-කේ. සංජීව-
මම පහුගිය දවස්වල පුත්තලම, අනුරාධපුරය, ත්‍රීකුණාමලය, කුරුණෑගල, රත්නපුර, මොනරාගල, නුවරඑළිය කියන දිස්‍ත්‍රික්කවල ඇවිද්දා. මෙහෙම යනකොට පළවෙනි නිරීක්ෂණය තමයි පාරේ වාහන අඩුවීම. ඔව් ඒක වර්තමාන තෙල් අර්බුදය එක්ක සාමාන්‍ය දෙයක් කියලා කෙනෙක්ට කියන්න පුලුවන්. ඒත් එතන අපිට පේනවට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා.
දෙවෙනි නිරීක්ෂණය තමයි හන්දිවල තිබුණ ත්‍රී විලර් පොකුරු අඩුවීම. ඒකත් තෙල් අර්බූදයේම කොටසක්. ඒත් එතනත් ලොකු කතාවක් තියෙනවා. ඊළඟට අපි වෙනදට වාහනේ නතර කරලා තේ බීපු කෑම කාපු කඩ ගොඩක් වැහිලා ගිහිං. තියෙන කඩත් වැහෙන්න ඔන්න මෙන්න පණ අඳින සෙයක් තමයි පෙන්නුවේ.
ඊළඟ නිරීක්ෂණය තමයි ගම්වලට ගියාම නිතර අහන්න ලැබුන චූන් පාන් සද්දේ වියැකිලා ගිහිං තිබීම. ඉස්සර රූ ගැන්වීමකට ගියොත් මේ චූන් පාන් මාර වධයක් දුන්නේ. ඒත් දැන් ඒ කරච්චලේ නෑ කියලා හිත හදාගන්න පුලුවන්. අපිට එහෙම පුලුවන් උනාට විශාල කතාවක් මේ හඬ නෑසිල්ල අස්සේ ලියවෙලා තියෙනවා.
මේ හැම දෙයක්ම ලංකාව අස්සේ කාලයක් තිස්සේ පැතිරුණ ව්‍යාපාර. මේ ව්‍යාපාර නිසා මිනිස්සු විශාල ප්‍රමානයක් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගත්තා. ළමයින්ගේ ජීවිත ජීවත් කෙරෙව්වා. ලංකාවේ ආර්ථිකය හුස්ම ගත්තේ මේ කර්මාන්ත නිසා. ඒක තමයි ඇත්ත. ඒත් අද මේ කර්මාන්ත සියල්ලම බලා ඉදිද්දී පොළවට සමතලා වෙලා.
ගෝඨාභය රාජපක්ෂ පාලන බලය ඩැහැගන්න මානබලනකොට, හොරගල් ඇහිදිනකොට ඔබ ත්‍රීවිල් රථයකට ගොඩවැදුනානම්, ඔබ ත්‍රීවිල් රියදුරන්ගේ දේශන අනිවර්‍යෙන් අහලා ඇති. ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්න මේ තෙල් සාත්තුව විශාල හේතුවක් වුණා. ත්‍රීවිලර් රථයකට නැඟ්ග උග්‍ර ජවිපාවෙක් උනත් මේ තෙල් සාත්තුව නිසා මෙලක උනා. සමහර වෙලාවට මනාපේ දෙන්න හිත හදාගත්තා. අද එවැනි කර්මාන්තයකට ලබලා තියෙන දසාව කුමක් ද?
2018 වෙනකොට ලියාපදිංචි ත්‍රී රෝද රථ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් දහසක්. (1150000) ඒක ඒ කාලේ ආසන්නව රටේ ජනගහනයෙන් දහනව දෙනකුට එකක්. මේ සංඛ්‍යාවෙන් අට ලක්ෂ පනස් දහසක් (850000) මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවිලර්. ඒකෙන් තුන් ලක්ෂ පනස් දහසක් (350000) හිටියේ බස්නාහිර පළාතේ. කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල.. මේ ගණන් මිනුන් අද වෙනකොට සෑහෙන්න විශාල වෙලා. වෙනස් වෙලා. ඒක කතා දෙකක් නෑ. එදා ජනග්‍රහනයෙන් 19 දෙනෙක්ට එක ත්‍රීවිල් එකක් තිබුණා. අද වෙනකොට ඒ ගාන 10 දෙනෙකුට එකක් විදිහට වෙනස් වෙන්න පුලුවන්. බස්නාහිර පළාතේ තිබුණ තුන් ලක්ෂ පනස් දහස දෙගුණයක් වෙන්නත් පුලුවන්.
2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනකොට ලංකාව අස්සේ ඉහළට නැඟලා ආපු සේවාවන් දෙකක් තමයි පික්මී සහ ඌබර් කියන ටැක්සි සේවාවන් දෙක. මේ දෙකේම තිබුණ ත්‍රීවිලර් වලට සෑහෙන්න ඉල්ලුමක් ජනතාව තුළ තිබුණා.
ඒ නිසාම දිනෙන් දින ගම්බදව ටුක් ටුක් රස්සාව කරපු තරුණයෝ විශාල වශයෙන් කොළඹට සංක්‍රමනය වෙලා මේ රැකියාව කරන්න උනා. ඒ පික්මී සහා ඌබර් එක්ක එකතුවෙලා. එළිවෙන යාමෙට විහාර මහා දේවි උද්‍යානය අසලට ඒ කාලේ ගියානම්, ත්‍රීවිලරයේ ජීවත්වුණ මේ මිනිස්සු ඔබට මුණගැහිලා ඇති.
ඔවුන් උදෑසන ශරීර කාර්‍යයන් කළේ විහාර මහා දේවි එක අස්සේ තිබෙන වොෂ් රූමයෙන්. එවැනි තැන් කොළඹ ගොඩක් තිබුණා. සමහර ත්‍රීවිල් රියදුරන් කොළඹින් නවාතැන් අරගෙන ජීවත් වුණා. මෙහෙම මේ ආර්ථිකයෙන් විශාල වශයෙන් මුදල් හොයපු සෑහෙන්න ප්‍රමානයක් මිනිස්සු හිටියා. ගොඩක් දෙනෙක් මැදපෙරදිග රුපියල් 30,000ට 40,000ට රස්සාවට නොයා මෙහේ නැවතිලා ත්‍රීවිලරයෙන් ඊට වඩා විශාල මුදලක් සෙව්වා.
අද වෙනකොට මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටිලා. ටුක් ටුක් කියන්නේ තරුණ ශ්‍රමය විශාල වශයෙන් ගාල්වුණ තැනක්. අද මේ තාරුණ්‍ය අනාථ වෙලා පාරට වැටිලා ඉවරයි. සමහර තරුණ ජීවිතවලට කරගන්න දෙයක් හිතාගන්නත් බෑ. ත්‍රීවිලර් කර්මාන්තය කියලා කියන්නේ තවත් සේවාවන් විශාල ප්‍රමානයක් එක්ක බැඳුන දෙයක්. ඉතිං අද ඒ සියල්ල විනාශයේ මාර්ගයට වැටිලා.
ත්‍රී වීලරය තෙල් නැතුව ගෙදර ඔහේ බලාගෙන ඉන්නවා. ඒ අස්සේ හාල් කිලෝ එකක මිල රුපියල් 300ට වඩා උඩ ගිහිං. එළවළු වගේ දේවල් දිහා බලන්න බෑ. එදා 250ට තිබුණ සාලයෝ කිලෝව අද රුපියල් 800ක් වෙලා. ගෙදර බල්ලටත් දැන් සම්බෝල එක්ක බත් කන්න වෙලා. මේ තත්ත්වය අස්සේ ත්‍රීවිලරයෙන් පවුලක් ජීවත් කරපු ලක්ෂ 15ක් විතර වෙන මිනිස් ජීවීන්ට අද උරුම තත්ත්වය මොකද්ද? ඔවුන්ට අද උරුම වෙලා තියෙන්නේ බඩගින්නේ දරුවෝ අඬනකොට ගඟට පැනලා ජීවිතයට තිත තියන්න.
අඩු අධ්‍යාපනය සහ සම අධ්‍යාපන අවස්ථා අහිමිවීම වගේ ප්‍රශ්න නිසා තමයි තාරුණ්‍ය ත්‍රීවිලරයක් උඩට වැටෙන්නේ. එහෙම වැටුණ ජීවිතයක් නැවත කඩාගෙන වැටෙනවා කියන්නේ ඒක ඉදිරියේදී සමාජයට විශාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්.
ඒ නිසා මේ ආර්ථික අර්බුදය සමග අනාථභාවයට පැමිණෙන ප්‍රජාවන් ගැන අපි නැවත නැවතත් සිතන්න ඕනී. මේ මිනිස්සු ආරක්ෂා කරගැනීම සඳහා යම් සමාජ ආරක්ෂණයක් ගොඩනඟන්න අවශ්‍ය මැදිහත්වීම රාජ්‍යය වගේම රාජ්‍ය නොවෙන සංවිධානත් මේ වෙලාවේ වහාම කරන්න ඕනී.