ජූලි 31 දා දවස විශේෂ ය. උදේ පාන්දරම අහන්නට ලැබුණේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාද කොට්ඨාශය, අත්අඩංගුවට ගෙන ඇති බවය. හේතුව සේ කියවුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන නීති විරෝධී ගිනි අවි ළග තබාගෙන සිටියා යන පරීක්ෂණයට අදාළව සාක්ෂි වසන් කිරීම සහ බොරු සාක්ෂි නිර්මාණය කිරීමය.
වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තනතුරේ දිවුරුම් දුන් පසුව, පසුගිය කාලයේ සී.අයි.ඩී ය යටතේ ආන්දෝලනාත්මක පරීක්ෂණ රැසක් මෙහෙයුම් කළ උසස් නිළධාරීන් රැසකට වෙනත් ස්ථානවලට මාරුවීම් ලැබුණි. නැතිනම් දේශපාලන පළිගැනීම් වලට ලක්වන්නට වුණි. ඒ අනුව ශානි අබේසේකර නම් දක්ෂ පොලිස් නිළධාරියාට ද ස්ථාන මාරුවක් ලැබුණි. ඉන්පසුව රංජන් රාමනායකගේ හඬපට උපයෝගී කරගෙන වැඩ තහනමකට ලක්කරනු ලැබීය. එතනිනුත් නොනැවතී සී.අයි.ඩී යට අලුතින් පත්වීම් ලැබ පැමිණි එහි ප්‍රධානියාට පොලීසියේම උසස් නිළධාරීන්ගෙන් උපදෙස් ලැබුණේ, ශානිව අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන්න කියා ය. අත්අඩංගුවට ගැනීමට හේතු නැතැයි කියූවිට එම නිළධාරීන් කියා ඇත්තේ, හේතු නැතිවුණත් දැන් වැල යන අතට මැස්ස ගැසිය යුතු බවය. කෙසේ හෝ මේ වනවිට සීඅයිඩීයට කරන්න බැරිවුණ දේ කොළඹ අපරාද කොට්ඨාසය කරඇත. එය වැල යන අතට මැස්ස ගැසීමක් ද, එසේත් නැතිනම් ඇත්තටම එම පොලිස් නිළධාරියා කළ වැරැද්දක් නිසාදැයි දැනට ටක්කෙට කියන්නට බැරිය. එහෙත් ශානි අබේසේකර ඇතුලට දාන්න දැගලූ දැගලිල්ල ගැන කල්පනා කිරීමේදී සාධාරණ සැකයක් මතුව එයි.
පසුගිය ආණ්ඩුව කාලයේ පරීක්ෂණ ඉදිරියේ සාක්ෂි ලබාදුන් බොහෝ සාක්ෂිකරුවන් මේ වනවිට ප්‍රකාශ කරමින් සිටින්නේ, තමන් ඒ සාක්ෂි ලබාදුන්නේ පොලීසියේ උවමනාවට ඔවුන්ගේ බලපෑම් නිසා බවය. (දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ගැන හිතන්න ) ශානි අබේසේකරට එල්ලවී තිබෙන චෝදනාවේ පසුබිමත් එය ය. ඒ අනුව බොහෝ පරීක්ෂණ වලට අදාළ දේවල් රිවස් විය හැකිය. මෙහෙම පසුබිමක පසුගිය ජුලි 31 හවස ආරංචි වුණේ කහවත්තේ ශාන්ත දොඩංගොඩ මරාදැමීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සහ තවත් දෙදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණ දඬුවම නියමකර ඇති බවය. තීන්දුවෙන් පසුව බන්ධනාගාර බසයට හිටපු මන්ත්‍රීවරයා පැමිණියේ සිනහමුසු මුහුණින් ය. ඒ සිනාවේ රහස කුමක්ද ? ජනාධිපති සමාවද? නැතිනම් අභියාචනාවකින් (රාජ්‍ය අනුග්‍රහයෙන්!) ගොඩයෑමද? දැන්ම කියන්නට බැරිය. එහෙත් එක දෙයක් ටක්කයටම කිව හැකිය, කොරෝනා සමයක ජනප්‍රිය වී සිටින පවිත්‍රා වන්නිආරච්චි පරදවා මනාප ලැයිස්තුවේ පළවෙනියා වන්නට ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීට මෙම දඬුවම නිසා අවස්තාව ලැබෙනු ඇති බවය.
ශාන්ත දොඩංගොඩ ඝාතනය
එය මහින්ද රාජපක්ෂ මහතා තුන්වෙනි වරටත් ජනපති වන්නට, ඔහුගේම පක්ෂයේ මහා ලේකම් මෛත්‍රීපාල සිරිසේන සමග ජනාධිපතිවරණයට තරග කළ ජනාධිපතිවරණ සමයයි. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බැනර්, පෝස්ටර්, කටවුට් හැම හන්දියකම, හැම ලයිට් කනුවකම, බැබලුන ඒ සමයේ විපක්ෂ අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරයට රත්නපුරේ ඉඩක් තිබුණේම නැත. විශේෂයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා
ආසන සංවිධායක ලෙස කටයුතු කරන නිවිතිගල ආසනයේ තත්ත්වය බරපතළ විය. නිවිතිගල එජාප ආසන සංවිධායක තලතා අතුකෝරල ද සිටියේ බියෙන් ය. ඇයගේ ආධාරකරුවන් ද පෝස්ටරයක් හෝ ගසන්නට පාරට බැස්සේ කලාතුරකින් ය. එහෙත් මෛත්‍රී රැල්ල රට තුළ සුනාමියක් සේ නැඟ ආ විට, ජනාධිපතිවරණයට ආසන්න වනවිට යම් පිපිදීමක් හැමතැනම ඇතිවිය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ආධාරකරුවන් ආමන්ත්‍රණය කරන්නට කහවත්තට එනවා කියූ පසු කහවත්තේ ශාන්ත දොඩංගොඩ ඇතුලු එජාප ආධාරකරුවන් බොහෝ දෙනෙක් යුහුසුළුව එම රැස්වීමට සූදානම් වෙමින් සිටියෝ ය.
ඒ අනුව මතක ඇතිලෙස 2015 ජනවාරි 5 දින හවස තිබුණ එම රැලිය සඳහා 2015 ජනවාරි 4 දා මධ්‍යම රාත්‍රියේ ශාන්ත දොඩංගොඩ ඇතුලු පිරිස කහවත්ත නගරයේ සැරසිලි කරමින් සිටියෝ ය. 2015 ජනවාරි 5 දිනට එළිය වැටෙන විට උදෑසන 1ට පමණ ශාන්ත දොඩංගොඩ ඇතුලු පිරිස සැරසිලි කරන භූමියට කඩාගෙන පැන්න නිවිතිගල ප්‍රේමලාල් ජයසේකර ඇතුලු පිරිස වෙඩි තබන්නට විය. එම වෙඩි තැබීමෙන් ශාන්ත දොඩංගොඩ සමග තව දෙදෙනෙක්ට තුවාල සිදුවිය. ඔවුන් රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුල් කළ අතර ශාන්ත දොඩංගොඩ ගේ තත්ත්වය බරපතළ විය. මැතිවරණ දිනයට ඔන්නමෙන්න තියා ශාන්ත දොඩංගොඩ ජීවිතය හැරගිය බව දැනගන්නට ලැබුණ විට මේ ලියුම්කරු රත්නපුර රෝහලට ගියේ ය. රෝහල වටා අරක්ෂාව තරකර තිබුණි. මාධ්‍යට ඇතුලට යන්නට නොදිණි. එහෙත් අමාරුවෙන් ඇතුලට පැනගත් මේ ලියුම්කරුට එහිදී ශාන්ත දොඩංගොඩගේ දියණිය මුණගැසුණි. ඇය හැඬූ කඳුළින් මෙම ඝාතනය ගැන කතාකළා මතකය.
‘තාත්තාට වෙඩි වැදෙනකොට මල්ලිත් එතන හිටියා. මල්ලි කියපු විදිහට තාත්තාගේ බඩට තමයි වෙඩි වැදිලා තිබුණේ. බඩවැල් එළියට පැනලා තිබුණා කියලා මල්ලි කිව්වා. තාත්තා කොළඹ ගෙනියන්න අපි රෝහල් අධ්‍යක්ෂකගෙන් ඉල්ලුවා. අපි කිව්වා අපි හෙලිකොප්ටර් එකක් හරි ගෙනල්ලා තාත්තාව එක්කරගෙන යංනම් කියලා. එතකොට තාත්තා මැෂින් එකේ හිටියේ. අපිට කොළඹ ගෙනියන්න දුන්නේ නෑ. හෙලවෙන්නවත් හොඳ නෑ කියලා තමයි කිව්වේ. ඒත් අපිට පස්සේ හිතුනා තාත්තා නැතිවෙලා මැෂින් ගලවන්නේ නැත්තේ ඒකෙන් ඡන්දයට බලපෑමක් වෙයි කියලා වෙන්න ඇති කියලා’ ඇය මෙසේ පැවසූ බව මතකය. ඉන්පසුව මේ මරණය ද භාවිතා කරමින් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳ ගත්තේ ය. ඒ හිඳ ගෙන පැය 24ක් යනවිට ඔහු තමන්ගේ ආධාරකරුවන්ට මරණය ගෙනා පාර්ශවය සමග ඩීල් දේශපාලනයකට ගියේ ය. එහි ප්‍රථිපලය ශාන්ත දොඩංගොඩ ඝාතකයින්ට නීතියෙන් දඬුවම් පමුණවන විට නැවත රාජපක්ෂ පාලනයක් මේ රට තුළ බිහිවී තිබීමය.
රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ඇතුලු තිදෙනෙකුට මරණ දඬුවම පණවමින් ප්‍රකාශ කළේ මෙම තිදෙනාට විරුද්ධව එල්ලවූ මිනිමැරීමේ චෝදනාව ඇතුලු අනෙකුත් චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙන බවය. මේ අනුව සපරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශ ද සිල්වා යන අයට මරණ දඬුවම නියම කරනු ලබන බව නියෝගය ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පවසා ඇත.
මෙම නඩුවේදී විත්තිකරුවන්ට විරුද්ධව පැමිණිල්ල විසින් සාක්කි 59 ක් සහ නඩු භාණ්ඩ 16ක් ඉදිරිපත් කර තිබුණි. ඒ මෙම වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ක්‍රියාත්මක වූ සීසීටීවී දර්ශන සහ දූරකථන දත්ත වාර්තා ද සමගය. මෙම සියළු සාක්ෂිවලින් ඔප්පුවී ඇත්තේ මෙම පුද්ගලයින් තිදෙනා ශාන්ත දොඩංගොඩ මරා දැමීමටද, කරුණාදාස වීරසිංහ, මොහොමඩ් ඉල්ෆාම් යන අයට මරණීය තුවාල කිරීමට ද සම්බන්ධ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පුවෙන බවය.
නිවිතිගල මැර දේශපාලනය
නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා පත්වෙනවා, මෙම ලියුම්කරුට මතකය. ඒ කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ ආසනය භාරව සිටියේ හිටපු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාය. ඔහුගේ කාලය තුළ නිවිතිගල සාමකාමී විය. එවක නිවිතිගල එජාප සංවිධායක වරයා වූවේ එජාපයේ හිටපු උප නායක ගාමිණී අතුකෝරල, හිටපු අමාත්‍යවරයා ය. ඔහු වටා තිබුණ රැස් වළල්ලද නිවිතිගල සාමකාමී වන්නට හේතුවුණා විය හැකිය. එහෙත් ඇඹිල්ලාගේ මරණයෙන් පසු නිවිතිගල තත්ත්වය වෙනස් විය. ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයට පසුව නිවිතිගල ආසනයේ තත්ත්වය බෙහෙවින් නරකවිය. එවක එහි ශ්රීලනීපයේ ආසන සංවිධායක ප්‍රේමලාල් ජයසේකර ය. ප්‍රදේශයේ බොහෝ ශ්‍රීලනීප ප්‍රබල ආධාරකරුවන්ගේ අතමිට තුවක්කු සහ ග්‍රේනේඩ් වලින් සරුවිය. ප්‍රදේශය හරහා ගලායන ගංගාවක මැණික් වළක් මතුවුණොත් එහි අයිතිකාරකම ප්‍රේමලාල් ජයසේකර නැතිනම් චොකා මල්ලීගේ ආධාරකරුවන් අතට ගියේ බලහත්කාරය මතය. බොහෝ ගොඩ පතල්වල ලැබෙන මැණික් වලින්ද යම් මුදලක් මේ මැරයන්ගේ සාක්කුවලට ගියේ බලහත්කාරය සහ චොකා මල්ලීගේ දේශපාලන රැස්වළල්ල නිසා ය. අවසානයේ ඔහුගේ මැර දේශපාලනය, ඔහුගේ දේශපාලන ජීවිතයද විනාශ කර දැමීය. මෙම ඝාතනය සමග එය ඔහුට තේරුම්ගිය බව, ඔහුගේ සමීපතයින් මේ ලියුම්කරු සමග පවසා ඇත. එහෙත් දැන් බොහෝ ප්‍රමාද වැඩිය.
ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී නිවිතගල ආසනයේ ශ්‍රීලනීප සංවිධායක වූ පසුව (දැන් පොදුජන පෙරමුණේ) ආසනය තුළ වගාදිගා කළ මැර දේශපාලනයේ අවසාන බිල්ල වූවේ ශාන්ත දොඩංගොඩ නොවෙන බව කිව යුතුය. ඔහුට පසුව 2015 ජුලි මාසයේ දෑල ප්‍රදේශයේ තවත් ඝාතනයක් සිදුවිය. එයද දේශපාලන අරෝවක් මත පදනම් වූ ඝාතනයක් ය. එහිදී චොකා මල්ලීගේ ආධාරකරුවන් විසින් ඝාතනය කරන්නේ, දෑල ප්‍රදේශයේ පදිංචිව සිටි තුෂාර දේවාලේගම නම් පුද්ගලයා ය. ඔහු ප්‍රදේශයේ නමගිය එජාප ආධාරකරුවෙක් ය. 2004/ 2009 අවුරුදුවල නිවිතිගල ප්‍රාදේශීය සභාවට තරග කළ අපේක්ෂකයෙක් ය. මෙවැනි ඝාතන පිටු දැකීමට නම් අප මේ මැර දේශපාලනය පිටුදැකිය යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාතාලය විනාශ කරන්නට කටයුතු කරන්නා සේ මේ දේශපාලන මැර පාතාලය විනාස කිරීමට ද කටයුතු කළ යුතුය. මෙවැනි මැර දේශපාලකයින්ට දේශපාලන ඉණිමගේ ඉහළට නඟින්නට ඉඩ නොදීම තුළින් එය සරළව කළ හැකිය. එහෙත් ප්‍රධාන පක්ෂ දෙකම එයට සූදානම් නැතිබව මෙවර නාමයෝජනා ලැබුණු පුද්ගල නාමලේඛණය පිරික්සීමෙන් අපිට තේරුම් ගැනීමට අමාරු නැත.
‘මම තමයි නිවිතගල ශ්‍රීලනීප ඡන්ද හැදුවේ. හැබැයි දැන් මටත් ඒ ආසනයේ දේශපාලනය කරන්න දෙන්නේ නෑ’ දිනක් ජෝන් සෙනෙවිරත්න හිටපු අමාත්‍යවරයා මේ ලියුම්කරු සමග පැවසීය. පහුගිය කාලයේ තලතා අතුකෝරල මැතිණියට පවා නිවිතිගල දේශපාලනය කිරීම ලේසි නොවීය. ඒ මෙම මැර දේශපාලනය නිසා ය. එනිසා ජේෂ්ඨ දේශපාලකයින් දැන්වත් ‘වී බලාගෙන අබ නොවැපිරිය’ යුතුය.
– කේ. සංජීව