඳවලා යුක්තිය ඉල්ලා හඬ නඟන්න සිදුවීම ලංකාවේ දේශපාලන කරුමය විදියට හිතන්න කැමතියි.

2000 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා මාධ්‍යවේදීන්ට හා මාධ්‍යය ආයතන වලට බලපෑ විවිධ සිදුවම් 30ක් ආශ්‍රය කරගනිමින් නිදහස් මාධ්‍යය ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද ලේඛනයකට අනුව නිමලරාජන්, ආර් සෙල්වරාජා, සම්පත් ලක්මාල්, පෝද්දල ජයන්ත, ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, නාමල් පෙරේරා, රාධිකා දේවකුමාර්, උපාලි තෙන්නකෝන්, එන් විද්‍යාදරන්, වැනි බොහොමයක් මාධ්‍යවේදීන් ගේ අතුරුදහන් වීම්, ඝාතන සහ පැහැරගෙන ගොස් සිදු කළ පහර දීම් වලට මෙන්ම ජනමාධ්‍ය ආයතන වන සිරස, සියත, ලංකා e news ආයතන වලට අලාභහානි සිදු කිරීම් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත්තද ඒවා අවසන් තීන්දුවකින් තොරව නිමා වෙලා තිබෙනවා.

එබඳු ඉතිහාසයක් සහ වටපිටාවක් තමයි අපි පහු කරගෙන ඇවිල්ලා තියෙන්නෙ. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න අවශ්‍ය ජනමතය හදන්න අපි මේ සිදුවීම් හැම වේදිකාවකටම අරගෙන ආවා. ඒ නඟපු හඬින් බලයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මේ පරීක්ෂණ වලට කරපු දේ අපි දන්නවා. 2015 වින්දිතයන් හට යුක්තිය උදා කර දීමේ පොරොන්දුව පිට පාලනයට ආ ආණ්ඩුව ඔවුන්ගේ පාලන කාලය තුළ ඉහත කී වින්දිතයන් හට යුක්තිය ඉටු කර දීමට අපොහොසත් වුණා.

මේ මොහොත වනවිට රට ආර්ථික වශයෙන් ගොඩනැංවීම ගැන කතාකරනවා. නීතිය එක හා සමානව සැමට සාධාරණව ක්‍රියාත්මක නොවී තිබෙන වකවානුවක ආර්ථිකය දියුණු කිරීමට පමණක් අවධානය යොමු කරන්නේ නම් මේ රට ගොඩනැගීම සිහිනයක්.

සිදු වූ බොහොමයක් ඝාතන, පැහැරගැනීම් සහ පහරදීම් පිටුපස සිටි බවට අප සැක කරන ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධූරයට තේරි පත් වූවායින් පසු රටට අත් වූ ඉරණම මොකද්ද කියලා දැන් අපි දන්නවා.

වින්දිතයන් හට යුක්තිය ඉෂ්ඨ කර දීමට තිබෙන අවසාන ආයතනය තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. පුරවැසියෙක්ට යුක්තිය ඉල්ලලා යන්න පුලුවන් අවසන් ස්ථානය තමයි එතන. ඒත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම ඒ ආයතනයට මොකද වුණේ?

2019 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉහත සිදූවීම් විමර්ශනය කරමින් බොහෝ ප්‍රගතියක් ලබමින් සිටියා. එසේ උනන්දුවෙන් රාජකාරි කටයුතු වල නිරත් වූ ශානි අබේසේකර වැනි නිලධාරීන් හට 2019න් පසු සිදු වූයේ මොකද්ද? ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා දකුණු පළාතට ස්ථාන මාරුවක් ලබා දුන්නා, ඒ ඇයි?

පළිගැනීම තමයි ප්‍රධාන අරමුණ. ඝාතනයට, අතුරුදහන් වීම් වලට සහ පහර කෑම් වලට මුහුණ දුන් බොහොමයක් මාධ්‍යවේදීන් ගේ සිදුවීම් වලට අදාළ විමර්ශන නතර කිරීම තමයි ඊළඟ අරමුණ.

උතුර සහ නැගෙනහිර මෙන්ම දකුණේ පුරවැසියන්ගේ පවුල් වල අතුරුදහන් වූවන් හට යුක්තිය ඉල්ලා ඔවුන් සැලකිය යුතු කාලයක සිට අද වෙන තුරු තවමත් සටන් වදිමින් ඉන්නවා. ඔවුන්ගේ ඒ යුක්තිය ඉල්ලාසිටීම නෑසූකන්ව සිටින රටකට අනාගතයක් තියනවාද?

යුක්තිය ඉටුකරලීමේ ක්‍රියාවලියක් නොමැතිව රටකට ප්‍රගමනයක් තියනවාද? රටක පුරවැසියෙක් මහපාරේ මරා දැමුවාට පස්සේ ඒ මරා දැමූ ඝාතකයාට රටේ ජනාධිපති වෙන්න පුළුවන් නම් මොකක්ද ඒ රට?

මේ සියළුම වින්දිතයන් හට යුක්තිය ඉටු වන තෙක් මේ රාජ්‍යය අපරාධ රාජ්‍යක්.
මාධ්‍ය නිදහස සුරක්ෂිත වූ රාජ්‍යයක පැවැත්ම තහවුරු කරන්න නම් ඒ වින්දිතයන් හට යුක්තිය ඉටු විය යුතුයි. එතෙක් සුපිරිසිඳු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රාජ්‍යයක් තැනීමට අපට හැකියාවක් නෑ. එමනිසා මේ අප පසුකරන් පැමිණි අතීතයට දඬුවම් නොදී අනගත ගැන සුබ සිහින දැකීම විහිළුවක් විතරයි.

මානව හිමිකම් අගයන, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පුද්ගලයෙ විදිහට ප්‍රසිද්ධ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ රට ගොඩනැගීමට අදහසක් ඇතිනම් ඔහු කළ යුතු එක් කාර්යයක් තමයි ජනාධිපති බලතල පාවිච්චි කරමින් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් බවට පත් කර ගෝඨාභය රාජපක්ෂ ගේ ආණ්ඩුව විසින් අඩපණ කරවන ලද සියළුම පරීක්ෂණ නැවත ආරම්භ කර මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම් සහ ඝාතනය කිරීම් වලට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දැක්වීමයි.

කේ. සංජීව – සභාපති,අයිතිය උදෙසා මාධ්‍ය වේදියෝ

 

 

Social Sharing
නවතම පුවත්