“බැසිල් ජනාධිපති වුණොත් රටම ඉවරයි” – විජයදාස රාජපක්ෂ

කේ.එල්. සුරවීර – මහනුවර

21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ද නැතහොත් ව්‍යවස්ථාව විශාල සංශෝධනයකට ලක්කරන්නේ ද යන කාරණය ජනතාව සමග සාකච්ඡා කර ගත යුතු බව මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහා සංඝරත්නයේ මතය බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

ආණ්ඩුවේ මතය ද මෙය බව ත් මුලින් යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වැදගත් බව ත් ඒ මහතා කීය.

මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු කිහිපනමක් සමග කළ සාකච්ඡාවකින් පසු පසුගිය දා පස්වරුවේ රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ ද කීවේ ය.

“ජන අරගලයේ යෙදී සිටින තරුණ කැල යම් යම් ජයග්‍රහණ ලබමින් සිටිනවා. ඒ ඔස්සේ විශාල පරිවර්තනයක් රටේ සිදුව තිබෙනවා. ඉන් එහා වෙනසක් කරනවා නම් ඒක කරන්න සිද්ධ වෙන්නේ පාර්ලිමේන්තුව තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව ඇතුළත යි. විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනපතිවරයාගේ බලතල සෑහෙන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පවරා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මේ සඳහා ප්‍රතිපාදන සලසා තිබුණත් විසිවන සංශෝධනය මගින් ඒවා අහෝසි කළා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය තන්ත්‍රයේ කඩා වැටීමක් සිද්ධ වුණා.

ඉහළ තනතුරුවලට බොහෝ වෙලාවට පත්වුණේ නුසුදුසු පුද්ගලයන්. විසි එක් වන සංශෝධනය මගින් නැවතත් ඒ ගිලිහී ගිය ස්වාධීනතාව ආරක්ෂා කරන්නත් රටේ ජනතාවගේ ප්‍රබල ඉල්ලීම් සම්බන්ධව අවධානය යොමු කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

මම ඇමතිකම ගත්තේ ජනපති ආරක්ෂා කරන්න හෝ ඇමතිවරු ආරක්ෂා කරන්න නෙවෙයි, ජනතාව ආරක්ෂා කරන්නයි.

මේ භාරදූර අවස්ථාවේ වගකීම් භාරගත්තේ ජනතාව වෙනුවෙන්. නීතිය ක්‍රියාත්මක කරන ආයතන ස්වාධීන කරන්න ඕන.

කච්චතිව් දූපත නැවත ලබා ගැනීම සම්බන්ධව තමිල්නාඩු දේශපාලනඥයන් කිහිප දෙනෙකු අදහස් පළ කර තිබුණ ත් එම තීන්දු ගන්නේ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව විසිනුයි.

එවැනි තීන්දුවකට මධ්‍යම ආණ්ඩුව අනුගත වෙන්නේ නැහැ කියලා විශ්වාසයි. රාජ්‍ය ඇමතිවරු පත්කරද්දී ඉල්ලන අයට නොවේ සුදුසු අයට දිය යුතුයි. මේ රට ආර්ථික වශයෙන් ප්‍රපාතයට ඇද දැමීමට කටයුතු කළ පිරිසක් ඉන්නවා. ඔවුන් වංචා දූෂණ සිදුකර තිබේ නම් ඒ සම්බන්ධව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා.

පසුගිය කාලයේ කොමිෂන් සභා ක්‍රියාත්මක වුණාට ඒවා ස්වාධීනව ක්‍රියාත්මක වුණේ නැහැ. විසි වන සංශෝධනය මඟින් ප්‍රසම්පාදන හා විගණන කොමිෂන් සභා දෙක ම අහෝසි කළා. ඒකෙන් අදහස් කරන්නේ දූෂණ වංචා කළාට කමක් නැහැ කියන එකයි. පාලිතයා පමණක් නොව පාලකයාත් නීතියට යටත් විය යුතුයි.

මම එද ත් අද ත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු දේශපාලන පරිණත භාවයකින් තොර අසමත් පුද්ගලයෙක් කියලයි. ඔහු සමත් පුද්ගලයෙක් නම් කිසි දිනක ආණ්ඩුව පවත්වාගෙන යනවා මිසක අපිට අඬගහලා ඇමැතිකම් දෙන්නේ නෑ. නමුත් මෙතැන යම් ගැටලුවක් තිබෙනවා මේ වනවිටත් පොහොට්ටුවේ බලය පවතින්නේ බැසිල් රාජපක්ෂ අතයි.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ ඉවත් කොට බැසිල් රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වුවහොත් රටට අත්වන ඉරණම පිළිබඳව අපට හිතාගන්නවත් ලැබෙන්නේ නෑ.

මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ දේශපාලනඥයන් මුණගැසීම ප්‍රතික්ෂේප කොට ඇති බැවින් මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරි පහමුණේ සුමංගල නාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභාවේ හිමිවරු බැහැදැකීමට අමාත්‍යවරයා කටයුතු කළේ ය.

උපුටා ගැනීම – මව්බිම

Social Sharing
නවතම