ජනතාවාදියෙකු​ගේ ජන හතුරෙ​ක් දක්වා ගමන

[මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රය]

ඒ හැත්තෑවේ දශකයේ ආරම්භයයි. අපි නව යොවුන්වියේ හිටියේ. රජයේ රැකියා හිඟ දේශපාලකයන් එකල “රෙස්ට් හවුස් පත්විම් හෙවත් තානායම්වලදී තරුණියන්ට රැකියා සඳහා සම්මුඛ පරික්ෂණ පැවත්වීම බොහෝම ප්‍රසිද්ධ පිළිගත් ක්‍රමයක්ව පැවතුනා. මෙසේ රැකියා දෙන මංත්‍රිවරුන් අතරේ එකල බෙලිඅත්තේ තරුණ මංත්‍රිවරයාවූ  මහින්ද රාජපක්ෂගේ නම ද ඇමිණී තිබුනා. එවකට අගමැතිවරියවු සිරිමා බණ්ඩාරනායකගේ තරුණ පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක හා මහින්දගේ බරපතල මිතුරුකම නිසා මේ දෙදෙනාගේම නම් එකටයි කියවුනේ. මෑතකදී ගාමිණි [මුතුකුමාරණ] සමඟ කෙරුණු කතාබහක දී මේයට අපුරු සාක්ෂියක් එකතු වුණා. තිස්ස, දෙබරවැව උපන් ගාමිණි දිගු කලක් හම්බන්තොට ජවිපේ ක්‍රියාකාරිකයෙකුව සිටිද්දී ඇසින් දුටු දෙයක් කීවේ.

‘පොලිස් නිලධාරියෙකුව සිට පසුව ජවිපේ නායකයෙකු වූ ආරියසේන ඊශ්වරගේ [89 ඔහු මරා දැමුණා] 1980 ආරම්භයේ මැතිවරණ වේදිකාවක කතාවක් කරද්දි, මහින්ද රාජපක්ෂ වීරකැටිය තානායමේ පත්වීම් දුන් ආකාරය විස්තර කළා. පසුව ශ්‍රීලනිප රැස්විමක දි පිළිතුරු දුන් මහින්ද ආරියසේනගේ අක්කාටත් ඒ ආකාරයට පත්විමක් දුන් බව කීවා. මේ කතාවෙන් ආරියසේන බලවත් ශොකයට හා කෝපයට පත්ව හැඬුවා’

ගාමිණි මේ කතාව කිවේ දැන් මාස කීපයකට පෙර. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ගමන ගැන අමුතුම කතාවක් අපට කීවේ ජවිපේ හිටපු මංත්‍රී විජිත රණවිර.

‘ 1971 වෙද්දි මම නෙටොල්පිටියේ ගම් සභාවේ ශ්‍රීලනිපයෙන් තරඟකර දිනු සභාපති. ලුණු සංස්ථාවෙත් සභාපති. 1971 අප්‍රියෙල්වල දී ජවිපේ සැකකරුවන්ගේ නම් ලැයිස්තු පොලිසියට දුන්නේ මංත්‍රිවරු. මහින්ද රාජපක්ෂ පොලිසියට දිපු ලයිස්තුවේ උඩින්ම තිබුනේ මගේ නම. එයා කල්තියා දේශපලන තරඟකරුවන් තරඟයෙන් ඉවත්කලේ ඒ විදිහට. මම හිරගෙදරදී තමයි ඇත්තටම ජවිඔපේට එකතු වුනේ’

මේ වගේම මහින්දගේ දේශපාලන ගමන ගැන කතාවක් ප්‍රින්ස් ගුණසේකරහේ අහිමිවූ පරපුර පොතේ තියෙනව. ප්‍රින්ස්ට අනුව 1988 ජවිපේ හිටපු නායකයෙකු වූ නීතීඥ විජේදාස ලියනාආරච්චි පැහැර ගැනුනු දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල හා මහින්ද හමුවිමක් තංගල්ලේ තානායමේ දී සිදුවූ බව එහි සඳහන් වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටි ශ්‍රීලනිපයේ දෙවෙනි පෙල නායකයෙක් වූ වලස්මුල්ලේ නීතීඥ බන්ඩාර 1989 දී වෙඩිතබා මරා දැමීම පිටුපස මහින්දගේ නම තිබුනා. 1988 දී දේශප්‍රේමී ව්‍යාපරය මහාමැතිවරණය බලහත්කාරයෙන් වර්ජනය කරවද්දී මහින්ද චන්ද පොලවල්වලට කඩා වැදී තමන් වෙනුවෙන් චන්ද මිටි පිටින් දමා ගත් ආකාරය ගැන වාර්තා තිබුනා.

තමන්ගේ පරම්පරා දේශපාලනය අනාගත පවුල් පරපුරට බාර දිමට රාජපක්ෂලා බරපතල උනන්දුවක් දැක්වුවා. වසර 1998 පමණ අප බීබිසී සංදේශයේ නිෂ්පාදකයෙක්ව සිටිද්දී ‘සිංහලයන්ගේ කුල වෙනස්කම්’ ගැන වැඩසටහන් මාලාවක් කළා. එහෙම කරන අතරේ තංගල්ලේ සුණ්ණක්කාර වංශිකයෙක් මෙහෙම කීව. තමා  දේශපාලන උත්සවයක දි රාජපක්ෂ පවුලේ කෙනෙකුට මල්මාලයක් දැමිමට ඉදිරිපත් වූ විට  විට ඔහු හිස නැමීම වෙනුවට තමන්ට කකුක් දිගු කල  බව ඒ වැඩිහිටියා කියා සිටියා. එය ප්‍රචාරය වු දිනට පසු දිනම අපට කතා කල මහින්ද එහෙම දෙයක් කිසිම දිනක සිදු නොවූ බව කියා එය නිවැරදි කරන්නැයි ඉල්ලා සිටියා. අපි නිවැරදි කිරීම වෙනුවට ඒ වෙනුවෙන් ඔහු නිකුත්කළ කෙටි නිවේදනයක් ඉදිරිපත් කළා.

ලෙනාඩ් වුල්ෆ්ගේ හම්බන්තොට දිනපොත්වල ගිරවාපත්තුවේ උඩු කය නොවැසු ස්ත්‍රීන් පිරිසක් එය වසා ගැනීමට අවසර පැතු ආකාරය සටහන් කර තිබෙනවා. එහිදි මේ කුල පීඩිත ස්ත්‍රීනට අඩනිරුවතින් සිටීමට බල කළ එම ප්‍රදේශයේ ගම් ප්‍රධානියා කවරෙක් දැයි නොතිබුනත් ඔවුන් රාජපක්ෂ පවුලේ ආදිතමයන් බවයි අප විශ්වාස කරන්නේ. මන්ද දේශපාලනයේ දී ජාතිය [සිංහල] ආගම හා කුලය මහින්ද රාජපක්ෂ තරම් බරපතල ලෙස යොදා ගත් නූතන නායකයෙක් නැති තරම්. ඔහු වෙනත් කුලයක රාජපක්ෂ කෙනෙක් ගැන කතා කරද්දී ඔහුගේ කුලයේ අපහාස නාමය මුලට දාලයි කතා කලේ. අර හකුරු රාජප්ක්ෂ, අර හාලි රාජපක්ෂ, අර පදු රාජපක්ෂ නමින් ඔහු කිසිම පැකිලීමක් නතිව කියන්නට පුරුදු වි සිටියා.

ඔහු මේ කුල දේශපාලනය කෙතරම් දක්ෂ ලෙස යොදා ගත් ආකාරය පෙන්නේ ඔහු අගමැතිවන්නටත් පෙර ගොවි කුලේ නිකායවලින් ගෞරව නාම ලබා ගත්තා. ඒක පටන් ගත්තේ ගොවි කුලයට සීමාවු සියම් නිකායේ රෝහණ පාර්ශවයෙන්. පසුව සෙසු සියම් නිකායික පාර්ශව වලින් එහෙම නම්බු නාම ගත්තා. එය අනියමින් රටේ බහුතරයක් වූ ගොවි කුලයට තමන්ගේ කුලය ගැන දුන් ඉඟියක්. මන්ද රාජපක්ෂ වාසගම ලංකාවේ කුල ගණනාවකටම තිබෙන නිසයි.

මහින්ද මුලින්ම අපට හමුවෙන්නේ අනූ ගනන්වල මුල කතරගම පාද යාත්‍රාව හා ජන ඝෝෂා මෙහෙයවන කාලයේ. ඔහු පත්තරකාරයන් සමඟ බොහොම මිත්‍රයි. මේ නිසා ඇති තරම් තමන් ගැන ප්‍රචාරය කර ගන්න ඔහුට පහසු වුණා. අපට පුත්ගලිකවම මුලින්ම හමුවුනේ 1994 චන්ද්රිකා ආණ්ඩුවේ කම්කරු ඇමති කාලේ. බියගම ඇන්සල් ලංකා වර්ජනය යන අතරේ. ඔහු ලඟින් හිටියේ එජාපයේ සිට පැමිණි බැසීල් [ රාජපක්ෂ]කුසල් [පෙරේරා] හා සුමිත්‍රා [රාහුබද්ද]ඒ වන විටත් ඔහු ජනතාවාදියෙකු වී ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රතිරූපය ඔසවා ගන්න සුදානම්ව සිටියා. ඇමති මහින්ද  කැබිනෙට්ටුවේ තොරතුරු පත්තරවලට දෙන නිසා චන්ද්රිකා එකල ඔහු“රොයිටර්” නමින් විකට නාමයක් දී තිබුනා.

2004 දී ඔහුට විපක්ෂ නායකයා වෙන්නේ රත්නසිරි වික්‍රමනායක අස්විමත් සමඟයි. මෙය කාණුවේ පාවෙමින් තිබූ ඔටුන්න අහුලා ගැනීමක් හැටියටයි පේන්න තිබුනේ. ඔහු ඒ කාලේ යුද්ධය වෙනුවට සාමකතා වලටයි පක්ෂව සිටියේ. 2005 දි ජනාධිපතිවරණයට තරඟ කරද්දී ඔහු ගැන වාර්තා චිත්‍රපටයක් හදන්න අපට ඇණැවුමක් ලැබුන. එයට අදාලව මහින්ද සමඟ කෙරෙන සම්මුඛ සාකච්චාව තිබුනේ තංගල්ලේ කාල්ටන් නිවසේ උදේ 5.00. අපි එහි යනවිටත් අනුගාමිකයෝ සමඟ මහින්ද කතාවේ. ඒ වෙලාවේ අනුගාමිකයෝ ඔහුගෙන් ධීවර බෝට්ටු ඉල්ලා සිටියා. ඔහු ඔවුන්ට මෙහෙම කිව. ‘මාව ජනාධිපති කරපල්ලා. ඉට පස්සේ උඹලට ඕනම දෙයක් දෙන්නම්’ . මේ තමයි ජනප්‍රිය ජනතාවාදී දේශපාලනය කෙරෙන විදිහ.

අපි කැමරා අටවාගෙන උදේ 6.00 වෙනකල් හිටිය. මිනිහ නෑ. මම කාඹරේට ඔළුව දාල කිව්ව අපි ලෑස්තිවෙල බලා ඉන්නේ කියල. එතකොට මහින්ද කිව්ව. ‘ඕයි වතුර නෑ. මාර වැඩේ. මට මූණ හෝදගන්න තියා රැවුලවත් කපා ගන්න විදිහක් නෑ’කියල. ඒ කියන්නේ 2005 වෙද්දී කාල්ටන් නිවස ජලය ගබඩා කරන්න ටැංකියක් තිබුනේ නෑ කියන කාරණයයි. පස්සේ ඒව වෙනස් කර ගත්තු විදිහ ලියන්න ඕන නෑනේ…!

මහින්දට තමන් කාපුබිපු විදිහ කියන්න ලජ්ජාවක් තිබුනේ නෑ. වතාවක් අපි ගණනාථ [ඔබේසේකර] එක්ක බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තියෙන ලංකාවේ පුස්කොලපොත් පොදු පරිහරණයට අන්තර් ජාලයට දමන්න ඒ රටේ රජයෙන් කෙරෙන ඉල්ලිමක ලියුමක් බාර දෙන්න ජනාධිපති මහින්ද හමුවුණා. අපත් එක්ක බ්‍රැඩ්මන්[ විරකෝන්] හා ගොඩගේ [පොත් ප්‍රකාශක]උන්නැහේලත් හිටිය. මහින්දට ගණනාථ ගැන කියපු ගමන් කීවේ ‘ අයියෝ ඉස්සර අපිට ගල් අරක්කු  ටිකක් බොන්න නැති වුනාම අපි යන්නේ බම්බලපිටියේ වසන්ත [ඔබේසේකර]ගේ ගෙදර. ඒ කාලේ වසන්ත ලඟ ඕන වෙලාවක ගල් අරක්කු තියෙනව’. බ්‍රැඩ්මන් තානාපති බසින් ලියූ එම ලිපිය කිසිම දිනක බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බාර නොදුන්නත් මහින්ද අපි ඔක්කොටම කෑමට ආරාධනා කරන්න අමතක කළේ නෑ. අපට ඉතිරි වුනේ කාපුව විතරයි.

ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක, අනගාරික ධර්මපාලගේ දේශපාලන පුත්‍රයා වෙන්නේ අහම්බෙන්. දේශපාලන අරමුණු වෙනුවෙන්. අපට හිතෙන්නේ මහින්ද රාජපක්ෂ තමයි ධර්මපාලගේ දේශපාලන මුණුපුරා. ඔහු ඒක කරන්නේත් අහම්බෙන්. 2006 දී කොටි සංවිධානය සමඟ සාම කතා බිඳ වැටුනට පස්සේ. 2005 දී ඔහු ජවිපේ සහායෙන් සිංහල බෞද්ධයන්ගේ විශ්වාසය දිනා ගන්නව. එයම තමා ඔහුට අවසානේ ජන හතුරා කරන්නේත්.

ඔහු හා සොහොයුරා [ගෝඨාභය] යුද්ධයේ විරයන් වුවත් අපේ විශ්වාසය නව දිල්ලියේ මෙහෙය විමටයි ඔහු යුද්ධයට බැස්සේ. මේ නිසා 2007 ඉඳල 2009 මැයි 19 වෙන කල් හැම සතියකටම දෙවතාවක් රෝ ඔත්තු සේවයේ නායකයා හා ඉංදිය විදේශ අමාත්‍යාංශයේ ලේකම් කොළඹට පැමිණ ආරක්ෂක මණ්ඩලය හමුවූ බව ප්‍රකට කාරණයක්. අපේ දෙමළ මිත්‍රයෝ කියන විදිහට 2009 මාර්තු වෙද්දී යුද්ධය ඉවරයි. රාජපක්ෂලාට ඕන වුනේ ප්‍රභාකරන් අල්ල ගෙන ලොරියක ගැට ගහල ප්‍රදර්ශණය කරන්න. එහෙත් කිසිම තුවාල ලැබු “කොටියෙක්” ජිවක්ග්‍රහයෙන් නොගැනීමට නවදිල්ලියේ තිරණය වූ නිසා එය මැයි දක්වා ගෙන යාමට සිදුවුණා. එහෙත් නවදිල්ලිය දැන් වගේම 2014 වෙද්දී රජපක්ෂලා අත්හැර දැම්ම. චීන හිතවාදය නිසා. දැන් පොදුජන පෙරමුණේ කඳට රනිල් ඔළුව හයි කලේත් නවදිල්ලිය කියලයි අපේ විශ්වාසය. අපිත් යුක්‍රේනය වගේම “සෑන්විච්” රටක් බලවත් රටවල් තුනක [ඉංදියාව, චීනය හා එක්සත් ජනපදය] මැදිවෙල ඉන්නේ. එහෙම රටකට ස්වාධීන තීන්දු ගන්න අමාරුයි. එය භූ දේශපාලනයයි.

මහින්ද පවුලේ දේශපාලනය “හතරවරිගයේ දේශපාලනය” බවට පත් කරන්න උත්සාහ කළා. ඔහුගේ දරුවන් මෙන්ම ඔහුගේ සහෝදර සහොදරියන්ගේ දරුවන් පවා රාජ්‍ය නිලධාරින් හා ඔවුන්ගේ අනුගාමිකයන් ඉදිරියේ හැසිරුනේ “සකල කලා වල්ලභයන්” විදිහට. උන් ඔක්කොටම මුලදී බස්නායක නිලමේ තනතුරු හා වෙනත් සිවිල් තනතුරු ඕනෑ වුණා. පසුව දේශපාලන නායකයන් වෙන්නත් වුවමනා වුණා. ලංකාවේ ආණ්ඩුවක් තුල පවුල් දේශපාලනය යොදා ගැනිම අතින් රාජපක්ෂලට දෙවෙනි වෙන්නේ ‘ඩයස් බණ්ඩාරනායක – රත්ට්ත්තේ පවුල විතරයි. මේව බණ්ඩාරනායක හා රාජපක්ෂ පවුලේ ප්‍රශ්නයකට වඩා ලංකාවේ ජහමනයාගේ ප්‍රශ්නයක් විදිහටයි අපි දකින්නේ.

ජන මිතුරෙකු හැටියට පෙනුනු මහින්ද රාජපක්ෂ ජන හතුරෙක් වුණේ කොහොමද? දිගින් දිගටම බලයේ සිටිමේ වුවමනාව හා දේශපාලන රජ පවුලක් තනන්නට යාම නිසයි. මුළු පවුලම එකතුවෙල දිගු කාලීන දේශපාලනයේ යෙදෙන්න සල්ලි හොයන්න හැම දේකින්ම කොමිස් ගත්ත. ගෝලබාලයන්ටත් හොරකම් කරන්න අනුබලය හා රැකවරණය දුන්න. අපි දන්නව තාමත් හැදුනේ නැති ‘ගිං -නිල්වලා හැරවුමෙන් වැඩෙ පටන් ගන්න කලින් රුපියල් මිලියන 6000ක කොමිස් එකක් ගත්ත. ලසන්ත වික්‍රසිංහ මරා දමපු මිග් ජෙට් ගනුදෙනුවෙන් එක ජෙට් එකකින් ඩොලර් මිලියනය ගණනේ කොමිස් ගත්ත. [ මෙහි වැදගත්ම සාක්ෂිකරු හමුවුණා. ඒ ගැන ඉක්මනින්ම ලියනව]

මේ බලය හා ධනය නිසා රාජපක්ෂල කිට්ටුවෙන් තියා ගත්තේ හොරකම පුරුදු එහෙයියෝ ටිකක්. ජනතාවාදය මිසක් රාජ්‍ය පාලනය නොදත් රාජපක්ෂලා දේශපාලන ප්‍රපාතයට වැටෙනකල් දුර පෙනුනේ නෑ.

මනුශ්‍යයෙකුට තමන්ගේ දෙමාපියන්ගේ සොහොන කඩා දමනවා දකින්නට සිදුවීම, තමන්ගේ මහගෙදර ගිනි තියනවා දකින්න සිදුවීම තරම් කම්පාවක් මිහිපිට තියෙන්න පුළුවන් ද? රජෙක් හා ජිවමාන දෙවිකෙනෙක් හැටියට අනුගාමිකයන් විශ්වාස කළ රාජපක්ෂලාට මේ බරපතල දඬුවම ලබුනේ ඇයි? තමන් වාඩිවී සිටි ජනතාවාදි අත්ත තමන් විසින්ම කපා දැමූ නිසයි. රටේ දිළින්ඳන්ගේ චන්ද ජාතියේ හා ආගමේ නාමයෙන් ලබා ගත් රාජපක්ෂලාට මේ අහිංසකයන්ගේ  දරු පවුල් කුස ගින්නට වැටෙන විට ඇතිවන හැඟීම හා ඔවුන් හැසිරෙන ආකාරය  අදහසක් නොවීය. ඔවුන් සිතන්නට ඇත්තේ ගාලු මුවදොර සිටින නාගරික මැද පංතිකයන්ගේ විනය දිළින්ඳට තිබෙන බවක් ද? එසේ නම් එහි අර්ථය ඔවුන්ගේ ජනතාවාදයේ වල්ගය පාගා ගෙන ඇති බවයි.

අඩුම තරමින් ලෝකයේ ප්‍රකට එකාධිපතියන් වූ පිලිපීනයේ මාකොස්, චිලියේ අගොස්තෝ පිනොචේ, හා උගන්ඩාවේ ඉඩි අමින්ගේ දෙමාපිඅයන්ගේ සොහොන් හෝ මහ ගෙවල් කිසිම දිනක ගිනි නොදැමුණේ ය.  මේ නිසා සල්ලි විසිකර දේශපාලනයේ යෙදෙන හා යෙදෙන්නට සිටින “දේශපාලන සතුන්” දැන් රාජපක්ෂ අත්දැකීම නිසා දෙවරක් සිතනු ඇත. “ තෝ අපිට උන්හිටිතැන් නැති කර හම්හුදා බංකර් වල තියන්න ද දේශපාලනය යන්නේ’යි” මේ සතුන්ගේ අඹුදරුවන් අසනු ඇත.

හිටපු අගමැති හා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ශේෂ පත්‍රයේ ඉතිරිය එයයි. එය ජනතාවදියෙක්ට ජන සතුරෙක් වන්නේ කෙසේ දැයි අනාගතයට උගන්වනු ඇත.

නන්දන වීරරත්න

13/05/2022

උපුටා ගැනීම : ලේඛකයා ගේ ෆේස්බුක් පිටුව / කිසිඳු සංස්කරණයක් සිදුකර නැතිබව සලකන්න

Social Sharing
නවතම විශේෂාංග