සජබ දාපු 21ට ජනමත විචාරණයක් ඕනෑ

සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (21) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශයට පත් කරමිනි.

කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කරමින් මෙසේද සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලද “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක්වැනි සංශෝධනය” නමැති පනත්කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු කැමැත්තෙමි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහත තීන්දුව ලබා දී තිබේ:-

(i) පනත්කෙටුම්පතෙහි 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 15, 23, 24, 26, 27, 28 හා 36 වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(ii) පනත් කෙටුම්පතෙහි 2, 3 සහ 4 වැනි වගන්තිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඉ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන විධිවිධාන අඩංගු වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්ති පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරය සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

(iii) පනත් කෙටුම්පතෙහි 14 වැනි වගන්තිය දැනට පවතින පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවනු ලැබිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමග අනනුකූල වන අතර, ඒ අනුව අදාළ පනත් කෙටුම්පතෙහි එකී වගන්තිය පනවනු ලැබිය හැකි වනුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාවෙහි නියම කෙරෙන පරිදි විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදුව, 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කිරීමෙන් පමණි.

එතකුදු වුවත්, යෝජිත 41 (අ) (1) ව්‍යවස්ථාව ඉහත විග්‍රහ කරන ලද ප්‍රතිපාදනය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ලෙස සංශෝධනය වන්නේ නම්, යෝජිත 41 (අ) (6) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා හට තම නාමිකයා වශයෙන් එක් පුද්ගලයෙක්, සභාවේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට අවස්ථාව සැලසෙන්නේ නම්, ජනමත විචාරණයක අවශ්‍යතාව නිෂේධ වේ;

(iv) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ පනත් කෙටුම්පතෙහි 19 වැනි වගන්තිය අනනුකූල වන අතර, එය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(v) පනත් කෙටුම්පතෙහි 30 (අ) වගන්තිය මඟින් ජනතාවගේ අධිකරණ බලය සීමා කිරීමට අපේක්ෂා ‍කෙරෙන බැවින්, එම වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව සහ 4 (ඉ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ අනනුකූල වන අතර, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vi) පනත් කෙටුම්පතෙහි 39 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමට අපේක්ෂා කරන බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ආ) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 3 වැනි ව්‍යවස්ථාව සමඟ එය අනනුකූල වන බැවින්, එම වගන්තිය පැනවිය හැකි වන්නේ 84(2) ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාවට අනුව පවත්වනු ලබන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(vii) පනත් කෙටුම්පතේ 43 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) ව්‍යවස්ථාව සමග කියවිය යුතු 2 වැනි සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, ඒ අනුව එය පනවනු ලැබිය හැක්කේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලබන විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි;

(VIII) පනත් කෙටුම්පතේ 51 වැනි වගන්තිය යටතේ එන වෙනත් කරුණු අතර, අග්‍රාමාත්‍යවරයා සභාපතිවරයා බවට පත් විය යුතු ජාතික ආරක්ෂක සභාව නමින් යුත් XIX-ඇ අධිකාරය හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි.

යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) යන ව්‍යවස්ථා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය සමග කියවිය යුතු 1, 2 සහ 3 වැනි ව්‍යවස්ථා වලට අනනුකූල වන බැවින්, එබැවින් ඒවා පනවනු ලැබිය හැක්කේ 84(2) වගන්තිය ප්‍රකාරව විශේෂ බහුතරයකින් සහ 83 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පවත්වනු ලබන ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්නේ නම් පමණි:

එතකුදු වුවත්, යෝජිත ජාතික ආරක්ෂක සභාවේ සංයුතිය වෙනස් කරමින් ජනාධිපතිවරයා යෝජිත සභාවේ, සභාපතිවරයා බවට පත් කිරීම සඳහා යෝජිත 156ඌ (1) සහ 156ඌ (2) ව්‍යවස්ථා සංශෝධනය කරනු ලබන්නේ නම්, එවිට එවැනි අනනුකූලතාවක් නිෂේධ වනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත කටයුතු වල නිල වාර්තාවෙහි මුද්‍රණය කළ යුතු යැයි මම නියෝග කරමි.

කෙසේවෙතත් සජබය මේ වනවිට තීන්දු කර ඇත්තේ 21 සම්මත කර ගැනීම සදහා ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් ඊටද සහාය දැක්වීමටය.

උපුටාගැනීම මව්රට

Social Sharing

Related posts